Tuesday 23rd of April 2024

English Tamil
Advertiesment


නිදහස් අදහස් මර්දනයට රජය සැරසෙයි -කිරිඇල්ල-


2020-06-06 7662

"රාජ්‍ය සේවය හමුදාකරණය කරලා" 

 

"අංක 2178/18 දරන ගැසට් පත‍්‍රය මගින් ස්වාධීන රාජ්‍ය සේවය හමුදා පාලනය යටතට පත් කොට ඇතැයි පාර්ලිමේන්තුවේ හිටපු සභා නායක අධි නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල "lankanewsweek" වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

මෙම ගැසට් පත්‍රය, එහි අරමුණු සහ එමගින් උද්ගත විය හැකි විශේෂ තත්ත්වයන් සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු විස්තර කරමින් "lankanewsweek" සමග අදහස් දැක්වූ අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේද කීය.

අංක 2178/18 ගැසට් පත‍්‍රයක් මගින් 12 දෙනෙකුගෙන් සමන්විත ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කරලා තිබෙනවා. ඒ දොළොස්  දෙනාම හමුදා නිලධාරින්. මේ ක්‍රියා මාර්ගයේ භයානකකම තමයි අපේ කීර්තිමත් රාජ්‍ය සේවය මේ කාර්ය සාධක බලකාය යටතට පත් කර තිබීම. ති‍්‍රවිධ හමුදාවේ උසස් නිලධාරින් දොළොස් දෙනෙක් සිටිනවා. මේ ගැසට් පත‍්‍රය අනුව අපේ රාජ්‍ය සේවයේ නිලධාරින් සියලු දෙනාම කාර්ය සාධක බලකායෙන් ලබාදෙන නියෝග කි‍්‍රයාත්මක කරන්න  ඕන. 

මේ ක්‍රියා මාර්ගය අපේ ව්‍යවස්ථාවට පටහැනියි. මොකද රාජ්‍ය සේවය ස්වාධීන ආයතනයක්. අපේ රටේ ව්‍යවස්ථාවට අනුව රාජ්‍ය සේවය පාලනය වෙන්නේ රාජ්‍ය සේවා කොමිසමෙන්. ඒ වගේම රාජ්‍ය සේවයේ ජ්‍යෙෂ්ඨත්වය අනුව අමාත්‍යාංශ ලේකම්වරයා සිටින්නේ ති‍්‍රවිධ හමුදාපතිවරුන්ට වඩා ඉහළින්. නමුත් මේ ගැසට්ටුව මගින් එම ධූරාවලිය කණපිට පෙරළලා. සියලු රාජ්‍ය සේවකයන් මේ කාර්ය සාධක බලකාය යටතට ගෙනත්  තිබෙනවා. ඔවුන් දෙන නියෝග රාජ්‍ය සේවකයින් සහ නිලධාරීන් කි‍්‍රයාත්මක නොකළ හොත් ඒ ගැන ජනාධිපතිට ලිඛිතව දැනුම් දෙන්නත් මේ අයට බලය දීලා තිබෙනවා. ඉතින් මේ ක්‍රියාදාමය භයානක තත්ත්වයක්. මේ ක්‍රියාත්මක කරන්න යන්නේ රට ක‍්‍රමක‍්‍රමයෙන් මිලිටරිකරණයට හෙවත් හමුදාකරණයට රැගෙන යන වැඩ පිළිවෙළක් බව කිව යුතුයි.

මේජර් ජෙනරල් කමල් ගුණරත්න, ලූතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, වයිස් අද්මිරල් පියල් ද සිල්වා, එයාර් මාර්ෂල් සුමංගල ඩයස්, වැඩ බලන පොලිස්පති සී.ඞී. වික‍්‍රමරත්න, මේජර් ජෙනරල් විජිත රවිප‍්‍රිය, මේජර් ජෙනරල් ජගත් අල්විස්, මේජර් ජෙනරල් සුරේෂ් සාලිය, මේජර් ජෙනරල් ඒ.එස්. හේවාවිතාරණ, කපිතාන් එස්.ජේ කුමාර, එයාර් කොමදෝරු එම්.ඞී.කේ. වාසගේ, නියෝජ්‍ය පොලිස්පති ටී.සී. ඒ. ධනපාල සහ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර යන මහත්වරුන් මේ කාර්ය සාධක බලකායේ සිටින අතර ඒ අයගේ යටතට රාජ්‍ය සේවය යටත් කරලා තිබෙනවා. 

