පෘතුවි ඉතිහාසය ඇතුළත වසර මිලියන 59-33.9 දක්වා "ඉයෝසීන් යුගය" (The Eocene Epoch) අතර කාලයේ "අලියා" පරිණාමය වී ඇත. අලියාගේ ආරම්භය දැවැන්ත උරගයින් ජිවත් වූ "මැසසොයික්" යුගය (mesozoic era) දක්වා විහිදී ඇත.1758 දී කාර්ල් ලීනියස් (Carl Linnaeus) නැමති ස්වීඩන් ජාතික උද්භිද සහ සත්ව විද්‍යාඥයාගේ නව සත්ව වර්ගීකරණයට අනුව අද්‍යතන අලියා විද්‍යාත්මකව හඳුන්වා ඇත්තේ "ඇනිමලියා" (Animalia) ජීව සත්ව කණ්ඩායමේ "කෝඩාටා" (Chordata) වංශයේ "මැමලියා" පංතියේ "එලිපන්ටිඩයී" (Elephantidae) කුලයේ "එලිපාස්" ගණයේ සත්ව විශේෂයක් වශයෙනි.
උරගයෙකු වූ අලියාගේ මුල් අවස්ථාවේ පළමු පොසිල වන "ඉයොසීන" පොසිල සමුවී ඇත්තේ ඊජිප්තුවේ "මොයිරිස්" වැව් (Lake Moeris) වැව් තෙරේදිය. උක්ත යුගයේදී කිරි බී වැඩුණු කුඩා ක්ෂීරපායී සත්ව විශේෂයක් වූ අලියාගේ මුතුන්මිත්තන් උස සෙන්ටිමීටර 70 ක් පමණද දිගින් අඩි 2-3 ක් පමණද වූ අතර "මොයිරතරම්" (Moeritherium) නමින් හඳුන්වා ඇත.
"ආසියානු අලියා" (Elephas maximus) ශ්‍රී ලංකාවේදී උසස් ගණයේ බලසම්පන්න සත්වයෙකි. ඔබට අලියෙකු වැනි මතකයක් නොමැති නම්, දේශපාලනය තරමක් අසීරුය. "If you do not have a memory like an elephant They say an elephant never forgets. What they don't tell you is, you never forget an elephant."
අද්‍යතනව දේශපාලනික වශයෙන් "අලියා", ජනප්‍රිය නොවුවද රටේ අනාගතය පිළිබඳ දේශපාලන ආර්ථික සමාජීය දියුණුව සඳහා වු තිරසර සංවර්ධන ඉලක්ක ජයග්‍රහණය කළ හැකි සෞභාග්‍යය සංකේතවත් කරන "අලියා" ලාංඡනයේ නායක රනිල් වික්‍රමසිංහ යනු දැනුමෙන් බලවත් ජාත්‍යන්තරව පිළිගැනීමට ලක් වී ඇති පළපුරුදු නායකයෙකි.
නමුත් රනිල් වික්‍රමසිංහ පිළිබඳව ශ්‍රී ලාංකේය ජනසමාජය අභ්‍යන්තරයේ සැඟ වුණු අකමැත්තක්, ඔහුගේ ප්‍රතිවිරුද්ධ දේශපාලනය විසින් වපුරා වර්ධනය කර ඇත. එම තත්ත්වයෙන් මිදීමට ඔහු සතුව ද ඔහුගේ පක්ෂය සතුව ද සමාජ සංස්කෘතික දේශපාලන උපකරණ නොමැතිවීම අභියෝගයක්මැ වී ඇති බව හොඳින්ම පමණක් නොව ප්රායෝගිකවම පැහැදිළිවී ඇති වාර ගණන අපමණය.
ජාතික චින්තනය, සිංහල භාෂාවේ පරිවර්ධනය, බෞද්ධ සංස්කෘතික කේෂ්ත්‍රයේ ගුණාත්මක ප්රබෝධය මෙන්ම සිංහල ජාතියේ ඓතිහාසික ස්වදේශීය වටිනාකම් ආරක්ෂා කරමින් අනාගත පරපුරට දායාද කිරීම වැනි බහුතර ජනතාවගේ පරම අභිලාෂයන් හමුවේ රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂය මැතිවරණ ජය්රහණවලදී වාර ගණනකදීම අසමත් වී ඇත.
