(ටිරන් කුමාර බංගගමආරච්චි)
”එළැඹෙන මහ මැතිවරණයේදී ඡන්දය භාවිත කළ යුත්තේ රට විදෙස් කුමන්ත‍්‍රණවලින් බේරා ගෙන ජනතාවගේ ආරක්ෂාවත්, රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයත් ආරක්ෂා කර ගෙන ආඩම්බර ශ‍්‍රී ලංකාවක් බිහි කළ හැකි පාර්ශ්වයට බවත්. එසේ නොකර යම් යම් සිල්ලර කාරණා මත ඡන්දය භාවිත කළහොත් රට විනාශය කරා ගමන් කරනු ඇති බවත්” අගමැති මහින්ද රාජපක්ෂ විශේෂ ප‍්‍රකාශයක් කරමින් නොබෝදා පැවසීය.
මහින්ද සුපුරුදු සෙල්ලමට බැස ඇත. ඡන්ද කාලයට බිල්ලෝ මැවීමට ඔහු තරම් හපනෙකු මෑතකදී සොයා ගත නොහැකි තරම්ය. මෙරට කැතම, නිර්ලජ්ජිතම දේශපාලනයක නියැළෙන චරිතයක් වේ නම් ඒ මහින්දය. රටේ බහුතරය මේ ප්‍රෝඩාවට කැමතිය. රටේ ජනතාවටත් බිල්ලෝ ගැන කතා කියන කතා පප්පෙක් වුවමනාමය. මහින්ද එය අපූරුවට කරමින් සිටී. සජිත් විහිළු සපයන විට මහින්ද බිල්ලෝ මවති. මිනිස්සු ගොන් ජෝක්වලට වඩා බිල්ලන්ට කැමති වෙති
මහින්ද ජාතිය අමතමින් ඉදිරි අනතුරු ගැන කියනුයේ ඇයි? පරාජය ගැන ඉව වැටිලාද? මෙවර මහ මැතිවරණයෙන් මහින්ද ප‍්‍රමුඛ පිරිස දිනන එක සහතිකය. එහෙත් මහින්දට වුවමනා තුනෙන් දෙකක් ගෙන ජය ලැබීමය. ඔහු දැන් බිල්ලෝ මවනුයේ තුනෙන් දෙක ඉලක්ක කොට මිස වෙන අරුතකින් නොවේ. තුනෙන් දෙක කෙසේ වෙතත් ලොකු ප‍්‍රමාණයක් ගතහොත් තුනෙන් දෙක හදා ගැනීමේ මැජික් එක මහින්ද කාටත් වඩා හොඳට දන්නේය. එබැවින් ඔහුට වුවමනා උපරිමය ගැනීමය. ඉන්පසු තුනෙන් දෙකක බලය හදාගැනීමය. මහින්දට මෙය කළ නොහැක්කක් නොවේ.
මෙවර මහ මැතිවරණය අන් කවරදාටත් වඩා සුවිශේෂීය. එනම් මෙවර ජයගෙන අගමැති වන අය ජනපති ගෝඨාට වඩා ප‍්‍රබලය. 19 වන ව්‍යවස්ථාව අනුව මෙවර අගමැති වීම නිකම්ම අගමැති නොව විධායක බලතල සහිත අගමැතිය. අගමැති පත්වීමත් සමග ගෝඨා දෙකට වැටී මහින්ද එකට එන්නේය. මේ තත්ත්වය මවා ගැනීමට මහින්දට තුනෙන් දෙකක් වුවමනා නැත. සැහැල්ලූවෙන් දිව ගොස් ජය ගැනීම ප‍්‍රමාණවත්ය. එහෙත් ඔහු බිල්ලෝ මවනුයේ ජනපති ගෝඨාවත් අන්දවාගෙන ගමන යෑමටය. තුනෙන් දෙක ඉල්ලීම තුළ ගෝඨා සිතනුයේ අයියණ්ඩි තමා වෙනුවෙන් සටනට බැස ඇති බවය. එනම් 19ය ඉවත් කොට 18 බලාත්මක කොට ගෝඨා ශක්තිසම්පන්න ජනපති කොට මහින්ද පඹ අගමැති වනු ඇතැයි සිතීමම මුලාවකි. මේ මුලාවේ ගෝඨා දමා ඇත. සැබැවින්ම මහින්දට තුනෙන් දෙක වුවමනා නැත. එහෙත් එය වුවමනා බව ඔහු පෙන්වයි. ඒ තමා වෙනුවෙන් නොව මලයා වෙනුවෙන් බව නොකියා කියන රහසය. මහින්දට සැබැවින්ම දහනවය ඉවත් කර ගැනීමට වුවමනා නැත්ද? වුවමනාය. එහෙත් හදිසි නැත. ඊළඟ ජනාධිපතිවරණය කිට්ටුවද්දී ඔහු එය කරනු ඇත. එවිට ඔහුට නැවත තරග කළ හැකිය. පුතා ගෙනෙන්නට ඔහු තවමත් ඉක්මන් නොවෙයි. චන්ද්‍රිකා ජනපති වන විට සිරිමාවෝ සිටියේ රෝද පුටුවකය. මහින්දද ඔත්පලව සිට හෝ ඒ දේ ද කරනු නියතය. මහින්ද මවන ලොකු චිත‍්‍රය එයය. ජනතාවට තේරුම් ගන්නැයි බලකරනුයේ එයය. ඔහුගේ ජාතිය අමතා කළ විශේෂ ප‍්‍රකාශයට එමු.
