ශ්‍රී ලංකාවේ සමාජ-දේශපාලන ක්‍රමය වෙලාගෙන තිබෙන දෘෂ්ටිමය පසුගාමිත්වය ශ්‍රී ලංකාවේ අර්බුදය විසඳා ගැනීම දුෂ්කර කිරීමට හේතුවී තිබෙන වැදගත් සාධකයක් ලෙස සැලකිය හැකිය.ශ්‍රී ලංකාවේ අර්බුදය තිබෙන්නේ උපරිම මට්ටමකට ජරාජීර්ණ වී කුණුවූ තත්ත්වයකට පත්ව පරණ ක්‍රමය තුළ අණ්ඩ දමා විසඳාගත නොහැකි තත්ත්වයක වුවද එම යථාර්ථය තේරුම් ගැනීමට පරණ ක්‍රමයට අනුගතවී සිටින දේශපාලකයින් සේ ම සමාජයද සමත් වී නැත.
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයෙන් ආණ්ඩු පක්ෂයට ලොකු මැතිවරණ ජයක් හිමිකර ගැනීමට හැකිවෙතොත් ශ්‍රී ලංකාවේ අර්බුදයට අදාළ චිත්‍රයේ යහපත් වෙනසක් ඇතිකිරීමට හේතුවේද? නැතහොත් දේශපාලන ප්‍රාතිහාර්යයක් වැනි දෙයක් නිසා විරුද්ධ පක්ෂයට වැඩි බලයක් හිමිකර ගැනීමට හැකිවෙතොත් අදාළ චිත්‍රයේ යහපත් වෙනසක් ඇති කිරීමට හේතුවේද? එම ප්‍රශ්න දෙකටම දිය හැකි පිළිතුර වන්නේ නැත යන්නයි. මෙම දේශපාලන බලවේගයන් දෙක එකිනෙකාට වෙනස් වන්නේ ප්‍රමාණාත්මක අර්ථයෙන් මිස ගුණාත්මක අර්ථයෙන් නොවේ. දෙපක්ෂයටම ඇත්තේ ගැඹුරු පරිවර්තනයක් ඇති කිරීමේ හැකියාවක් නැති යල් පැනගිය පසුගාමී දෘෂ්ටියකි.
ශ්‍රී ලංකාවේ අර්බුදය කොවිඞ් වසංගතය නිසා ඇතිවූ අර්බුදයක් නොවේ. නිදහසේ සිට ඇතිවී කොවිඞ් වසංගතය එනවිට උපරිම තත්ත්වයකට වර්ධනය වී තිබූ අර්බුදයක් ලෙස සැලකිය හැකිය. ඒ මත වසංගත තත්ත්වයක් කඩා වැටීම නිසා සිදුවූයේ උපරිම තත්ත්වයකට වර්ධනය වී තිබූ අර්බුදය පුපුරන සුලු තත්ත්වයකට පත්වීමය. එය ආර්ථික අර්බුදයකට පමණක් සීමා නොවූ දැවැන්ත සමාජ-දේශපාලන අර්බුදයක් ලෙස සැලකිය හැකිය.
ශ්‍රී ලංකාවේ අර්බුදය ලංකාවේ රාජ්‍යය නිදහසේ සිටම විටින් විට සුළු වර්ග, සුළු ආගම් හා සුළු කුල පීඩාවට ලක්කිරීම, ඒවාට එරෙහිව ඇතිවූ විරෝධතා හා ඒවා දුර දිග ගොස් ප්‍රචණ්ඩ අරගල බවට පත්වීම නිසා ඒවා ප්‍රචණ්ඩ ලෙස මර්දනය කරන්නට සිදුවීම තුළ සමාජ ක්‍රමයේ තිබිය යුතු ඒකාග්‍රතාව බිඳ වැටීම ආශ්‍රයෙන් ඇතිව තිබෙන අර්බුදයක් ලෙස සැලකිය හැකිය. එම තත්ත්වය නීතියේ පාලනය දුර්වල කොට ව්‍යවස්ථාවට, නීතියට හෝ ප්‍රජාතන්ත්‍රවාදී ගුණධර්මවලට ගරු නොකරන සාහසික රාජ්‍යයක් ඇති කිරීමට හේතුවිය. ඒ නිසා ඇතිවූ පිරිහීම තුළ වස්තු කොල්ලය රාජ්‍යය පාලනයේ නිත්‍ය ලක්ෂණයක් බවට පත්වී සමස්ත රාජ්‍යය හා එහි ආයතන ක්‍රමය දූෂණයෙන් කුණුවූ තත්ත්වයකට පත්කිරීමට හේතුවිය. රාජ්‍යයට එකතුවී තිබූ මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී දූෂිත ලක්ෂණ ඉවත් කිරීමට හේතුවන ප්‍රතිසංස්කරණවලට යාමෙන් දිගින් දිගට වැළකීම නිසා එම වැරදි ගල් ගැසෙන තත්ත්වයකට පත්වී රාජ්‍යය සේ ම සමාජ-දේශපාලන ක්‍රමයද, ආර්ථිකයද මුළුමනින් කුණුවී කඩා බිඳ වැටෙන තත්ත්වයක් ඇති කිරීමට හේතුවිය.
