Friday 19th of April 2024

English Tamil
Advertiesment


විදුලි අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීයව උත්පාදනය කෙරේ


2020-09-15 7757

ස්වභාවික පරිසරය රැකීම අරමුණයි 

 

2030 දී රට විදුලියෙන් ස්වයං පෝෂිතයි 

 

බලශක්ති අර්බුදය විසඳන අයියා-මලෝ සැලසුම මෙන්න..!

 

 

(සුජිත් මංගල ද සිල්වා)  

 

වසර 2030 වන විට රටේ සමස්ත විදුලිය අවශ්‍යතාවෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති මූලාශ්‍ර මගින් උත්පාදනය කර ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රධාන රජය තීරණය කර තිබේ.

රටේ විදුලිය ඉල්ලුමේ වාර්ෂික වැඩිවීම 6%ක් වන අතර සංවර්ධන ව්‍යාපෘති ඇරඹීමත් සමග බලශක්ති ඉල්ලුම සීග්‍රයෙන් ඉහළ යනු ඇතැයි ගණන් බලා ඇති බව පෙන්වා දෙන ජනාධිපතිවරයා අනාගත පරපුරට ප්‍රතිඵල භුක්ති විදීමට හැකි තිරසර සංවර්ධනයකට මග පාදනු පිණිස හැකිතාක් දුරට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිත කළ යුතු යැයි ද අවධාරණය කර සිටියි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව පැවැසුවේ සූර්ය බල, සුළං සහ ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති කාර්යාලයේ දී සඳුදා (14) පස්වරුවේ පැවැති විශේෂ සාකච්ඡාවේදීය.

දේශගුණික විපර්යාසය නිසා ගල් අඟුරු සහ ඛනිජ තෙල් වැනි ෆොසිල ඉන්ධන අතහැර ලොව සියලු රටවල් පුනර්ජනනීය බලශක්තිය වෙත යොමු වෙමින් සිටින නිසා එවැනි ව්‍යාපෘතිවලට අනුමැතිය ලබා දීමේ බලය ඇති ආයතන ශක්‍යතා වාර්තා සකස් කර තබා ගත යුතු අතර, ඒ සඳහා අනුමැතිය කඩිනමින් ප්‍රදානය කළ යුතු බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය. යම් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියකට අනුමැතිය ඉල්ලූ විට දින 14ක දි ඊට පිළිතුරක් නොදුනහොත් එම ව්‍යාපෘතිය අනුමත වූවක් ලෙස සැලකීම උචිත බව ද ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී පෙන්වා දුන්නේය. 

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනයට රජය ඉහළ ප්‍රමුඛත්වයක් දී තිබෙන නිසා ඊට අවශ්‍ය සහය ලබා දෙන ලෙස සියලු ආයතන වෙත චක්‍ර ලේඛයක් නිකුත් කරන්නැයි ජනාධිපති ලේකම්වරයාට උපදෙස් දුන් ජනාධිපතිවරයා ටෙන්ඩර් පරිපාටියෙන් තෝරා ගන්නා සියලු ව්‍යාපෘති තෙමසකදී ආරම්භ නොකළහොත් නිකුත් කළ බලපත්‍ර අවලංගු කළ යුතු බව ද යෝජනා කළේය. 

මෙහිදී අදහස් දැක්වූ ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේ, ප්‍රතිසංස්කරණයට යෝජිත වාරි ව්‍යාපෘති 5000 ආශ්‍රිතව සූර්ය බලශක්ති පැනල සවි කිරීමට හැකි අතර සූර්ය බලශක්ති ව්‍යාපෘති අදාළ දිස්ත්‍රික්කයේ ව්‍යවසායකයන්ට පමණක් ලබා දීමත සහ ව්‍යාපෘතියේ ප්‍රතිලාභයෙන් යම් ප්‍රතිශතයක් ගොවි සමිති වෙත ප්‍රදානය කිරීම සුදුසු බවය.

පාසල්, කර්මාන්ත ශාලා සහ රජයේ ගොඩනැගිලිවල වහලය මත සූර්ය බලශක්ති පැනල සවි කිරීමට සේම එමගින් ලැබෙන ලාභයෙන් කොටසක් අදාළ ආයතන වෙත ලබා දීමට ඇති හැකියාව කෙරෙහි මෙහිදී විශේෂ අවධානයට යොමු වූ අතර මන්නාරම, පුනරින් සහ සියඹලාණ්ඩුව ප්‍රදේශවල සුළං බලාගාර ඉදිකිරීමෙන් ජාතික විදුලි බල පද්ධතියට සැලකිය යුතු පුනර්ජනනීය බලශක්ති ප්‍රතිශතයක් එකතු කර ගත යුතු යැයි අවධාරණය කෙරිණ. 

සුළං හෝ සූර්ය බලශක්ති ව්‍යාපෘති ආරම්භ කිරීමට පෞද්ගලික ව්‍යවසායකයින්ට තිබෙන බාධා ඉවත් කර එම ව්‍යවසායකයින් වෙනුවෙන් රජය සියලු දිරි ගැන්වීම් කළ යුතු බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ යන මහත්වරු මෙහිදී වැඩි දුරටත් අවධාරණය කළහ. 

මෙම සාකච්ඡාවට අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරුන් ද, කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරුන් ද, රේඛීය ආයතන ප්‍රධානීන් සහ බලශක්ති ක්ෂේත්‍රයේ ව්‍යවසායකයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Advertiesment