”රට මුහුණ දී ඇති තර්ජනය අනුව දේශපාලනික වශයෙන් වැදගත් කාරණා හා නොවැදගත් කාරණා මොනවාද යන්න තේරුම් නොගෙන කුඩා චිත‍්‍රය දෙස බලා විශාල චිත‍්‍රය අමතක කළහොත් රට, ජාතිය, ආගම, සංස්කෘතිය මෙන්ම රටේ අනාගතයද විනාශ වනු ඇතැ”යි මහින්ද එහිදී කීය.
මහින්ද නොඇන්ද එහෙත් ජනතාවට අන්දන ලොකු චිත‍්‍රය තේරුම් ගැනීම වටී. එහි තේමාව ”ශ‍්‍රී ලංකාවට එරෙහි දෙස් විදෙස් කුමන්ත‍්‍රණ පරාජය කරමු” මෙය කොතරම් පිළුණු වුණත් රාජපක්ෂලා ඉන්නා තාක් ජනතාවට අනා කවති. රනිල් ඉන්න තාක් මහින්දලා බිල්ලෝ මවති. ඇත්තටම බිල්ලා රනිල්ය. බණ්ඩාරනායක සාදු පක්ෂයක් හදා එජාපය බිල්ලකු කළේය. ජේ.ආර්. කෙසේ හෝ පේ‍්‍රමදාසවත් ලවා ඉන් ගැලවුණාද? රනිල් තනිකරම ඒ බිල්ලා තමා වන්නට ආස කළා සේ ම මහින්දලා බණ්ඩාරනායකට වඩා හොඳට රනිල් බිල්ලාව මැවීය. ජනතාවත් රනිල් සිටින තාක් රට විකුණතැයි බියක වෙලෙති. මහින්ද සිටින තාක් රට රැුකෙතැයි සිතති. ප‍්‍රභාකරන්ගේ මරණය යනු මහින්දට ලැබුණු දේව වරමය. ජනතාවට මහින්ද පේන කියනුයේ ඒ වරමෙනි. මෙය කවුරු කොහොම කීවත් බලගතු වරමකි. එයට යා හැකි දුර ගෝඨා ජනපති කර පෙන්වීය. නාමල්ද ජනපති කළ පසු වරම අහිමි වන්නට ඉඩ ඇත. ලංකාවේ දේශපාලනය වෙනම ආරක් හොයා ගන්නට නම් මහින්ද, රනිල් යන චරිත දෙකම දේශපාලනයෙන් වඳ විය යුතුය. එසේ නොවන තාක් මේ චිත‍්‍රය අඳින්නේ ඔවුන්මය. අනෙක් කවුරු චිත‍්‍ර ඇන්දත් ජනතාව බලන්නේ මොවුන් පෙන්වන චිත‍්‍රය දෙසය.
