Tuesday 11th of May 2021

English Tamil
Advertiesment


රවී එජාපයේ යන ගමනට මහා නා හිමිවරු ද ආශීර්වාද කරති 


2020-05-26 11004

කොටුගොඩ ධම්මාවාස නා හිමිගෙන් විශේෂ ඇගයීමක් 

 

"එජාප මහා ගෙදරින් පැන යන්න තරම් ප්‍රශ්නයක් කිසිවෙකුට ඇති වුණේ නැහැ"

 

"ප්‍රශ්නය නායකයා ඒකාධිපති නොවීමයි"

 

"කොරෝනා යුද්ධය වගේම ආර්ථික යුද්ධයත් ජය ගත යුතුයි" 

 

 

මහා නා හිමිවරුන් ප්‍රධාන සර්වාගමික නායකයින් ඇතුළු ජන සමාජයේ සියලු පාර්ශවයන් එකට ඒකරාශී කර, එක්සත් ජාතික පක්ෂය යළි ගොඩනගමින් එම පක්ෂයේ උප නායක රවී කරුණානායක මහතා ආරම්භ කර තිබෙන අනාගත දේශපාලන ගමන සඳහා ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ග මහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස නා හිමියෝ සිය ආශීර්වාදය පළ කර සිටියහ.

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ග මහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස නා හිමියන් එම අනාගත දේශපාලන ගමනට මෙසේ ආශීර්වාද කළේ, උන්වහන්සේ බැහැ දැක සුවදුක් සහ අවශ්‍යතා පිළිබඳව කරුණු සොයා බැලීම සඳහා ගල්කිස්සේ පිහිටි ශ්‍රී ධර්මාපලාරාමය වෙත රවී කරුණානායක මහතා සඳුදා (25) උදෑසන පැමිණි අවස්ථාවේදීය.

මහා නා හිමි ප්‍රධාන මහා සංඝ රත්නය හමුවේ රටේ උද්ගත වී තිබෙන තත්ත්වය සේම එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි දේශපාලන වැඩ කටයුතු සහ ඉලක්ක පිළිබඳව කරුණු පැහැදිළි රවී කරුණානායක මහතා උන්වහන්සේලාගෙන් ආශීර්වාද ලබා ගත්තේය.

මහා නා හිමිපාණන් වහනේසේ බැහැ දැක උන්වහන්සේගේ සුව දුක් සහ අවශ්‍යතා පිළිබඳ කරුණු සොයා බැලීමෙන් අනතුරුව එම අවස්ථාවට එක්ව සිටී ජන මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවී කරුණානායක මහතා මෙසේ පැවැසීය.

රටට ඡන්දයක් අවශ්‍යයි. එක්සත් ජාතික පක්ෂය කියන්නේ නැහැ ඡන්දයක් තියන්න එපා කියලා. නමුත් මේ අවස්ථාවේ ඊට වඩා අපි ජනතාව ගැන සිතිය යුතුයි. අපි ජනතාව ආරක්ෂා කළ යුතුයි. ඒනිසා කොරෝනා සහමුලින්ම  නැති කරලා, ඡන්දයක් ගැන හිතුවොත් තමයි වඩාත් යහපත් වන්නේ. සෞඛ්‍ය අංශ කියන්නෙත් කොරෝනා තර්ජනය අවසන් වීමෙන් පසුව ඡන්දයකට යාම සුදුසුයි කියලයි. අනිත් අය වගේ එක්සත් ජාතික පක්ෂය උසාවි යන්නේ නැහැ ඡන්දයක් එපා කියලා. 

ඒ වගේම මොන යුද්ධය දිණුවත් ආර්ථික යුද්ධයෙන් පැරදුණොත් රට විනාශ වෙනවා. ඒ නිසා රට ආරක්ෂා කර ගන්න නම්, කොරෝනා යුද්ධයෙන් ජය ගන්නවා වගේම, ස්ථාවර ජාතික ආර්ථිකයක් ගොඩනැගිය යුතුයි. ඒ සදහා හැකියාව එක්සත් ජාතික පක්ෂයට තිබෙනවා. 

කොරෝනා අවධානම යටතේ වෙනත් රටවල පුද්ගලයින් මේ රටට ගෙන්වීම සම්බන්ධයෙන් අප වැඩි දුරටත් සිතා බැලිය යුතුයි. රටේ දින 67 ක් වැනි කාලයක් ඇදිරි නීතිය පනවලා මේ වන විට සෑහෙන දුරට මේ රටේ කොරෝනා පාලනය වෙලා තිබෙනවා. ඒ නිසා අපි වෙනත් රටවල සිට ජනතාව ගෙන්වනවා නම් දැඩි ලෙස විමසිලිමත් විය යුතුයි. විදේශ විනිමය ලැබෙන මාර්ගයක් වුවත් ඒ පිළිබදව අප සැලකිලිමත් විය යුතුමයි. 

එක්සත් ජාතික පක්ෂය කියන්නේ දීර්ඝ ඉතිහාසයක් තිබෙන පක්ෂයක්. උරුමයක් තිබෙන ඒ පක්ෂය ආරක්ෂා කිරිම අපගේ යුතුකමක්. පක්ෂයේ මහ ගෙදරින් එළියට බැහැලා ගිය අය දැන් ඉන්නේ වෙනත් ස්ථානවල, වෙනත් න්‍යායන් යටතේ. එහෙම නම් දැන් ඔවුන් පිළිබදව පක්ෂයේ නාමය ගාවලා කතා කරන එක තේරුමක් නැහැ. අද පක්ෂය මුළුමනින්ම සුද්ද වෙලා තිබෙන්නේ.  මහ ගෙදර දාලා යන්න තරම් ඔවුන්ට ප්‍රශ්නයක් ඇති වුණේ නැහැ. පක්ෂයේ නායකයා ඒකාධිපති පාලකයෙක් වශයෙන් කටයුතු කළා නම්, මෙහෙම දෙයක් වෙන එකක් නැහැ. හුරතල් කරන්න ගිහින් තමයි මෙහෙම දෙයක් ඇති වුණේ. 

එක්සත් ජාතික පක්ෂය විශිෂ්ට ජයග්‍රහණයක් ලබාවි. අපේ පක්ෂයේ  පරිණත පුද්ගලයින් ගණනාවක් සිටිනවා. තරුණයන්ට බලට ඒමට අවස්ථාව දීම ඉතාම  වැදගත්. එක්සත් ජාතික පක්ෂය කියන්නේ ගලා ගෙන යන ගගක් වගේ. ඒකෙන් කුඩා ජල පහරක් වෙනත් දිශාවකට ගලා ගියාට ඒ තරම් බලපෑමක් නැහැ. මහ ගෙදර අත හැරලා ගිය පිරිස ගැනත් කියන්න තිබෙන්නේ ඒ දෙයම තමයි. 

මේ රටට මේ වන විට ආධාර ලැබිලා තිබෙනවා රටවල් ගණනාවකින්. නමුත් මුදල් ලැබීම කොහොමද කියලා දන්නේ නැහැ. දැනට මම දන්න විදියට මිලියන 323 ක් රටේ මුදල් අච්චු ගහලා තිබෙනවා." 


 

Advertiesment