දැන් තිබෙන අර්බුදයට සරල විසඳුම් නැත. අර්බුදය තිබෙන්නේ අණ්ඩ දමා විසඳාගත හැකි තත්ත්වයක නොවේ. එය ජයගත යුතුව තිබෙන්නේ ලාංකේය ජාතිය හා නූතන රාජ්‍යය ප්‍රතිනිර්මාණය කරගැනීමට හේතුවන ව්‍යුහමය ප්‍රතිසංස්කරණ හඳුනාගෙන ඒවා ක්‍රියාවට නගන වැඩසටහනකිනි. රටේ සාම්ප්‍රදායික දේශපාලන තන්ත්‍රයට ආවේණික බුද්ධිමය බංකොළොත්භාවය, ප්‍රජාතන්ත්‍ර විරෝධී කොල්ලකාරී ස්වභාවය එවැනි ප්‍රතිසංස්කරණ වැඩ සටහනකට නායකත්වය දීමට තිබෙන හැකියාව අහිමි කර තිබේ. ඒ නිසා එය ජනතාව විසින්ම ඔවුන්ගේ පරමාධිපත්‍ය බලය ඍජු ලෙස අභ්‍යාස කරන වැඩසටහනක් මගින් පමණක් ජයගත යුතුව තිබෙන අභියෝගයක් බවට පත්ව තිබෙන්නේ යැයි කිව හැකිය.
රට පූර්ණ අරාජකත්වයකට තල්ලුවීම වළකා පූර්ණ බිඳ වැටීමට ගමන් ගනිමින් තිබෙන රාජ්‍යය හා සමාජ-දේශපාලන ක්‍රමය ප්‍රතිනිර්මාණය කිරීමේ පූර්ණ වගකීම මහජන නියෝජිතයින් අතින් විශාල ප්‍රමාණයකට ඉවත් කොට මහජනයා අතට පත් කරන රාමුවක් ඇති කරගත යුතුව තිබේ.
එය තවමත් ශ්‍රී ලංකාව නොදන්නා ක්‍රමයක් වුවද රටක සමස්ත ක්‍රමය බිඳ වැටී තිබෙන අවස්ථාවකදී නව ක්‍රමයක් ප්‍රතිනිර්මාණය කර ගැනීම සදහා බොහෝ රටවල් යොදාගෙන තිබෙන, ලොව පිළිගත්, එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා පිළිගත් ජාත්‍යන්තර නීතිය විසින්ද පිළිගෙන තිබෙන විධිමත් ක්‍රමවේදයක් ලෙස සැලකිය හැකිය. 1986දී නිකරගුවාවද, 1988දී බ්‍රසීලය හා උගන්ඩාවද, 1994දී දකුණු අප්‍රිකාවද, 1997දී එරිත්ත්‍රියාවද, 2002දී රුවන්ඩාවද මේ ක්‍රමවේදය යොදාගනිමින් දේශපාලන ක්‍රමය සාර්ථක ලෙස ප්‍රතිනිර්මාණය කරගන්නා ලද රාජ්‍යයන් ලෙස සැලකිය හැකිය. ඒ හැම රටකම ප්‍රතිනිර්මාණකරණයේ නියමුවන් ලෙස ක්‍රියා කළේ පාර්ලිමේන්තු නියෝජිතයින් නොව මහජනයාය. එම පරිවර්තන ක්‍රියාදාමය සඳහා යොදා ගන්නා ලද්දේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය නොව ඍජු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයයි.