නමුත් එක්සත් ජාතික පක්ෂය උක්ත ජාතික අභිලාෂයන් ස්ථීර කිරිමට ක්‍රියාත්මක වී ඇති විවිධාකාරයෙන් වු ක්‍රියා ජාලය ශ්‍රී ලාංකේය වෙනත් කිසිම දේශපාලන පක්ෂයක් ක්‍රියාත්මක කර නැත. එහෙත් එක්සත් ජාතික පක්ෂය උක්ත ජාතික අභිලාෂයන් ස්වදේශපාලනවාදීන් වශයෙන් තමන් විසින් ඉටු කර ඇති ආකාරය සිංහල බෞද්ධ ජන මනසේ ස්ථීර ලෙස සටහන් තැබීමටද අසමත් වී ඇත.
ඊට උදාහරණ රාශියක් ඇතත් එක් උදාහරණයක් සංෂිප්තව මෙසේය,
ඉංග්‍රිසි ආණ්ඩුව විසින් 1819 නොවැම්බර් 18 වන දින නිකුත් කරන ලද ආඥාවට අනුව යටත් විජිත ආණ්ඩුවේ අවසර නොමැතිව රට වැසියන්ට බෞද්ධ සිද්ධස්ථානවලට ඉඩම් පරිත්‍යාග කිරිම තහනම් කර ඇත. එපමණකින් නොනැවතී බෞද්ධ සිද්ධස්ථානවලට අයත් ඉඩම් ඉංග්‍රිසි ආණ්ඩුවේ ඒජන්තවරයා යටතේ හෝ ආදායම් කොමසාරිස් කාර්යාලයේ හෝ ලියාපදිංචි කරන ලෙසට නියෝග කර ඇත. අනතුරුව 1856 අංක 03 දරන දේවාල ගම් පනත, සංශෝධිත 1956 අංක 10 දරන පනත මගින් බෞද්ධ ඉඩම් තමන්ගේ පාලනයට යටත් කර ඇත.
දේවානම් පියතිස්ස (ක්‍රී.පු. 250-210 ) රජ සමයේදී මහ මෙව්නා උයන සම්පූර්ණයෙන්ම මහා විහාරයට පුජා කර තිබූ නමුත් යටත් විජිත ආණ්ඩුව 1872 නොවැම්බර් 20 වන දින අංක 88737 දරන ඔප්පුව අනුව අනුරාධපුර අටමස්ථානයට අයත් ඉඩම් ප්‍රමාණය අක්කර 43යි රූඩ්.03යි පර්චස් 02 ට සීමා කරන ලදී.
1911 ජනවාරි 27 දින යටත් විජිත ආණ්ඩුව විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයකින් සිංහල බෞද්ධයන්ගේ පළමු විහාර සංකීර්ණය වන මිහින්තලා පූජා භූමියේ හී අක්කර 02යි, රූඩ් 01, පර්චස් 35ක් හැර ඉතිරි වූ "සේල චෛත්‍ය මලුව", "නාග පොකුණ" සහ "මිහිඳු ගුහාව" ආදී සියල්ල ඇතුළත් විහාර භූමිය මුඩුබිම් පනත ප්‍රකාරව ආණ්ඩුවට පවරා ගන්නා ලදී .
1933 දී ඩි.එස්. සේනානායකයන් කෘෂිකර්ම ඇමතිවරයා වශයෙන් ඉංග්‍රිසි ආණ්ඩුවේ මුඩුබිම් පනත අහෝසි කොට දේවානම් පියතිස්ස රජු බුදු සසුනට පූජා කළ ලක් පොළවේ පළමු ඓතිහාසික බෞද්ධ විහාරය නැවත සඟ සතු කරන ලදී.
මෙවැනි උදාහරණ රාශියක් ඇති නමුත් නිදහස, නිදහස් අධ්‍යාපනය,නිදහස් සෞඛ්‍ය, නිදහස් ආර්ථිකය, ප්රජාතන්ත්රවාදී වටිනාකම්, නිතීයේ ආධිපත්‍යය, නෛතික යුක්තිය, ආර්ථික යුක්තිය, මානව සහ මූලික අයිතිවාසිකම් ආදී පොදු ජන ජීවිතවල වටිනාකම් ඉහළට ගැනිමට එක්සත් ජාතික පක්ෂය රටට උරුම කර ඇති දෑ අනන්තය.
