Sunday 13th of October 2024

English Tamil
Advertiesment


මත්පැන් නිවෙස්වලටම බෙදා හැරීමට බටහිර බෙංගාලයේ අනුමැතිය


2020-04-11 14343

අත්‍යවශ්‍ය භාණ්ඩ ලැයිස්තුවට මත්පැනුත් ඇතුළු කරයි 

 

"මත්පැන් විකිණීම තහනම් නැහැ-ඒ නිසා බෙදා හරින්න පුළුවන්"   

 

කොරොනා වෛරස් වසංගතය හේතුවෙන් දිගින් දිගටම රට අගුලු යොදා (lockdown ) තිබියදී මහ ඇමතිනි මමාටා බැනර්ජිගේ නායකත්වයෙන් යුත් ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්ත රජය විසින් ප්‍රාන්තය පුරා නිවෙස්වලට මත්පැන් බෙදා හැරීමට අවසර දෙන බව ප්‍රකාශ කර තිබේ. 

බටහිර බෙංගාලි ප්‍රාන්තයේ සුරාබදු දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් පවසන්නේ ප්‍රාන්තයේ මත්පැන් විකිණීම තහනම් කර නොමැති බැවින් නිවෙස් වෙත මත්පැන් බෙදා හැරීම සඳහා ප්‍රතිපාදන ඇති බවයි.

කෙසේ වෙතත්, අගුලු දැමීමේ (lockdown) අවස්ථාවකදී, ප්‍රාදේශීය පොලිස් ස්ථානය විසින් භාණ්ඩ බෙදා හැරීමේ යෙදී සිටින පුද්ගලයින්ට අවසර පත්‍ර නිකුත් කරනු ලැබේ. ඉන්දියාවේ කේරළ සහ  බටහිර බෙංගාලය වැනි ප්‍රාන්තවල අත්‍යවශ්‍ය භාණ්ඩ ලැයිස්තුවට මත්පැන් ඇතුළත් කර ඇති බව zeenews.india.com ප්‍රවෘත්ති අඩවිය මෙහිදී වැඩිදුරටත් අනාවරණය කර සිටී.

2020 අප්‍රේල් 08 දින සවස් භාගයේ දී ප්‍රාදේශීය බෙංගාලි ප්‍රවෘත්ති නාලිකාවක් විසින් මේ සම්බන්ධ ප්‍රවෘත්තිය මුල් වරට විකාශය කර තිබෙන අතර ඊට පසුව CNN-News18 නාලිකාව ද මෙම ප්‍රවෘත්තිය විකාශය කරනු ලැබීය.

කෙසේ වෙතත් තවත් ඉන්දියානු ජනමාධ්‍ය කිහිපයක් සඳහන් කර සිටින්නේ එවැනි තීන්දුවක් ගැනීමට බටහිර බෙංගාල ප්‍රාන්ත රජය පියවර ගෙන නොමැති බවයි. මෙලෙස අවසර දුන් බවට සඳහන් චක්‍රලේඛයක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ හුවමාරු වී ඇති අතර කෙසේ නමුත් එම චක්‍රලේඛය  ව්‍යාජ ලියැවිල්ලක් බව ප්‍රාන්ත රජයේ උසස් නිලධාරියෙකු පැවසූ බව ද NDTV පුවත් සේවය සඳහන් කරයි.

කේරළ මහ ඇමති පිනරෙයි විජයන් මීට පෙර පවසා තිබුණේ රාජ්‍යය විසින් මෙහෙය වනු ලබන Kerala State Beverages (Manufacturing and Marketing) Corporation Limited (Bevco) මත්පැන් අලෙවි සැල්, කොරොනා වෛරසය හමුවේ රට අගුලු දමා තිබියදීත් විවෘතව පවතින බවයි. රජයේ මත්පැන් අලෙවි සැල් හැරුණු විට ප්‍රාන්තයේ වැඩි වන කොරෝනා වෛරස් රෝගීන් හේතුවෙන් ප්‍රාන්තය පුරා ඇති අනෙකුත් සියලුම බාර් සහ පෞද්ගලික මත්පැන් අලෙවි සැල් වසා දමන බව කේරළ මහ ඇමතිවරයා පැවසීය.

එසේම, පන්ජාබ් මහ ඇමතිවරයාගේ නියෝගයකින් COVID-19 වසංගතය හේතුවෙන් ඇති වූ හදිසි අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් සිල්ලර බඩු සමඟ අත්‍යවශ්‍ය භාණ්ඩ ලෙස පාන වර්ග සැපයීම ද ප්‍රකාශයට පත් කරන ලදී.

කොරෝනා වෛරස් වසංගතය ව්‍යාප්ත වීම වැළැක්වීමේ පියවරක් ලෙස ඉන්දියාවේ බිලියන 1.3 ක සමස්ත ජන ගහනයේ ගමන් කිරීම සීමා කරමින් 2020  මාර්තු 24 වන දින අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නායකත්වය යටතේ ඉන්දියානු රජය දින 21 ක් පුරාවට රට අගුලු දැමීමට (lockdown) නියෝග කළේය.

http://biz.adaderana.lk

 

Advertiesment