"මැදමූලනේ පොඩි පුතා ලංකාවට රජ වුණා- මැදමුලනේ පොඩි පුතා ලංකාවටම රජ වුණා" යැයි ප්‍රීති ඝෝෂා පවත්වමින් යන තරුණ පිරිසකගේ හඬක් ඇසීමෙන් මම එක පිම්මට බෙලිඅත්ත පාර දෙසට දිව ගියෙමි. ඒ 2005 නොවැම්බර් 18 වැනිදා සවසයි. කිරින්ද බෙලිඅත්ත මාර්ගය ඔස්සේ බෙලිඅත්තේ සිට පැමිණි වාහන පේලියක නැග ගත් තරුණ පිරිස ප්‍රීති ඝෝෂා පවත්වමින් මාතර හක්මන මාර්ගය ඔස්සේ හක්මන දෙසට ගමන් ගන්නා විටය. එවිට ජනාධිපතිවරණ ප්‍රතිඵල ආසන මට්ටමින් සියල්ල නිකුත් කොට මහින්ද රාජපක්ෂ මහතාගේ ජය තහවුරු වී තිබුණි.
2005 දී ජනාධිපතිවරණයේ දී අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ප්රචාරක අවසන් රැස්වීම වූ මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී 2005 නොවැම්බර් 14 දින පැවැති දැවැන්ත රැලිය, දිනමිණ පුවත්පත වෙනුවෙන් වාර්තා කිරීමට පැවරී තිබුණේ් මා හටය.
මාතර ලේක්හවුස් කාර්යාලයේ සිටි අයි. ඩී. ටී. සෝමසිරිත්, ජස්ටින් කොඩිකාර මහතාටත්, මටත් එම රැස්වීම වාර්තා කිරීමට හැකි විය. එදින අගමැති මහින්ද රාජපක්ෂ මහතා මාතර රැලිය අමතමින් ප්‍රකාශ කළේ, "මගේ ජයග්‍රහණය ඔබේ ජයග්‍රහණයයි. 17 දා ඔබ විසින් මට ලබාදෙන ජයග්‍රහණය නොබෙදූ රටක ජයග්‍රහණයයි. අපේ මාතෘ භූමියේ 88 – 89 වසරේ අති වූ භීෂණයට ජීවිත බිලි දුන් තරුණ ජීවිත ගැන මට අද වගේ මතකයි. ඔවුන්ගේ මවුවරු වෙනුවෙන්, දරුවන් වෙනුවෙන් භීෂණයට විරුද්ධව හඬ නගන්න පාද යාත්‍රා යන්න අපට හැකි වුණා. මේ 18 දා මට ඔබ රට බාර දෙන්නේ ජීවිත සැපවත් කරන්නයි. අවුරුදු ගණනාවක් බිඳ වැටී ඇති මේ රටේ සාමය උදා කර ගන්නයි. සාමයේ නාමයෙන් ජීවිත විනාශ කිරීමේ යුගය අවසන්කර, රට ගොඩ ගන්නයි. මිනිසුන් එකිනෙකාට බියෙන් සැකෙන් තොරව ජීවත්වීමේ කාලයක් උදා කරන්න වෙලා. අපි රට නො බෙදා ඒකීය රටක් තුළ ගෞරවනීය සාමයක් උදා කරනවා"
එදා අගමැති මහින්ද තම අවසන් ජන රැලියේදී මාතර දී පැවසූ සියල්ල ඉටුවී රටට සාමය ලැබී, රටේ ආර්ථික සංවර්ධනයේ විශාල පෙරළියක් සිදු වී ඇත. රාජපක්ෂවරු රුහුණට නායකත්වය දෙමින් ගිරුවාවේ මිනිසුන්ගේ, රුහුණේ් මිනිසුන්ගේ් අනන්‍යතාව, උරුමය ආරක්ෂා කරමින් ජනතා සේවයට මුලින්ම එක්වන්නේ බුද්දියාගම රාජපක්ෂ වරුන්ය.
1818 ඌව වෙල්ලස්ස කැරැල්ලට පණ පොවන මේ බුද්දියාගම රාජපක්ෂවරුන්ගෙන් පසු පීඩිත පොඩි මිනිසුන්ගේ පිහිටට පැමිණෙන්නේ ඩී. ඇම්. රාජපක්ෂ තරුණයාය. මහින්ද රාජපක්ෂ මහතාගේ ලොකු තාත්තා ය. එකල අධිරාජ්‍යවාදී රදළවරුන්ගේ බලයට යටත්ව තිබූ රුහුණේ පීඩිතයෝ වෙනුවෙන් පෙනී සිටි මේ ඩී. ඇම්. රාජපක්ෂ තරුණයා ගිරුවාවේ ජනයාගේ ගැළවුම්කරුවා විය. ජනයා වෙනුවෙන් සටන් කළේ සිංහයෙක් මෙනි. එහෙයින් "රුහුණේ සිංහයා" ලෙස විරුදාවලිය ඔහුට පට බැඳුණි.
එකල එක්තරා කුලවල ජනයාට උඩුකයට ඇඳුම් ඇඳීම, පාසල් යාම, රදළයන් විසින් තහනම් කර තිබුණි. ඊට විරුද්ධ වූ ඩී. ඇම්. රාජපක්ෂයන් දහස් ගණන් මිනිසුන්ට උඩුකයට ඇඳුම් අන්දවා, සමූහ වශයෙන් නගරවලට, පාරවල්වලට ගෙන ආවේ ය. රදළයන්ගේ කුල මානය බිඳ දැමුවේය. මෙයින් කිපුණු රදළයෝ, පාසලකට පැන උඩුකයට ඇඳුම් ඇඳ ඉගෙනීමේ යෙදී සිටි තරුණයන් පිරිසකගේ ඇඳුම් ඉරා දමා පහර දුන්හ. මේ සිද්ධිය කන වැටුණු ඩී. ඇම්. රාජපක්ෂයන් එම රදලයන්ට විරුද්ධව වහා ක්‍රියා කොට ජනයාගේ බිය තුරන් කළේය.