අනෙක් අතට මහා පරාක්‍රමබාහුගෙන් (රාජ්‍ය සමය: 1153 – 1186) පසු ශ්‍රී ලාංකේය ඉතිහාසයේ වාරි කර්මාන්තයේ ස්වර්ණමය යුගය නියෝජනය කරනුයේ ද එක්සත් ජාතික පක්ෂයයි. ශ්‍රී ලාංකේය ජල උරුමයේ සහ වියලි කලාපයේ ජන ජිවිතයේ අග්රික මහා සම්පත මහවැලියයී. මහවැලි ගංඟාවෝ ශ්‍රී ලාංකේය ජල චාරිත්රවලත්, වී ගොවිතැනේත් මහා උල්පත වෙති.
උක්ත ජල චාරිත්රයන්ගේත්, වී ගොවිතැනේත් ඒ සමග බැඳුණු හෙළ සභ්‍යත්වයේත්, සංස්කෘතියේත් උල්පත වූ මහවැලිය නවීන තක්ෂණය අනුව වසර 6ක් අතුළත දී තිරසාර මානව කේන්ද්‍රීය මහා ගොවි ජන ව්‍යාපාරයක් බවට පත් කර, නව ජනාවාස ඇති කිරීම, විදුලි බලය උත්පාදනය කිරීම, ගංවතුර පාලනය කිරීම, වී ගොවිතැන සහ අපනයන භෝග වගාව දියුණු කිරීම ආදියෙන් නොනැවතී කටුමැටි බිත්ති අතර සිරවී සිටි ගොවි ජනයාට නව නිවාස ද, මහා ජල කඳට යටවූ ජනයාගේ දේපොළ සඳහා වන්දි ද, ලබා දෙන අතර දේශීය භූමියෙන් 39%ක් සංවර්ධනය කළේ එක්සත් ජාතික පක්ෂය සහ ගාමිණී දිසානායකයන්ය.
මේ තරම් තක්ෂණය දියුණුව නොතිබුණු කාලයක වුවත් උක්ත යෝධ මහවැලි ව්‍යාපාරය හේතුවෙන් ශ්‍රී ලාංකේය ගම් දනව් විශාල ප්‍රමාණයකට විදුලි බලය සැපයිමට හැකිවීම කුප්පි ලාම්පු එළියේ ගිලී සිටි මිනිසුන්ගේ ජීවිතවලට සෑම අතින්ම ආලෝකයක් විය. සැබවින්ම විදුලි බලය මිනිසුන්ගේ ජීවිත ආර්ථික වශයෙන් පමණක් නොව සමාජීය වශයෙන් ද දියුණුව කිරිමට හේතුවිය. "Electricity can transform people's lives, not just economically but also socially."
මෙවැනි බොහෝ සංවර්ධන ක්‍රියාදාමයන් මැතිවරණ ඉලක්ක කොට ගෙන නොව ජාතියේ අනාගතය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය රටට දායාද කර ඇත. නමුත් රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂයේ ඔහු ඇරෙන්නට අතීතය, වර්තමානය, අනාගතය පිළිබඳව කියවිමට උනන්දුවක් ඇති වෘත්තීය දේශපාලනඥයන් නොමැතිදෝයි සැකයෙකි.
එවැනි සැකයක් මතු වන්නේ මෙහි රචිත නොරචිත භෞතික සංවර්ධනය, ආර්ථික සංවර්ධනය, අධ්‍යාපන සංවර්ධනය, සෞඛ්‍ය සංවර්ධනය, ජාත්‍යන්තර වෙළෙදාම් සංවර්ධනය, නෛතික ප්‍රතිසංස්කරණ සහ ප්රජාතන්ත්රවාදයේ සංවර්ධනය, විදේශ සේවාවේ අභිමාණනීය ප්‍රවර්ධනය අවශ්‍ය පමණට ස්ථිර ලෙස ශ්‍රී ලාංකේය ජන සමාජයේ සමාජ ගත නොවීම පිළිබඳව අවධානය යොමු කරන විටදීය.
