Monday 7th of October 2024

English Tamil
Advertiesment


අක්මා රෝගයේ ප‍්‍රධාන ලක්‍ෂණ 9ක්


2020-09-27 14325

ප‍්‍රශ්නය - අපේ ශරීරය තුළ අක්මාවට හිමි තැන කුමක්ද..?

වෛද්‍ය චාන්දනී වික‍්‍රමාරච්චි - අක්මාව කියන්නේ අපේ ආහාර ජීර්ණ පද්ධතියේ වැදගත් කොටසක්. රුධිරයේ විෂ ඉවත් කිරීම ඖෂධ වර්ග ශරීරයට උචිත පරිදි හැඩ ගස්වාදීම, කඵ නිපදවාදීම, මේදය ජීර්ණය කිරීමට උදව් කිරීම, ග්ලූකෝස් ගබඩා කිරීම සහ ලේ කැටි ගැසීමට අවශ්‍ය ප්‍රෝටීන නිපදවීම යනාදිය නිසා අක්මාව ශරීයට ඉතාම වැදගත්ය. එසේම හානියට පත්වූ විට ඉතාම ඉක්මනින් යළි වැඩෙන ශරීරයේ ප‍්‍රමුඛ ඉන්ද්‍රිය ලෙස අක්මාව හැඳින්විය හැකියි. එහෙත් කිසියම් රෝගයක් නිසා හටගන්නා ප‍්‍රදාහ තත්ත්වයක් තුළ දිගින් දිගටම අක්මාවට හානි සිදුවුණොත් අක්මාව හැකිළී ඝන බවට පත්වී ව්‍යුහාත්මක වෙනසක් ඇති වෙනවා. එවිට එය නිසි පරිදි වැඩ කරන්නේ නැහැ. මත්පැන් සහ විෂ සහිත ද්‍රව්‍ය, මේද බහුල ආහාර, හෙපටයිටිස් වැනි වෛරස් ආසාදන නිසා අක්මාව හානි විය හැකියි. අක්මා රෝගවල තිබෙන භයානක කම තමයි කිසිදු රෝග ලක්ෂණයක් නැතිවම වර්ධනය වීම. මේ තත්ත්වය නරක අතට හැරුණු විට පහත සඳහන් රෝග ලක්ෂණ මතු වෙනවා.
 
 1. විඩාව - මෙය පොදු රෝග ලක්ෂණයක්. මෙයට හේතුව කුමක්ද යන්න නිසි පරිදි අර්ථකථනය වී නැහැ.
 
 2. රෝගී බවක් නිතරම දැනීම - අක්මාව රෝගී වූ විට රුධිරයේ විෂ සහිත බව පෙරා ඉවත් කිරීමට නොහැකි තත්ත්වයක් ඇති වෙනවා. එවිට විෂ සහිත රුධිරය ශරීරය පුරා ගමන් කිරීම නිසා තමන් රෝගී බවක් හැෙඟනවා.
 
3. දුර්වල වර්ණයෙන් යුතු මළ අප ශරීරයෙන් පිට කරත් මළ සාමාන්‍යයෙන් අඳුරු හෝ තද පැහැයෙන් යුක්තයි. එයට හේතුව අක්මාවෙන් නිකුත් කරන ලවණ සහිත කඵ නිසයි. මළවල පැහැය තද හෝ අඳුරු නොවේ නම් එයින්  කියවෙන්නේ අක්මාව මගින් ලවණ සහිත කඵ බහිශ‍්‍රාවී පද්ධතියට නිකුත් නොකරන බවයි. ඒ අතර දැඩි අඳුරු පැහැයකින් යුක්ත මළ පිට වෙනවා නම් එයින් හැඟී යන්නේ අක්මාවේ රෝග තත්ත්වය නිසා රුධිර කාන්දුවක් සිදුවී එය බහිශ‍්‍රාවී පද්ධතියට නිකුත්වන බවයි. මෙයට වහා ප‍්‍රතිකාර අවශ්‍යයි.
 
4. සම සහ ඇස් කහ පාට වීම - මෙය සෙංගමාලය හෝ කහ උණ ලෙසත් හඳුන්වනවා. රුධිරය තුළට බිලිරුබීන් නමැති ශුද්‍ර කඵ කැබලි එකතු වුණාම ශරීරයේ කහ පැහැයක් ඇති වෙනවා. මේ නිසා ඇඟ කසන්නටත් පටන් ගන්නවා.
 
5. ශරීරයේ හමට යටින් රුධිර නාළ ජාල මතුවීම - මේ ලක්ෂණය සෞඛ්‍ය සම්පන්න කාන්තාවන් තුළ ස්වභාවිකවම දැකගත හැකි වුණත් පිරිමියකුගේ ශරීරයේ ඉණෙන් ඉහළ කොටසේ හටගත් විට එයින් හැඟී යන්නේ එම පුද්ගලයා අක්මා රෝගයකින් පෙළෙන බවයි.
 
6. සීරීම් පහරවල් ඉක්මනින්ම මතුවීම - ඔබේ ශරීරයේ සීරීම් පහරවල් ඉතා ඉක්මනින් සහ ලේසියෙන් මතුවන්නේ රුධිරය කැටි ගැසීමට අවශ්‍ය සංඝටක නිපදවීමට අක්මාවට බැරි වුණාමයි.
 
7. අත්ල රතු පැහැ වීම - මෙය  Palmar Erytema අක්මා රෝග තිබෙන අයගෙන් සියයට විසි පහකගේ පමණ අත්ල රතු පැහැතියි. විශේෂයෙන්ම සිරෝසිස් හැදුණු විට මේ තත්ත්වය හටගන්නවා.
 
8. මුත‍්‍රා අඳුරු පැහැ වීම - මෙයට හේතුව මුත‍්‍ර තුළ බිලිරුබීන් නමැති කඵ කොටස් වර්ධනය වීමයි.
 
9. උදරය ඉදිමීම - උදරය, පාදවල ජලය එකතුවීම නිසා ඒවා ඉදිමෙනවා.

 

(දිවයින) 

Advertiesment