ඩී. ඇම්. රාජපක්ෂයන්ගේ හදිසි අභාවයෙන් පසු ජනතා සේවය පැවරෙන්නේ මහින්ද රාජපක්ෂයන්ගේ පියා වූ ඩී. ඒ. රාජපක්ෂයන්ටය. ඔහු ඩී. ඇම්. ගේ මල්ලිය. ගිරුවායේ ජනයා අපට පිහිට වන්නැයි පවසමින් ඔහු වටා එක්වූහ. කිසි දිෙනක දේශපාලනයට පිවිසීමට නොසිතා ගොවිතැන් කරමින් සරල ජීවිතයක් ගත කළ ඩී. ඒ. රාජපක්ෂයන්ට ජනතාවගේ ඉල්ලීම අහක දැමීමට නොහැකි විය. ජනයා කුඹුරටම පැමිණ අතුරු මැතිවරණයට ඉදිරිපත් වන ලෙස ඔහුගෙන් ඉල්ලීය. ඔහු වක්කඩින් අත සෝදා ගෙන හම්බන්තොට නාම යෝජනා පත්‍රයට අත්සත් තැබීය.
විරුද්ධ පාක්ෂිකයෝ ඩී. ඒ. රාජපක්ෂයන් ගේ පැමිණීමත් සමඟ පසු බැස්සෝය. අතුරු මැතිවරණයෙන් හම්බන්තොටින් නිතරගයෙන් ඩී. ඒ. තේරීපත් විය. වැඩිමල් සොහොයුරාගේ ජනතා සේවය සියතට ගත්තේය. ඔහුට තීරණාත්මක අවස්ථාවක් වූයේ එස්.ඩබ්ලියු.ආර්.ඩී බණ්ඩාරනායක මහතා රජයෙන් ඉවත්වී විපක්ෂයට මාරු වන අවස්ථාවයි. එස්.ඩබ්ලියු.ආර්.ඩී බණ්ඩාරනායක මහතා අනුගමනය කිරීමට මුලින් ප්‍රතිඥා දී සිටි අය නිහඬව සිටිය දී, ඩී. ඒ. එස්.ඩබ්ලියු.ආර්.ඩී බණ්ඩාරනායක මහතා අනුගමනය කරමින් විරුද්ධ පක්ෂයට ගොස් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහි කොට පොදු ජන යුගයක් බිහි කිරීමට පුරෝගාමී විය.
සිය දේපළ මුදල්, ඉඩම් පොදු ජනයා වෙනුවෙන් කැප කරමින් ජනතා සේවයට එක්විය. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ රජයේ නියෝජ්‍ය කථානායකවරයාව සිටි ඩී. ඒ. රාජපක්ෂයන් නොසිතූ මොහොතක අභාවප්‍රාප්ත විය. ඔහුගෙන් පසු පුරප්පාඩුව පිරවීමට ඉදිරිපත් වූයේ ජෝර්ජ් රාජපක්ෂ මහතායි. සිය පියා සහ සුළු පියාගේ අඩි පාරේ යමින් ඔහු ජනතා සේවයට කැපවීය. ඔහු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ රජයේ ඇමැතිවරයකු විය. එතුමා ද අකාලයේ අභාවප්‍රාප්ත විය.
ඉන්පසු මේ කාර්ය ඉටුකිරීමට පැවරෙන්නේ තරුණ මහින්ද රාජපක්ක්ෂ මහතාටයි. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය 1970 මැතිවරණයට ඉදිරිපත් කිරීම සඳහා රාජපක්ෂ පුතකු සොයා මැදමුලන නිවසට ගියාය. එවිට දන්දිනා සමරසිංහ රාජපක්ෂ මැතිනිය පැවසුවේ, "ලොකු පුතා නම් පොලිසියේ, පොඩි පුතාට හොඳට කතා කරන්න පුළුවන්. ඔහු මැතිවරණයට ඉදිරිපත් කරන්න" ලෙසයි. පොඩි පුතා යනුවෙන් දන්දිනා සමරසිංහ රාජපක්ෂ මාතාව ආමන්ත්‍රණය කරන්නේ මහින්ද රාජපක්ෂ මහතාටයි.
1970 මහ මැතිවරණයට බෙලිඅත්ත ආසනයට මැදමුලනේ පොඩි පුතා ඉදිරිපත් විය. "ඔබලා මට සහාය දෙන්න...මා ඔබලා රකින්න ලැහැස්තියි" ඔහු ජනතාවට පැවසීය. මැදමුලනේ පොඩි පුතා 70 මැතිවරණය විශිෂ්ට ලෙස ජය ගෙන, 70 – 77 බෙලිඅත්ත මන්ත්‍රී විය. 70 දී මන්ත්‍රී වූ මහින්ද රාජපක්ෂ එකල සිටි ළාබාලතම පාර්ලිමේනතු මන්ත්‍රී විය.
ජේ. ආර්. ජයවර්ධන රජය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අඩපණ කර තිබූ අවදියේ, පක්ෂයට පණ පොවමින් උද්ඝෝෂණ, පා ගමන් පවත්වා පක්ෂය ගොඩ ගෙන, 1994 පොදු ජන ජයග්‍රහණයට පාර විවර කෙළේ මහින්ද රාජපක්ෂයන්ය. ඒ මැදමුලනේ පොඩි පුතා 2005 නොවැම්බර් 18 දා ශ්‍රී ලංකාවටම රජ විය.
Lanka Newsweek © 2024