Sunday 13th of October 2024

English Tamil
Advertiesment


බංග්ලාදේශයට අබසරණයි..!


2020-04-20 14340

"Lock Down" නොතකා ආගමික නායකයෙකුගේ අවමගුලට ලක්ෂයක ජන ගඟක්

 

(රසල් සී.පී බණ්ඩාරවත්ත)

 

බංග්ලාදේශය යනු මිලියන 161.4 ක ජනතාවක් දිවි ගෙවන දකුණු ආසියාවේ දරිද්‍රතාවය රජයන රටකි. නැගෙනහිර ආසියාවෙන් බිහිවූ COVID-19 වෛරසය යුරෝපය සහ ඇමරිකාව සමතලා කරමින් පැතිර යන විට දකුණු ආසියානු කලාපයට වෛරසය එබී බලමින් සිටින්නේ තෙවන අදියරේ පුරප්පාඩුව පුරවමිනි. 

එම කළාපයේ දැවැන්තයා වන ඉන්දියාවේ වෛරසය පැතිරීමට බලපෑ ප්‍රධාන මර්මස්ථාන වූයේ හින්දු සහ ඉස්ලාම් ආගමික මතයන් ප්‍රචලිත කිරීමට එක් රැස්වූ සිය ගණන් ජනයාගෙනි. එසේ ආරම්භ වූ වෛරසය මේ වන විට ඉන්දීය ප්‍රාන්තවලට ක්‍රමයෙන් දත් විලිස්සා පැමිණෙමින් තිබේ. ඉන්දියාවේ මිය ගිය ගණන 521 වන අතර ආසාදිත පිරිස ලෙස 15,722 වාර්තා වේ. යම් ආකාරයකින් තත්වය බරපතළ වුව හොත් 1912 දී ස්පාඤ්ඤ උණ රෝගයෙන් මිලියන 19 ක් ඉන්දියානුවන් බිලි ගත් ආකාරයටම ඒ රට පුරා ලැව් ගින්නක් සේ කොරෝනා වෛරසය පැතිර යාමේ ඉඩ කඩක් පවතී. ඊට ප්‍රධානම හේතුව මිලියන ගණනක් ජීවත්වන මුඩුක්කු නිවාස සංකීර්ණ ඉන්දියාව පුරා දසත පැතිරී ඇති බැවිනි.

බංග්ලාදේශය යනු ඉන්දීය දේශ සීමාවේ පිහිටි දකුණු ආසියාවේ ජන බරින් හෙම්බත්වූ දේශයකි. ඉන්දියාවට සේම මේ ලියන මොහොත වන විට කොරෝනා මාරයා බංග්ලාදේශ ජන ජීවිතයට මහා බලපෑමක් කරමින් සිටී. එම භයානක තත්ත්වය නිවැරදිව හඳුනා ගෙන එරට පාලකයින් රට පුරා අගුලු දැමීමක් සිදු කළේය. 

මාරාන්තික කොරෝනාවේ බියකුරු බවින් රටම ඇලලී ගියද ඒ සියල්ලම පසෙකලා සිය භක්තිමත් ඉස්ලාම් නායකයෙකුගේ අවමංගල්‍ය උත්සවයකට ලක්ෂයකට ආසන්න පිරිසක් සහභාගි වූයේ රජය විසින් රටම අගුළු දැමීම නොතකා හරිමිනි. ඔවුහූ රටේ නීතියට කොකා පෙන්වමින් සිය ආගමික වෘත්තයන්  සපුරාලීමට ඉදිරියට පැමිණියහ.  

කොරෝනා වෛරසයට එරෙහිව ගත හැකි කදිම ඖෂධය වන්නේ සමාජ දුරස්ථභාවය යැයි ලොව පුරා පිළි ගැනුන ද මේ මොහොතේ ඒ සියල්ල සිය  ආගමික නායකයාගේ මරණය ඉදිරියේ දිය කර හැරීමට මෙම අනුවන ජනයා තීන්දු කර ඇත. ලක්ෂයකට ආසන්න පිරිසක් සහභාගි වූ මෙම අවමගුල් උළෙල පවත්වා ඇත්තේ බංග්ලාදේශයේ "Brahmanbaria" නුවරය. මෙසේ ජනයා රොක්වී ඇත්තේ බංග්ලාදේශයේ ඉස්ලාම් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයාගේ අවමගුලට. 

බංග්ලාදේශයේ මේ මොහොත වන විට ආසාදිතයින් 2,144ක්‌ සිටින අතර 84 දෙනෙකු මිය ගොස් ඇත. ගෙවුණු පැය විසි හතර අතුළත නව ආසාදිතයින් 350 කට අධිකව සොයා ගෙන ඇත. යම් ආකාරයකින් කොරියාවේ අංක 31 දරන රෝගියාගේ බංග්ලාදේශ මිතුරා මෙම අති විශාල ජනකාය මැද සැරි සැරුවා නම් බංග්ලාදේශයට දෙවියන්ගේ පිහිට ද නොලැබෙනු ඇත. ඒ මන්ද බංග්ලාදේශය COVID-19 දෙවන අදියරේ  පවතින නිසාවෙනි.

Advertiesment