ටෙස්ට් ක්‍රිකට් තරගයකදී කඩුලු ත්‍රිත්වයක් ලබාගැනීම යනු, ඉතාම කලාතුරකින් සිදුවෙන්නකි. එහෙත් ක්‍රීඩකයකු තමා සහභාගිවූ පළමු ටෙස්ට් තරගයේ, පළමු පන්දු ඕවරය යවමින්, ඒ දක්‍ෂතාවය පෙන්වූයේ නම්, ඒ ක්‍රීඩකයා අන් කවරකුවත් නොවේ, ශ්‍රී ලාංකීය ක්‍රීඩකයකු වූ නුවන් සොයිසාය.
එවකට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටි උසම ක්‍රීඩකයා ඔහු විය. අඩි හයකුත් අඟල් හතරක් උසැති වූ නුවන් සොයිසා එදා මෙම ලෝක වාර්තාව තැබූ ක්‍රීඩකයා විය. අදටද එය නොබිඳී පවතින ලෝක වාර්තාවකි. ඒ ලෝක වාර්තාවේ උරුමක්කාරයාගේ අද දවසේ ජීවිතය මොන වගේද? එදා ක්‍රිකට් ක්‍රීඩා කළ දිවියේ රස මතකයන් සමග අද දවසේ ගෙවන ජීවිතය ගැන කියන්නට ඔහු අප සමග එක්වූයේ මෙලෙසිනි.
• එදා කණ්ඩායමේ යාළුවෝ ඔබට කිව්වෙ ‘සිපී’ කියලයි. එහෙම නේද?
ඔව්, මට එදා එයාලා කිව්වෙ ‘සිපී’ කියලයි.
• සම්පූර්ණ නම කිව්වොත්?
දේමුණි නුවන් තරංග සොයිසා.
• එතකොට ‘සිපී’ කිව්වෙ ඇයි.?
සොයිසා, සොයිස් වුණා. සොයිස්- සිපී වුණා.
• අද දවසේ ජීවිතය ගෙවන්නෙ මොන විදියටද?
දූලම දෙන්නෙකු තාත්තානෙ. ඒ නිසා වගකීම් වැඩියි. ඒ දෙන්නගෙ වැඩවලට සහායවෙමින්. සතුටින් ජීවිතය ගෙවනවා. ඊට අමතරව ක්‍රිකට් ඇකඩමි එකක් පවත්වාගෙන යනවා.
• බිරිඳ සහ දියණියගෙ නම් සඳහන් කළොත්?
බිරිඳගෙ නම උදේශිකා සවස්දි. ලොකු දුව යෙෂායාට අවුරුදු 14යි. දෙවැනි දුව නද්‍යානාට අවුරුදු 11යි. ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයෙන් දෙදෙනාම ඉගෙන ගන්නෙ. දෙවැනි දුව මලල ක්‍රීඩාකරන්න හරි ආසයි. එයා ශ්‍රියානි කුලවංශ යටතේ මලල ක්‍රීඩා පුහුණුව ලබනවා. බිරිඳ සවස්දි රැකියාවක් කරනවා.
• කොහොමද ගෙවීගිය යුග දිවිය?
විවාහ වෙලා වසර පහළොවකට වැඩියි. ඉතාම ප්‍රීතිමත් යුග දිවියක්. මම ආදරේ කළෙත් ඇයටමයි. විවාහ වුණෙත් ඇය සමගයි. මගේ තේරීම හරි.
• පසුගිය කාලයේදී මොනවද නුවන් කළේ?
ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධව තමයි කටයුතු කළේ. ජීවිතය ක්‍රිකට්ම තමයි.
• ‘‘නුවන් සොයිසා’’ නමැති ක්‍රීඩකයා ගැන එදා ක්‍රිකට් ලෝලීන් මුලින්ම කතාකරන්න පටන්ගත්තෙ මොනවගේ හේතුවක් නිසාද?