එම හේතුවෙන් රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලාංකේය වත්මන් පරපුරට පමණක් නොව අනාගත පරපුර වෙනුවෙන් ද, ක්‍රියාත්මක කර ඇති නොයෙක් කේෂ්ත්‍රයන් ආවරණය වන වැඩසටහන් පිළිබඳ නිවැරදි තොරතුරු සමාජ ගත කීරීම අවශ්‍ය පමණට සිදු වන්නේ නැත. දේශපාලන පත්‍රිකා සාහිත්‍යය, විද්‍යුත් සාහිත්‍යය සේම වේදිකා දේශපාලනයේදී ද රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂය අසමත් වී ඇත.එක්සත් ජාතික පක්ෂයේ නොනවතින පරාජයන්හි ප්‍රතිඵල විසින් ශ්‍රී ලංකාව පිඩාවට පත් කරනු ලැබ ඇත.
ස්වදේශීය පරම්පරාවන් නියෝජනය කරන, නූතන පරපුරේ සැබෑ සිංහල බෞද්ධවූ ද, විවිධාකාරයේ ප්රබුද්ධත්වයන් ඇත්තාවූ ද, තරුණ දේශපාලනඥයින් අද්‍යතන එක්සත් ජාතික පක්ෂයේ ඇතත් ඔවුන් ඉංග්‍රිසි භාෂාව භාෂණය කරමින් සහ යුරෝපීය සමාජ චාරිත්‍ර අභ්‍යාස කරමින් බහුතර සාමාන්‍ය ජනයාගෙන් හුදකලාවී විශේෂවීමට මහා විශාල ප්රයත්නයක් දරන බව බෝහෝ විට දර්ශනය වේ.
දේශපාලනයේ නියුතු වන්නන්ගේ පුද්ගලීක සඳළුතලයේ ඔවුන්ගේ ප්‍රියතම චාරිත්‍ර අභ්‍යාස කළත්, බහුතර ජනයාගේ දෙපා ගැටෙන පොළෝ තලයේ බහුතරයේ සංස්කෘතික චාරිත්‍ර අභ්‍යාස කිරීම ජන ආකර්ෂණීය ක්‍රියාවක් බව මොහොතකට හෝ අමතක කිරීම බරපතළ හානිකර ප්‍රතිඵල අත්කර දෙන සංස්කෘතික දේශපාලන අනතුරකී. සැබවින්ම එක්සත් ජාතික පක්ෂයට විෂ වැද්දු පිළිකාව වී ඇත්තේ පොදු බහුතර ජන මනසේ එම පක්ෂයේ නායකයන් ජීවමාන නොවීමයි.
"But words are things, and a small drop of ink,Falling like dew, upon a thought, produces That which makes thousands, perhaps millions, think."
සීනි කෙතරම් පැණි රස වුවත් ජලයේ දිය නොවන්නේ නම් මිනිසුන් සීනි මිළදී ගන්නේ නැත. ඒ ආකරයෙන්ම කෙතරම් උගත් වුවත්, දිදුළන ඉතිහාසයක් ඇති පරපුරකට උරුමය ඇතත් පොදු ජන මනස ඇතුළත ආදරණීය පිළිගැනිම උප යාගැනිමට උත්සාහ නොකළහොත් ඔහුට හෝ ඇයට ජාතියේ නායකයෙකු වීම බරපතළ ඉලක්කයකී. මක්නිසාද යත්, මැතිවරණ ජයග්‍රහණය කළ හැකි ජාතික බලය පොදු ජනයාගේ දෙපා ගැටෙන පොළෝ තලයේ රඳා පවතින හෙයිනි.
1450න් පසු එංගලන්තයේ සී සෑමේ ක්‍රමය අමතක වූ රණකාමී පුද්ගලයින්ගෙන් රට පිරී ඉතිරී ගියා සේම ජේ.ආර් ගෙන් පසු රනිල් වික්‍රමසිංහගේ කාලයේදී ජනහිතකාමී නොවන අලස නායකයින්ගෙන් එක්සත් ජාතික පක්ෂය පිරී ගොස් ඇත්දෝයි සැකයකි ඇත්තේ.
ඉහත සඳහන් කර ඇති පරිදි පොදු ජන හදවතට සමීප නොවීමට කම්මැලි වී ඇති නායකයන්ගේ අලස දේශපාලන ප්රයත්නය අති සාර්ථකව වී ඇති බව ඉතාමත් තීව්ර ආකාරයෙන් දර්ශනය වනුයේ අඥාන,නුගත්, වාචාල සහ ව්‍යාජ දේශප්‍රේමින් දේශානුරාගය සිය චරිතයේ ව්‍යාජව ඔතා ගෙන මැතිවරණ දිනා ගැනිමට දක්වන සමත්කම් අනුවයී.