මේ ක්‍රමය හැඳින්වෙන්නේ “සහභාගිත්ව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සම්පාදන ක්‍රමය” හෝ “මහජන ව්‍යවස්ථා සම්පාදන ක්‍රමය” වශයෙනි. එය ව්‍යවස්ථාවක් කෙටුම්පත් කරන ක්‍රියාමාර්ගයකට සීමා නොවූ අවශ්‍ය සියලු දේවල් සොයා බලා ඒ ඕනෑම අංශයක වෙනස්කම් ඇතිකර ගැනීමට මහජනයාට බලය ලබාදෙන ක්‍රමයකි. ඒ ගැන ලියවුණු විශාල සාහිත්‍යයක් තිබෙන අතර සසෙක්ස් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරියක් වන විවියන් හාර්ට් (Vivien Hart) විසින් ලියා ඇති Democratic Constitution Makaing යන ලිපිය ඒ ගැන ලියවී තිබෙන හොඳම ලිපියක් ලෙස සැලකිය හැකිය. එය අන්තර්ජාලයෙන් ලබාගත හැකි අතර එහි සිංහල පරිවර්තනයක් මගේ “අඳුර දුරලීම” යන පොතට ඇතුළත්ය.
මෙම පරිවර්තන ක්‍රමය එය සාර්ථක ලෙස යොදාගත් කිසිම රටක් ආරම්භයේදී දැන සිටි ක්‍රමයක් ලෙස සැලකිය නොහැකිය. මහජනයාට ඔවුන්ට අවශ්‍ය පරිවර්තනය ඇති කරගැනීම සඳහා අවශ්‍ය බලය ලබාදෙන විධිමත් රාමුවක් ඇති කරදී අවශ්‍ය මගපෙන්වීම් ලබාදීමෙන් පසු ඉතාමත් නිර්මාණශීලි ආකාරයකින් රාජ්‍යය හා ජාතිය ප්‍රතිනිර්මාණය කරගැනීමට ඒ රටවල ජනතාව සමත්විය. තර්කානුකූලව හා සාධාරණව කරුණු සලකා බැලීමේ හැකියාවක් ඇති දියුණු හා නවීන සමාජයක් ඇති කර ගැනීමට සමත්වීම එම පරිවර්තන ක්‍රියාදාමයට ලක්වූ හැම රටක්ම අත්පත් කරගත් විශේෂ ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකිය.
පූර්ණ කඩා වැටීමකට ගොදුරු වී සිටින ලංකාවටද ගැලවීම සඳහා තෝරා ගැනීමට ඉතිරි වී තිබෙන විශ්වාසදායක හා ප්‍රායෝගික එකම විකල්පය එය වේ යැයි කිව හැකිය. මෙම අර්බුදයේදී මහජන නියෝජිතයින්ට කළ හැකි කාර්යභාරය සීමිතය. ලංකාව දැන් ඇද වැටී තිබෙන කාලකණ්ණි තත්ත්වයට ඔවුන්ගේ වගකීමෙන් තොර නීති විරෝධී, දූෂිත හා කොල්ලකාරී ක්‍රියාකලාපය හේතුවී තිබෙන බව අමුතුවෙන් කිවයුතු නැත. ඔවුහු දේශපාලන ක්‍රමය හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමගත් සෙල්ලම් කළෝය. පොදු දේපළවල තාවකාලික භාරකරුවන් ලෙස ක්‍රියා කළ ඔවුහු ඒ දේපළ කොල්ලකන ප්‍රතිපත්තියක් අනුගමනය කළහ. ඒ නිසා රාජ්‍යය හා එහි ආයතන ක්‍රමය දූෂණයෙන් කුණුවූ තත්වයක් ඇති කිරීමට හේතුවිය. රටේ සියලු පුරවැසියන්ට සමාන ලෙස සලකන ඒ සියලුදෙනා ආරක්ෂා කරන පිළිවෙතක් අනුගමනය කරනවා වෙනුවට වර්ග, කුල හා ආගම් භේද මත ජනතාව හිංසාවවට හා පීඩාවට පත්කරන පිළිවෙතක් තුළ ජාතික ඒකාග්‍රතාව නැතිභංග කළේය. ඒ නිසාම මහජන නියෝජිතයින් වශයෙන් බිඳ වැටී තිබෙන ජාතිය හා රාජ්‍යය ප්‍රතිනිමානය කරන වැඩසටහනකට නායකත්වය දීමේ සාදාචාරමය හැකියාවක් තිබිය නොහැකිය.