මහින්දට කවුරු ලියා දෙන කතාවක් වුව චිත‍්‍රය දෙස බලන්නැයි බරසාර ලෙස කියන්නට ලියාදී ඇත. දැන් රටේ ජනතාව මෝඩද? උගත්ද? යන්න මේ කතාව හරහා කියවීමක් සිදුවේ. ලොකු චිත‍්‍රය තේරුම් ගන්නට නම් රට, ජාතිය, ආගම, සංස්කෘතිය ගැන කැක්කුම සහිත පිරිස විය යුතුය. එසේ නොවී කුඩා චිත‍්‍රය තෝරා ගන්නෝ රට ගැන, ජාතිය ගැන, ආගම ගැන සංස්කෘතිය ගැන මෙලෝ මළදානයක දැනුමක් නැතිවුන් විය යුතුය. මහින්ද ජාතිය අමතා කොටස් දෙක බෙදා ඇත. මහින්ද හැමදා දේශපාලනය කරනුයේ ජනතාව බෙදාය. ගෝඨා බෞද්ධ ඡුන්දවලින්ම දිනන විට සජිත් තමා බෞද්ධයකු යැයි කිය කියා ඇවිදිමින් සිටී. ඒ තක්කඩිකමට වඩා මහින්දගේ පෙනී සිටීම හොඳය. මේ මොහොතේ රට, ජාතිය, ආගම, සංස්කෘතියෙහි සුජාතහිමිකරුවෝ රාජපක්ෂලාය. ඒ බඩු විකුණන හැමදෙනාම නොදැන කරනුයේ වැඩි ලාභය මහින්දලාට දී එදා වේලට සොච්චමක් ඉතිරි කරගැනීමය. සජිත් බෞද්ධ කියන විට, කාදිනල් ළඟ වැඳ වැටෙන විට වැඩි ලාභය යන්නේ මහින්දටය. මන්ද මේ විකුණනුයේ මහින්දගේම බඩුය. රනිල් කඬේ දාගෙන ඇත්තේ වන් ගෝල්ෆේස්වලය. සෝබනේට ගොස් ආවද ජනතාවට හරියන බඩු එහි නැත. සජිත් පේමව්න්ට් එකට වැටී ඇත. ඔහු බාල බඩු ලාභෙට විකුණමින් සිටී. රැුවටෙන්නට හෝ බාල බඩු ගන්නෝ සිටිති. බාල බඩුවලට ඉල්ලූමක් ඇත. ජවිපේ ආකේඞ් එකේ ‘හාඞ්වෙයාර්’ එකක් දාගෙන ඇති ගාණය. මහින්දගේ ලොකු චිත‍්‍රය තේරුම් ගතයුත්තේ මේ වටපිටාව තුළය.
මහින්ද අද අත දිගහැර ගහන්නේ යහපාලනයටය. ඔහු 1970, 1977 සුද්ධ කරමින් 2015ට එනුයේ සරම කැහැපොට ගහගෙනය. ”ඉතිහාසයේ කවදාවත් අපි අත්දැකපු නැති තරමට විදේශීය අතපෙවීම් තිබුණා. මේ රටේ දේශපාලනයට බරපතළ විදිහට විදේශීය රටවල් අත පොවන්න පටන් ගත්තා” යැයි මහින්ද කියනුයේ 2015 ගැනය. 2015 පෙරළිය මර උගුලක් බව රාජපක්ෂලා මේ වනවිට ඉතාම සාර්ථකව රටට ඔප්පු කර හමාරය. මේ ඡුන්දයේදී ඉල්ලනුයේ එහි දිගුවය. මේ රටේ ජනතාව අතරින් සෑම ජනයාම තම ජාතිය, ආගම, සංස්කෘතිය, කරපින්නාගෙන ඇත. එය මුස්ලිම් අය අතරද දෙමළ අය අතරද එසේමය. වෙනසකට ඇත්තේ ‘රට’ යන්නය. මෙය කාටවත් තමන්ගේ යැයි කියන්නට බෞද්ධයෝ ඉඩ නොදෙති. රට අපේ යැයි නොකියන තැනට මහින්දලා බෞද්ධ මතය හදා ඇත. ප‍්‍රභාකරන් මරා ලද වරම ඊට ඕනෑ පන්නරය සපයා ඇත. දෙමළ අයට ඒ අයගේ ආගම, ජාතිය, සංස්කෘතිය වැදගත්ය. මුස්ලිම් අයට ඒ අයගේ ආගම, ජාතිය, සංස්කෘතිය ඉහළය. එසේ නම් බෞද්ධයෝ පමණක් ජාතිය, ආගම, සංස්කෘතිය කතා කිරීම නරකද? එය කිසිසේත්ම නරක නැති බව මහින්දලා කාවද්දා ඇත්තේ අන් සැමට වඩා ඒ අයිතිය බෞද්ධයන්ට ඇත. මන්ද මේ රට බෞද්ධයන්ගේ නිසාය. ගෝඨා අඳින්නේ දුටුගැමුණුටය. මහින්දව අන්දන්නේ රාවණාට වුවත් අප පුදුම විය යුතු නැත. මහින්දගේ ලොකු චිත‍්‍රය සැබැවින්ම ලොකුය. එය එල්ලා ඇත්තේ ජනතාවගේ බෙලිවලය. යහපාලනය හරහා එක් දෙයක් විය. එනම් රාජපක්ෂලාට යෝධ බල යෝධ ශක්තිය සැපයීමය. එය දැන් සුළුපටු නැත. සූර පප්පලාට මෙන් අරිෂ්ඨය රාජපක්ෂලාට ලැබී ඇත. ඒ අය රට, ජාතිය, ආගම, සංස්කෘතිය එකට කවලම් කොට අරිෂ්ඨය හදා ඇත. එය ඡුන්ද කාලයට පානය කොට කරළියට එති. මහින්ද ජිම් පප්පා වී ඇත. ඔහු ඒ කල්දේරමටම වැටී ගොඩ ආ අයෙකි. ඒ නිසා ලොකු චිත‍්‍රය පැහැදිලිය. ලංකාවේ දේශපාලන කියවීම තුළ රාජපක්ෂ පවුලත් සූර පප්පලා මෙනි. පරාජය කිරීම ලේසි නැත.