මුලින්ම නම්, අර උස ක්‍රීඩකයා කියලා හඳුන්වන්න පටන් ගත්තා. ඉන්පසුව ක්‍රීඩකයකු ලෙස මා ගැන බොහෝ දෙනා කතා කරන්න පටන් ගත්තෙ කඩුලු ත්‍රිත්වයේ ලෝක වාර්තාවෙන් පසුවයි. 1999 දී සිම්බාබ්වෙ කණ්ඩායමට එරෙහිව එදා ඒ වාර්තාව තැබුවෙ. මා එදා යැවූ ප්‍රථම පන්දු වාරයේ ප්‍රථම පන්දු ත්‍රිත්වයේ මේ කඩුලු ත්‍රිත්වය ලබාගත්තෙ. අදටත් එය නොබිඳී පවතින ලෝක වාර්තාවක් වෙලා තියෙන්නෙ ඒ නිසයි. ටෙස්ට් තරග ඉතිහාසය ඇරඹි දා සිට තරග 2900ක් විතර මේ දක්වා පවත්වා තිබෙනවා. ඒ තරග ඉතිහාසයේ අද දක්වා නොබිඳි වාර්තාවක්. ශ්‍රී ලාංකිකයකු ලෙස ඒ ගැන මට හරිම ආඩම්බරයි. ඒ වගේම එදා එහා පැත්තෙන් පන්දු යවමින් සිටියෙත් ශ්‍රී ලංකාවෙන් මෙතෙක් බිහි වූ හොඳම වේග පන්දු යවන්නා වූ ලෝක පූජිත චමින්ද වාස්. ඔහු සමඟ එලෙසින් තරගයට අවතීර්ණවීමට ලැබීම වාසනාවක්. මා ලැබූ මේ කඩුලු ත්‍රිත්වය පිටුපස තවත් කතාවක් තියෙනවා.
• ඒ ගැනත් කියමු?
එදා සිම්බාබ්වේ සංචාරයේදී පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමේ වරම් මට ලැබුණෙ නැහැ. සිම්බාබ්වෙ ගියාම මැලේරියාව වගේ උණ රෝගයක් මට වැලඳුණා. ඉතාම දරුණු උණක්. එය කොච්චර දරුණුද කිව්වොත් දින 7ක් ඇතුළතදී මගේ බර කිලෝ හතකින් අඩු වුණා. ඒත් ආපහු මාව ශ්‍රී ලංකාවට එවන්නෙ නැතුව, එහි සිට ප්‍රතිකාර ලබාදුන්නා. එදා ‘96’ ලෝක ශූරතාව දිනා ගැනීමට අපට ලොකු මෙහෙයක් කළ භෞත චිකිත්සකවරයා වූ ඇලොක්ස් කොන්ටුරි මාව බලාගත්තෙ හරියට එයාගෙ සහෝදරයෙක් බලා ගන්නවා වගෙයි. කොටින්ම කිව්වොත් එයාගෙ උපන්දිනය වෙනුවෙන් තිබුණු සාදයටවත් එයා සහභාගි වෙන්න ගියේ නැහැ. ඒ විදියට නැවත ගොඩ ආපු මම දෙවැනි තරගයට සහභාගි වුණේ ඊට පෙර එකදු පන්දු ඕවරයක් හෝ නොයවා සිටියදීයි. ඒ වගේම පන්දු යැවීමට තරම් මට ශක්තියක් තිබුණෙ නැහැ. ඒත් එදා සනත් ජයසූරිය නායකත්වය ලබාදුන් ප්‍රථම තරගාවලියත් එයයි. දෙවැනි ටෙස්ට් තරගයේදී සිම්බාබ්වේ හදලා තිබුණෙ, තනිකරම වේග පන්දු යවන්නන්ට සුදුසු විකට්ටුවක්. ඉතින් එදා කොහොමහරි මටත් ක්‍රීඩා කරන්න කියලා සනත් කිව්වා.
‘‘අසනීප වුණාට කමක් නෑ පුළුවන් නම් මේ තරගයට ක්‍රීඩා කරන්න’’ කියලා සනත් සහ වට්මෝර් මට කිව්වා. ඔන්න ඔය විදියට ක්‍රීඩා කරලා ලබාගත්ත කඩුලු ත්‍රිත්වය මට හරියට වටිනවා.