මහජන නියෝජීතයින් වශයෙන් ඔවුන් එම පරිවර්තනීය වැඩසටහනට සම්බන්ධ කරගන්නවා ඇතත් එම ක්‍රියාදාමයට නායකත්වය දීමේ වගකීම පැවරෙනු ඇත්තේ ඔවුන්ට නොව මහජනයාටය. පරිවර්තන වැඩසටහන සැලසුම් කරන, තීන්දු කරන හා මෙහෙයවන මධ්‍යස්ථානය ලෙස ක්‍රියා කරන ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයට මහජන නියෝජිතයින් වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සම්බන්ධ කරගනු ඇතත් එම මණ්ඩලය තුළ වැඩි නියෝජනයක් ලැබෙනු ඇත්තේ මහජනයාටය. එය මහජනයාට හිමි පරමාධිපත්‍ය බලය ඍජු ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මවලට අනුකූලව අභ්‍යාස කරන දුලබ හා ඓතිහාසික අවස්ථාවක් ලෙස ක්‍රියා කරනු ඇත.
එහිදී රාජ්‍යයේ පරමාධිපත්‍ය බලය හිමි ජනතාව එම පරිවර්තනය සඳහා ඔවුන්ට දැනගැනීමට අවශ්‍ය හැම දෙයක්මත් විධිමත් ලෙස සොයා බලන තැනකට යනු ඇත. රාජ්‍යයේ පරිහානිය හා බිඳ වැටීම කෙරෙහි බලපා තිබෙන සියලු වැදගත් හේතු සොයා බලනු ඇත. මහජනයා වර්ග, කුල හා ආගම් භේද මත හිංසාවට හා පීඩාවට පත්කිරීම් ගැනද, ඒ ආශ්‍රයෙන් ඇතිවූ කැරලි කෝලහාල ගැනද, බලලෝභී අරමුණු සඳහා ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම් ගැනද, ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය ගැනද, ජනමාධ්‍ය රඟපෑ විනාශකාරී භූමිකාව ගැනද, පාලක පක්ෂ විසින් පවත්වාගෙන ගිය වස්තු කොල්ලයන් ගැනද සොයා බලනු ඇත.
අධ්‍යාපනය, මහජන සෞඛ්‍ය, මගී ප්‍රවාහනය, කර්මාන්ත, කෘෂිකර්මාන්ත, ව්‍යාපාර, වෙළෙඳාම, බලශක්ති, පරිසරය, ස්වාභාවික සම්පත්, සංවර්ධන ව්‍යාපාර හා විදේශ ප්‍රතිපත්ති යන හැම වැදගත් අංශයක් ගැනම සොයා බලනු ඇත. එහිදී එම මහජනයා කරුණු සොයා බලන පරීක්ෂකයින් වශයෙන්ද, යුක්තිය අහිමි කරනු ලැබූ ජනයාට යුක්තිය ඉටුකර දෙන විනිසුරුවරුන් වශයෙන්ද, කඩා බිඳ වැටී තිබෙන ජාතිය හා රාජ්‍යය ප්‍රතිනිර්මාණය කරන නිර්මාණකරුවන් ලෙසද ක්‍රියා කරනු ඇත.
ලංකාව ගලවා ගැනීමට වෙනත් ප්‍රශස්ත ප්‍රායෝගික මාර්ගයක් නැති අතර පාර්ලිමේන්තු මැතිවරණය අවසානයේදී ඉන් දේශපාලන පක්ෂ ලබන ජය පරාජය කුමක් වුවද රටට සැබෑ විපර්යාසයක් නැතුවම බැරි සන්ධිස්ථානයකට තල්ලු කිරීමට හේතුවනු ඇත. මංගල සමරවීර ලබාදී තිබෙන දේශපාලන සංඥාවේ වැදගත්කම ඒ සමග අලුත් වටයකින් ඉස්මතු වනු ඇත. පරණ ධාරාවේ තියුණු බෙදීම් ඇතිවී හෘදය සාක්ෂියක් ඇති පිරිස් පරිවර්තන අවශ්‍යතාව වෙනුවෙන් බලවත් ලෙස පෙනී සිටින තත්ත්වයක් නිර්මානය කිරීමට සේ ම බලයේ සිටින පාලක පක්ෂයටද පරිවර්තනයක් සඳහා වන වාන් දොරටු විවෘත කිරීමෙන් වැළකී සිටිය නොහැකි තත්ත්වයක් නිර්මාණය කිරීමට හේතුවනු ඇත.
Lanka Newsweek © 2024