මහින්දගේ ජාතිය ඇමතීම තුළ ඇත්තේ පෙරාපු බඩුය. ජනතාව එය රස කර කර බොනු ඇත. කොරෝනා කාලේ අරක්කු නැති කොට කට්ටිය කසිප්පු පෙරීය. කිසිදා කසිප්පු නොබොතැයි සිතූ අය පවා කසිප්පු බිව්වෝය. ඊට වහ වැටුණෝය. වඳින්නේ නම් පදම ඇත්නම් වුවමනා එපමණය. ඒ නිසා තව ඕනෑතරම් කල් ජාතිය, ආගම, සංස්කෘතිය මෙන්ම විශේෂයෙන් රට වෙනුවෙන් නැගිය හැකිය. මේ සංකල්ප බාලයැයි සිතුවට ඒවා දිනෙන් දින ශක්තිමත් වන දෑය. අද එදා තරම් රට ගැන කැක්කුමක් නැත. එහෙත් නැහෙති. ආගම ගැන භක්තියක් නැත. එහෙත් උමතු වී ඇත. සංස්කෘතිය ගැන කියවීමක් නැත. එහෙත් බෙල්ලේ එල්ලාගෙන ඇත. මේ ටික නැති කල තමා හෙළුවෙන් බව ජනතාව දනිති. ඒ නිසා ඒවා උණා දමන්නට රාජපක්ෂලා ඉඩදෙන්නේ නැත.
උණා දමන අයට හූ තබා නොව ගල් ගසා හෝ මෙල්ල කිරීමට රාජපක්ෂලා සමත්ය. ගෝඨා විනයගරුක රටක් හරහාත්, ඉදිරියේදී කරනුයේ එයමය. අප කැමති වුවත් අකමැති වුවත් රාජපක්ෂලා සමග බොහෝ දුරක් යා යුතුව ඇත. මහින්ද කියන ලොකු චිත‍්‍රය යනු වෙන කිසිවක් නොව ඒ අයගේ පවුලේ පින්තූරයය. එය හැම ගෙදරකම එල්ලන තැනට ඔවුහු තල්ලූවෙමින් සිටිති. දකුණේ බොහෝ ගෙවල්වල ගෙදර ප‍්‍රධාන දොරේ මහින්දගේ පින්තූර ඇත. නිවසෙහි පින්තූර ඇත. ඒ තරමට ඔහුට භක්තියය. ජනතාව තුළ ගෝඨා ‘සර්’ වී මහින්ද ‘මහත්තයා’ වී ඇත. සජිත්, රනිල් නමට සීමාවී ඇති අතර රාජපක්ෂලා අන්නන්නට පිටින් ගෙනා අය හිටන් විය. මහින්දගේ මහා චිත‍්‍රය පැහැදිලිය. ඒ තුළ සිහසුනක් සහ කිරීටයක් ඇත. විදේශ ආක‍්‍රමණ කොයි මොහොතේ, කොහෙන් ඒවිදැයි කාට කිව හැකිද? රාජපක්ෂලාගේ සූදානම හොඳය. ඒ ගැන රටට කීම දැනුවත් කිරීම හොඳය. නැත්නම් මේ රටේ බත් බැලයෝ කුමක් දනිත්ද? අපට දැන් රජෙක් නොව රජ පවුලක්ම ඇත.
-රාවය-
Lanka Newsweek © 2024