කොහොම හරි පිතිකරුවන්ට පිත්ත උස්සන්න බැරි තරමේ, විකට්ටුවක් වූ එහිදී, ඩිල්ෂාන් ඉතා අගනා ශතකයක් ලැබුවා. ඒ වගේම ශ්‍රී ලංකාව ඒ තරගය ජයග්‍රහණය කළා. එය ඇත්තටම මගේ ක්‍රිකට් දිවියේ සොඳුරුතම මතකයක්. එදා තරගයේදී කඩුලු ත්‍රිත්වය ලැබුවත්. අසනීප තත්ත්වය නිසා කොච්චර නම් දුර්වල වෙලා හිටියද කිව්වොත් කැස්සක් ඇවිත්, කටින් ලේ පවා පිටවුණා. ඒත් රට වෙනුවෙන් එදා මම ඒ තරගයට ක්‍රීඩා කළා.
• සංචාරවලට ගිහින් සිටියදී එදා කළ කී දේ ගැන වූ සුන්දර මතකයන් එහෙම ඇති නේද?
අපොයි, මතකයෙන් නම් එමටයි.
• කැමතියි ඒවා ආවර්ජනය කරනවා නම්?
දීර්ඝ සංචාර ගියාම, විවේකයක් ලැබුණාම, ඉස්සර අපි කරන්නෙ, මල්ලව පොර ක්‍රීඩාව විනෝදාංශයක් ලෙස කිරීමයි. ඇත්තම කිව්වොත් ඒ කාලයේ කණ්ඩායම හරි එකමුතුයි. එකම පවුලක කණ්ඩායමක් වගෙයි. වතාවක එංගලන්තයේ දීර්ඝ සංචාරයක් යෙදී තිබුණා. විවේකයක් ලැබුණු විගස මම කළේ යාළුවෝ දෙතුන් දෙනෙක් අල්ලා ගෙන මල්ලවපොර ක්‍රීඩාවෙ යෙදුණ එකයි. එක්තරා අවස්ථාවක අපේ භෞත චිකිත්සක ඇලෙක්ස් කොන්ටුරිගෙ ඖෂධීය තෙල් බෝතලය අරගෙන මම ඇඟ පුරා තෙල් ගාගත්තා. ඊට පස්සේ මාව අල්ලන්න එන අයට මල්ලවපොර ක්‍රීඩාවෙදී මාව අල්ලාගන්න බැහැ. ලිස්සා යනවා. ඔය විදිහට ක්‍රීඩා කරලා අන්තිමට පරාජිතයාව රෙදිවලින් ඔතලා දානවා. මමයි, මහේලයි, චාමර සිල්වයි එකතුවෙලා ඉෂාර අමරසිංහට ඒ වගේ රැගක් දුන්නා. ඔන්න එතකොටම ඇලෙක්ස් දුව ගෙන ආවා. අපි තුන් දෙනා රෙදිවලින් ඔතපු ඉෂාරව ඔසවාගෙන යමින් සිටියෙ. ඇලෙක්ස් හරි වසයි. අපි බයට ඉෂාරව බිම දාලා දිව්වා. ඇලෙක්ස් අපිව පන්නන්න පටන් ගත්තා. නමුත් ඒ හිටපු හෝටලය සති දෙකක් විතර හිටපු නිසා අපිට හුරුයි. අපි හෝටලයෙ තැන් තැන්වල හැංගිලා තමයි ඇලෙක්ස්ගෙන් බේරුණේ. අන්තිමට අපි බිම දාලා ගිය ඉෂාරට තෙල් බෙහෙත් කරන්න ඇලෙක්ස්ට තමයි සිදු වුණෙ. හැබැයි ඉතින් මොන දේ කළත්, විනය කියන දේ කණ්ඩායමේ උපරිමයෙන් තිබුණු දෙයක්. කවුරුවත් ඒ විනයට පටහැනිව ක්‍රියාකළේ නැහැ.