මේ අය දෙන නියෝග රාජ්‍ය සේවය කි‍්‍රයාත්මක කරන්න  ඕන. එසේ කි‍්‍රයාත්මක නොකළහොත් අතිගරු ජනාධිපතිතුමාට ඒ බව දැනුම් දෙන්නත් බලය දී තිබෙනවා. මම රාජ්‍ය සේවයෙන් අහනවා මෙම නියෝග පිළිගන්න ඔබ සූදානම්ද..? ඒ වගේම කාර්ය සාධන බලකායට වගකීම් පවරලා තිබෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරම් වැටලීමට. එහි වරදක් නැහැ.  ඒ වගේම සිර ගෙවල්වල ඇති වන යම් යම් සිද්ධීන් පිළිබදව සොයා බැලීමට. එහිත් ප්‍රශ්නයක් නැහැ. නමුත් භයානකම දේ තමයි සමාජ  කණ්ඩායම්වල සමාජ විරෝධී කටයුතු ගැන හොයන්න බලයක් දී තිබීම. මොකක්ද මේ සමාජ කණ්ඩායම්වල සමාජ විරෝධි වැඩ කියන්නේ..? ඒ ගැන පැහැදිලි අර්ථ නිරූපණයක් දී නැහැ. 

මේ මඟින්  පළමුව ඉලක්ක කරන්නේ ජනමාධ්‍ය සහ සිවිල් සමාජය. ඒ වගේම ආගමික නායකයන් සහ ප‍්‍රකාශන සමාගම්. ඉතින් මේ තත්ත්වය අති භයානකයි. මේ ගැසට් පත‍්‍රය නිකුත් කරමින් රාජ්‍ය සේවය හමුදා පාලනයට යටත් කළේ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව දුන්න දවසේ රාති‍්‍රයේ. මේ ක්‍රියාදාමය අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කණපිට පෙරළීමක්. 

ඔබට මතක ඇති.., පසුගිය කාලයේ මේ අය සටන් පාඨයක් හැදුවා. විශේෂයෙන් වියත් මඟ අය සම්බන්ධ වෙලා එකම රටක් එකම නීතියක් කියලා. ඒ සටන් පාඨය දැන් රටේ තියෙනවද..? දැන් තිබෙන්නේ එකම රටක් නීති දෙකක්.  පසුගිය කාලයේ සිදුවූ සිද්ධි දෙස බැලුවාම නිරෝධායන නීති අමු අමුවේ උල්ලංඝනය වුණා. එදායින් පසුව කොරෝනා නැති කරන්න පත් කරපු කාර්ය සාධන බලකායේ කිසිවෙක් දැක්කේ නැහැ ඒ අය හැංගිලා. අපේ රටේ අහිංසක පුරවැසියන් පනස්දහසක් පමණ  අත්තඩංගුවට ගත්තා නිරෝධායන නීති කැඩුවා කියා.  නමුත් අපි දුටුවා පසුගිය දවස්වල දහස් ගණන් ජනතාව හා රජයේ ඇමතිවරුන් නිරෝධායන නීති උල්ලංඝනය කරනවා. ඉතිං එකම රටක් එකම නීතියක් තියෙනවාද කියන ප්‍රශ්නය මතු වෙනවා. පාලකයාට එක නීතියක්...සාමාන්‍ය ජනතාවට තව නීතියක් තමා අද දකින්න තියෙන්නේ. 

අධිකරණ තීන්දුව අපි පිළිගන්නවා. විශේෂයෙන් අපි අධිකරණයට ගියේ ජුනි 20 මැතිවරණය පැවැත්වීම සම්බන්ධව. අනෙක් කාරණා අපි අධිකරණයට ගිය නිසා ඉල්ලුවා. නමුත් අදටත් මගේ පෞද්ගලික විස්වාසය රටකට මාස 06ක් පාර්ලිමේන්තුව නැතුව යන්න පුළුවන්ද..? ඒකයි මම අහන්නේ.

විපක්ෂය කියන්නේ ආණ්ඩුව නෙමෙයි. අඩුපාඩුකම් පෙන්වීම තමයි අපේ වගකීම. දැන් පසුගිය කාලයේ නිරෝධායන නීති අමු අමුවේ උල්ලංඝනය කළා. ඒක හරිද..? ඒ සියලු දෙනාටම නීතිය කි‍්‍රයාත්මක කරන්න  ඕන. මම දැක්කා යුරෝපීය  රටක අගමැතිවරයෙකුට දඩ නියම කළා සිප වැළද ගැනීමක් සම්බන්ධයෙන්. රණවිරුවෙක් අසනීප වෙලා මිය ගියාම එක දවසින් අවසන් කටයුතු කළා. මේ වගේ දවස් 5ක් තියා ගන්න පුළුවන්ද..? ඒකයි අපි කියන්නේ එකම රටක් එක නීතියක් තියෙනවද..? මාධ්‍යයේ වගකීම තමයි හරි දේට හරි කියන්නත් වැරදි දේට වැරදි කියන්නත්."   
 

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment