Saturday 8th of May 2021

English Tamil
Advertiesment


කොමිසමට වද නොදෙනු-ව්‍යවස්ථාවේ 70 (07) අනුව ක්‍රියා කරනු


2020-04-20 4248

කොමිසම අපහසුතාවයට ලක් කිරීම බරපතළ ඛේදවාචකයක් 

 

වරද තිබෙන්නේ කොමිසමේ නොව වසංගතයේයි 

 

 
(සුජිත් මංගල ද සිල්වා) 

 

රටේ උද්ගත වී තිබෙන දරුණු වසංගත තත්ත්වය හමුවේ ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව අපහසුතාවයට ලක් කිරීම බරපතළ ඛේදවාචකයක් සහ වරදක් වන්නේ යැයි ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු පළාත් සභා, පළාත් පාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අවධාරණය කර සිටියි.  

ඔහු මේ බව පැවසුවේ ගාල්ලේ දී සඳුදා (20) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ වජිර අබේවර්ධන මහතා මෙසේද කීය. 

"රටේ උද්ගත වී තිබෙන දරුණු වසංගත තත්ත්වය හමුවේ ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව අපහසුතාවයට ලක් කිරීම බරපතළ ඛේදවාචකයක් සහ වරදක් බව කිව යුතුයි. මේ වන විට සියල්ල ඒ අයගේ සිමාවෙන් ඔබ්බට ගොස් තිබෙනවා. ඒ අය නියම කළ දිනට මහ මැතිවරණය පැවැත්විමට නොහැකි වී තිබෙන්නේ මැතිවරණ කොමසමේ දෝෂයක් නිසා නොවෙයි.

මේ තත්ත්වයට අප සියලු දෙනාට මුහුණ දීමට සිදුව තිබෙන්නේ ලෝක වසංගත තත්ත්වය නිසයි. ඒ නිසා අලුත් පාර්ලිමේන්තුව 2020 ජූනි 02 රැස් විය යුතු යැයි කියන කතාව වැදගත් වෙන්නේ නැහැ. මෙවැනි අවස්ථාවක අප ක්‍රියා කළ යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (07) වැනි වගන්තිය අනුවයි. මෙවැනි ජාතික ව්‍යසනයකදී මුහුණ දිය යුතු ආකාරය එම වගන්තියේ ලියා තිබෙනවා. ඒ අනුව මේ අවස්ථවේ දී ඒ  අනුව ක්‍රියා කරනවා විනා පටු අරමුණු, න්‍යාය පත්‍ර සහ චෙතනා අනුව කටයුතු කළ යුතු නැහැ.
 
මේ අවස්ථාවේ ඡන්දයක් ගැන හිතන්නේ කොහොමද..?  මුද්‍රණාල වැඩ කරන්න ඕනෑ. සේවකයින් මේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන්න ඕනෑ. තැපල්කරුවන් එම ඡන්ද පත්‍රිකා නිසි අයුරින් බෙදා දෙන්න ඕනෑ. තොරා ගත් සුළු පිරිසකට ඡන්ද පත්‍රිකා දී භාණ්ඩ බෙදන ආකාරයට ඡන්ද පවත් වන්න බැහැ. ඒ නිසා   මැතිවරණ කොමිසම මේ අවස්ථාවේ අසරණ කරන්න හොද නැහැ .

උද්ගත වී ඇති වාතාවරණය හමුවේ මේ අවස්ථාවේ දී මහ මැතිවරණය, මැතිවරණ කොමිසමේ වගකිමෙන් ඈතට ගොස් තිබෙනවා. ඒ නිසා මැතිවරණ කොමිසමට මේ වගකීම පට වන එක බරපතළ ඛෙදවාකයක් වගේම වරදක් වනවා. මේ වගේ අවස්ථාවකත් මේ සියලු වගකීම් මැතිවරණ කොමිසමට පවරනවා නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 70 (07) වැනි වගන්තිය අවශ්‍ය වන්නේ නැහැ." 

Advertiesment