Tuesday 11th of May 2021

English Tamil
Advertiesment


නායකත්වය දුන්නොත් ඇද වැටී තිබෙන එජාපය ගොඩනගනවා 


2020-09-01 10834

මල්වතු -අස්ගිරි මහා නා හිමිවරුන් හමුවේ වජිර සහතික වෙයි 

 

(සුජිත් මංගල ද සිල්වා)
 

තිස් අට වසරක දේශපාලන අත්දැකීම් ඇති තමාට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය භාර දෙන්නේ නම් ඇද වැටී තිබෙන පක්ෂය යළි ගොඩගන්නා ජයග්‍රහණය කරා මෙහෙය වන බව ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා අවධාරණය කර සිටියි. 

ජේ.ආර් ජයවර්ධන,ඩී.බී විජේතුංග, ගාමිණි දිසානායක සහ රනිල් වික්‍රමසිංහ යන සියලු නායකයන් සමඟ තමා ඍජුව සහ නායකත්වයට අවංකව කටයුතු කර ඇති අතර එමගින් ලත් අත්දැකීම්වලින් පක්ෂය යළි ගොඩනැඟීමේ හැකියාව කිසිවෙකුට වඩා තමා සතුව තිබෙන බව ද වජිර අබේවර්ධන මහතා සඳහන් කළේය.

ඔහු මේ බව පැවැසුවේ ඉරිදා (30) මහනුවරට පැමිණ මල්වතු-අස්ගිරි මහා නායක හිමි දෙනම බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් පසුව ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

එක්සත් ජාතික පක්ෂයට හිමි එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා වසර 43ක දේශපාලන අත්දැකීම් ඇති ජාත්‍යන්තරය පවා පිළි ගන්නා රනිල් වික්‍රමසිංහ මහතා පත් කර ඔහු පාර්ලිමේන්තුවට යැවීම වඩාත් සුදුසු බවද වජිර අබේවර්ධන මහතා පෙන්වා දුන්නේය. 

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හැරුණු විට කෘත්‍යාධිකාරි මණ්ඩලය නියෝජනය කරන පැරණිතම සහ අත්දැකීම් සපිරි සාමාජිකයා තමා වන අතර එම පසුබිම යටතේ පක්ෂ නායකත්වය භාර ගන්නා ලෙස මහා සංඝරත්නය, විද්වතුන් සහ පාක්ෂිකයන් තමාගෙන් ඉල්ලීම් කරන බව ද වජිර අබේවර්ධන මහතා සඳහන් කළේය. 

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පිළිබඳ කිසිදු අර්බුදයක් නොමැති බවත් පක්ෂ නායකත්වයේ පුරප්පාඩුවක් ඇතිවූ විට සුදුසුකම් සපුරා තිබෙන පිරිස ඒ සඳහා ඉදිරිපත්වීම සාමාන්‍ය සිද්ධියක් බවත් හෙතෙම අවධාරණය කළේය.

නිදහසෙන් පසුව තට්ටුමාරු ක්‍රමයට පත්වූ ආණ්ඩු මේ රටේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් ලබාදී නොමැති බවත් නව දේශපාලන සහ ආර්ථික ක්‍රමවේද වෙත රටක් ජාතියක් ලෙස අප අනිවාර්යයෙන්ම යා යුතුව තිබෙන බවත් ඔහු පැවැසීය. 

"සිරිකොත" අල්ලන බවට සමඟි ජන බලවේගය කියන කතාව,එක්සත් ජාතික පක්ෂය අල්ලනවා යැයි සම සමාජ පක්ෂය කියනවා වගේ යැයි ද වජිර අබේවර්ධන මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

Advertiesment