ආ... මට තවත් සිදුවීමක් මතක් වුණා. අපි සංචාරවලට ගියාම භෞත චිකිත්සක ප්‍රතිකාර ලබාදෙන වෙනම කාමරයක් තියෙනවා. ක්‍රීඩකයින් එතැනට ගිහින් තමයි ප්‍රතිකාර ලබාගත යුතුව තිබුණෙ. අපි කට්ටිය එකතුවෙලා දවසක්, ඉන්දික සේරම්ව මුළු ඇගම වෙළුම් පටිවලින් එතුවා. හරියට ‘මමියක්’ වගේ. එහෙම කරලා ප්‍රතිකාර කරන මේසය වගේ තැන එයා තියලා, අපි හැංගිලා බලාගෙන හිටියෙ ඇලෙක්ස් කොන්ටුරි එනකල්. ඒක දැක්ක ගමන් එයා බයවෙන හැටි බලන්නයි අපට ඕනෑ වුණේ. ඔන්න කළුවරේම කොන්ටූරි කාමරයට ආවා. එකපාරටම සේරම්ගෙ මමිය දුටුවා. මිනිහා බය වුණේ නැහැ, හේතුව සේරම් හුස්ම ගන්න හැටි එයා දැක්කා. දැන් අපටත් හොඳටම හිනා. කොන්ටූරිට යකා නැගලා අපිව පන්නාගෙන ආවා. එදා නම් හොඳටම එයාට කේන්ති ගියා. සේරම්ට හොඳට සබ්බුව ලැබුණා. පස්සෙ මිනිහා මාවත් අල්ලා ගත්තා, ආ උඹ එදා එංගලන්තෙදිත් මගෙන් බේරුණා. වරෙං ඔහෙ හිටු, කියලා කියන්නා වගේ, මට හොඳටම තඩිබෑවා. මොනවා කරන්නද ඉතින් ගුටිකාලා නිකන් හිටියා. ඔය සිද්ධිය වුණේ බංග්ලාදේශයේදීයි. ඒ අතීතය නම් මාර සුන්දරයි අප්පා.
• මහේල - සංගා එහෙම එදා ඒ විදියට ඔබ කළ විහිළු වැඩ වලට එකතු වුණේ නැද්ද?
මම කිව්වනේ, ඒ දිනවල අපේ කණ්ඩායම හරිම එකමුතුයි කියලා. දවසක්දා අපි මහේලටත් හොඳ රැගක් දුන්නා. රෙස්ලිං කරද්දී එක්කෙනෙකු පෙරළගෙන තඩිබානවනෙ. ඒකෙ හැටි එහෙමයි. දවසක් නවසීලන්තයෙදි මායි සංගයි එකතුවෙලා මහේලව පෙරළගෙන හොඳට ගුටිදීලා විහිළු රෙස්ලිං තරගය ජයගත්තා. මහේලට හොඳ රැගක් දුන්නා. හැබැයි ඉතින් මටත් රිටර්න් එක හම්බ වුණා. මොනවා කළත්, ඒ සෑම දෙයක්ම කළේ අපි අතර තිබුණු සහෝදර බැඳීම මුල් කරගෙනයි. කවදාවත් කවුරුවත් අමනාප වුණේ නැහැ.
• මහේල නේද, ඔබගේ මංගල දිනයදා මිතුරාට පෙනීසිටියේ?
මහේලයි, මමයි දීර්ඝ කාලයක් ක්‍රීඩා කළේ SSC (එස්එස්සී) කණ්ඩායමට. අපි අතර හොඳ මිත්‍රත්වයක් තිබෙන්නෙ.
‘ඔයාට පුළුවන්ද මගේ වෙඩින් එකේ බෙස්ට්මන් එන්න’ කියලා මම එදා මහේලගෙන් ඇහුවාම ආයේ දෙපාරක් නොහිතා ‘හා’ කිව්වා. මහේල බෙස්ට්මන් වගේම එදා එයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් වූ අද බිරිඳ වන ක්‍රිස්ටිනා, මනාලියගෙ යෙහෙළියට හිටියා. මහේල සහ එස්එස්සී එකට සහ ශ්‍රී ලංකාවට ක්‍රීඩා කළ සුරේෂ් පෙරේරා මනාලයාගේ යහළුවන් ලෙස හිටියා. ඒ මිත්‍රත්වය අදටත් පෙරටත් වඩා හොඳින් අපි අතර තියෙනවා.
• ඔබගේ එදා සිට හොඳම මිතුරකුවූ මහේල මොන වගේ ගතිගුණ තියෙන කෙනෙක්ද?
ඒක, පිටුවකින් දෙකකින් කියන්නට බැරි තරම්. මහේල කියන්නෙ ඉතා හොඳ මහත්මයෙක්. අපි මොනවද ඉල්ලන උදව්ව? කවදාවත් එහි දිග පළල මනින්න, ප්‍රශ්න කරන්න ගියේ නැහැ. බොහොම සද්භාවයෙන් උදවු කළා. පිටියෙදි අපි දකින්නෙ හරිම තැන්පත් විදියටනෙ. ඒත් අපි එක්ක එකතු වෙලා වාද විවාද කරද්දි නම්, හරිම කට සැර චරිතයක්. තරග කරද්දී ක්‍රිකට් විතරක් නෙවෙයි, අමතරව පාපන්දු ක්‍රීඩා කළත්, මේසපන්දු (Pool) ක්‍රීඩා කළත්, එයා පරදින්න කැමති නැහැ. එයාගෙ හැටි එහෙමයි. එයාට ඕනෑ වුණේ කොහොම හරි ඒ තරගය ජයග්‍රහණය කරන්නයි. මම කිව්වනෙ එයාගෙන් උදව්වක් ඉල්ලුවත් කවදාවත් බැහැ කියන්නෙ නැහැ කියලා. ඇත්ත වශයෙන්ම ඕනෑම කෙනෙකුට එයා එහෙමයි. කවදාවත් බැහැ කියන්නෙ නැහැ. හරි හොඳ ගුණාංග තිබෙන චරිතයක්. මම හිතන්නෙ වත්මන් ක්‍රීඩකයින්ට ඉතා ආදර්ශවත් චරිතයක්. ක්‍රිකට් ක්ෂේත්‍රයේදී මා දුටු ඉහළම ගුණාංග තියෙන චරිතයක්. හොඳ මහත්මයෙක්. දුර්ලභ ගණයේ ගතිගුණ තියෙන හොඳම මිතුරෙක්. හොඳම මනුස්සයෙක්.
• ඒ කාලයේදී තරග සංචාරවලට ගියාම මුහුණ දුන් ත්‍රාසජනක සිදුවීම් ගැන එහෙම මතකය මොන වගේද?
වතාවක සිම්බාබ්වේ තරග සංචාරයකට ගිහින් සිටියදී, බුලවායෝ සිට හරාරේ දක්වා අපට යාමට තිබුණේ ඩොමෙස්ටික් ප්ලයිට් එකකින් ප්‍රාදේශීය ගුවන්යානයකින්). සිම්බාබ්වෙ එච්චර දියුණු රටක් නෙවෙයිනෙ. එදා අපට ලැබුණෙ ඔන්න මෙන්න කඩා වැටෙන්නට වගේ තිබූ විදිහෙ ගුවන් යානයක්. හැමෝම මේ යානයට ගොඩවුණේ පුදුම බියකින්. ගුවන් යානය බුලවායෝ ගුවන් පථයෙන් අහසට නැගුණා විතරයි, යානය එහෙට මෙහෙට පැද්දෙන්න පටන්ගත්තා. අපි හිතපු විදිය හරි. ඒක මහ අබලන් තත්ත්වයේ යානයක්. එදා කාලගුණය අන්තිම දුර්වලයි. යානය වාතයේ කැළඹීම් නිසා, එකවර පහතට ඇදුණා, ආයෙත් ඉහළට එසැවුණා. අපි කොච්චර නම් බය වුණාද කිව්වොත්, සනත් නොනවත්වා ගාථා කිව්වා. උපුල් චන්දනට හුස්ම ගැනීම අපහසු වුණා. අනෙක් කට්ටිය කර කියාගත හැකි දෙයක් නොමැතිව තම තමුන්ගෙ ආගම සිහිකරගෙන හිටියා. එදා නම් ඇත්තටම අපි බේරුණේ අපේ වාසනාවටයි. ඒත් අදටත් ඒ ගමන මතක් වෙද්දි ඇඟ හිරිගඩු පිපෙනවා.
• ඔබගෙ වෙඩින් එකේ මතකයන් ගැනත් කිව්වොත්?
මගේ වෙඩින් එක දවසට පෙර දවසෙ දකුණු අප්‍රිකාව එක්ක තරගයක් තිබුණා. මම කඩුළු පහක් ලබාගෙන ඒ තරගයේ වීරයා වුණා. තරගය ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකාව. පසුවදා මංගල චාරිත්‍ර පැවැත්වූ දේවස්ථානයට විශාල පිරිසක් පැමිණ සිටියා. මම හොඳටම බයවුණේ, එච්චර පිරිසකට ආරාධනා කරලා තිබුණෙ නැති නිසයි. දෙස් විදෙස් ඡායාරූප ශිල්පීන් විතරක් පනහකට වඩා පැමිණ සිටියා. ඒ ඔක්කෝම වුණේ පෙරදා මම තරගයේ වීරයා වූ නිසයි. ක්‍රීඩා ලෝලීන් එහිදී දැනගෙන සිටියා, හෙට මගේ වෙඩින් එක කියලා. මොකද ප්‍රේක්ෂකයෙක් පුවරුවක් ප්‍රදර්ශනය කළ නිසා.
• ඔබගේ ක්‍රිකට් දිවියේදී ඔබ වඩා ගරු කළ පුද්ගලයා කවුද?
වචන දෙකක් නැහැ. ඒ තමයි අපේ රටෙන් බිහිවූ විශිෂ්ටතම ක්‍රිකට් නායකයා වන අර්ජුන රණතුංග මහත්මයා. එතුමා තමයි, එදා පාසලේ ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටියදී මාව බලන්න ඇවිත්, මගේ දක්ෂතා හඳුනාගෙන පන්දු යවන්න එන්න කියලා මට අවස්ථාවක් ලබාදුන්නෙ. මාව හඳුනාගෙන රටට ක්‍රීඩාකිරීමේ භාග්‍ය ලැබුණෙ එතුමා නිසයි. ඊයේ අද වගේම හෙටත්, මගේ විශිෂ්ටයා ඔහු තමයි.
• ඔබ සමග ක්‍රීඩා කළ බොහෝ ක්‍රීඩකයින් වගේම, විවාහ දින අනෙක් මිතුරා වූ සුරේෂ් පෙරේරා ඉන්නෙත් ඕස්ට්‍රේලියාවෙ. ඇයි ඔබ විතරක් එහි පදිංචියට නොගියේ?
මම හිතන්නෙ ඕස්ට්‍රේලියා එන්න කියලා මට ලැබුණු අවස්ථා බොහෝමයි. මගේ යාළුවන් බොහොමයක් එහි පදිංචිව සිටිනවා. එහි නිත්‍ය පදිංචිය සඳහා මට ලොකු අවස්ථාවක් ලැබුණා. ඒත් මොන හේතුවක්ද මන්දා මට මේ රට දාලා යන්න හිතක් නැහැ. මම මේ රටට පුදුම විදියට ආදරෙයි. අදටත් මට ලංකාව දාලා යන්න හිතක් නැහැ. විවාහයට පෙරත් පසුවත් අවස්ථා ලැබුණා. ඒත් ගියේ නැහැ.
• ඔබගෙ බිරිඳ සවස්දි කැමති වුණෙත් නැද්ද පිටරට පදිංචියට?
මෑතකදී නම් එයා මගෙන් ඇහුවෙ ළමයින්ට එහේ වාතාවරණය හොඳ නම් යමු කියලයි. ඒත් ‘සවා’ සහ මම ලැබුණ දෙයින් සතුටුවෙන යුවළක්. ජීවිතය එතකොට හරි සරලයි. නිදහස්. බොහෝ දේ පිටුපස හඹා ගියොත්, ජීවිතය දුකක්. ඒත් අපි දෙන්නා එහෙම නැති නිසා ප්‍රීතිමත් ජීවිතයක් ගතකරන්නෙ.
• ඕස්ට්‍රේලියාවෙ හිටපු ක්‍රීඩක ග්ලෙන් මැග්‍රාත් ඔබගෙ හොඳ යාළුවෙක්ලු නේද?
මැග්‍රාත් විතරක් නෙවෙයි, පාකිස්ථානයේ සහිඩ් අෆ්‍රිඩි, අබ්දුර් රසාක් සහ වසීම් අක්‍රම් එක්ක මිත්‍රත්වයක් තිබෙනවා.
• ‘පරවියන්’ ඇති කරන්නත් ආසලු නේද?
ඒ වැඩේට නම් මම හරිම ආසයි, ලස්සන ලස්සන පරවියන් සිටිනවා. ඒ වගේම ගෙදර සුරතල් සුනඛයින් දෙන්නෙක් ඉන්නවා. ඉතින් එයාලට එච්චර ආදරේ කරන මම කොහොමද, මේ රට දාලා යන්නෙ. සතුන්ට කොහොමටත් මම වගේම දූලා දෙන්නත්, බිරිඳත්, ආසයි, ආදරෙයි.
Lanka Newsweek © 2024