අහෝ..! පරපුරෙන් පරපුරට සෑබෑ දේශාභිමාණි පවුල් නියොජනය කරන ගෝලීය උගතුන් සහ ප්‍රාමාණික බුද්ධිමතුන් වන එක්සත් ජාතික පක්ෂයේ බොහෝ නායකයෝ පුහු අහංකාරයෙන් පිම්බී එක්සත් ජාතික පක්ෂයත් සිංහල ජාතිය ප්රමුඛ ශ්‍රී ලාංකේය ජාතියේ අනාගතය පිළිබදවත් කටයුතු නොකිරීම ඛේදවාචකයක්මයැ.
අතීතයේත්, අද්‍යතනයේත් එක්සත් ජාතික පක්ෂයේ අනාගතය රැදී ඇත්තේ බහුතරයක් වූ සිංහල ජන මනස අභ්‍යන්තරයේ බවත් අනෙකුත් ජාතීන්ගේ සහයෝගය බහුතරය අභිභවාලීමට හැකි බලවේගයන් නොවන බවත් ස්ථීරය.
උක්ත කරුණු සියල්ල පිළිබඳව දේශපාලනිකව අවබොධය ඇති සහ ඊට තිරසර විසඳුම් සතු වෘත්තීය දේශපාලනඥයින් අතර විශිෂ්ටතමයා රනිල් වික්‍රමසිංහයන් බව ස්ථීරය. රනිල් වික්‍රමසිංහ යනු මොළොක් හෝ හදවතක් නඩත්තු නොකරන ආගමට දේශපාලනය ඇතුළත් නොකළ ජනප්‍රිය පුද්ගලයෙකු නොවූවත් ප්රජාතාන්ත්රීය ජීවන ක්‍රමය අභ්‍යාස කරන, අපකීර්තිමත් වුවද බුද්ධිමත් තීරණ ගැනීමේදී පසුබට නොවන නායකයෙකි. නමුත් රනිල් වික්‍රමසිංහ ද අජරාමර නැත.
එම හේතුවෙන් ඔහුට සම වීමට ප්රයත්න දරන සියලු දෙනා වහ වහා අළු ගසා නැඟී සිටිය යුත්තේ නිරහංකාර, ජනහිතකාමී, සරළ, ලේන්ගතු, මානුෂවාදී ජාතික නායකයන් බවට ඔවුන් ඔවුන්වම රැඩිකල් ලෙස වෙනස් කර ගැනීමෙනී. "Change your thoughts and you change your world." ස්ථිරවම දේශපාලන පක්ෂ යනු ඕනෑම ජන සමාජයක සමාජීය වටිනාකම් වෙනුවෙන් ඒකරාශී වූ ජනතාවය. ස්වභාවික ජන දෘෂ්ටිය දේශපාලනික දෘෂ්ටිවාදයන්ට අනුව ගුණාත්මකව ඒකරාශී කිරීම සදහා සෑම දේශපාලන පක්ෂයක්ම ශක්තිමත්ව ක්‍රියාත්මකවීම ජාතික අවශ්යතාවන්ගෙන් ඉතා තීව්ර සමාජ අවශ්‍යතාවයක් වන හෙයිනි.
ඒ අනුව අවධානය යොමු කිරීමේදී පෘතුවි පුරයේ අනාගතය පිළිබදව දේශපාලනිකව අවබෝධ කර ගැනීමට නම් අවම වශයෙන් "ආනොල්ඩ් ටෝයින්බිගේ" (Civilization on Trial) සහ (The world and the West) ද, "ජෝර්ජ් ෆ්රිරිඩ්මන්ගේ" (The Next 100 Years: A Forecast for the 21st Century) සේම "ලෝරන්ස් ස්මිත්ගේ" (The World in 2050: Four Forces Shaping Civilization's) යන කෘති කියවීමෙන් දේශපාලන පක්ෂවල වටිනාකම් අවබෝධ වනු ඇත. දේශපාලන පක්ෂ යනු ඕනෑම ජන සමාජයක ඉතාමත් වටිනා සමාජීය උපකරණයක් බව අර්ථ දැක්වීම අතිශෝක්තියක් නොවනු ඇත. "Difference of opinion leads to enquiry, and enquiry to truth. ~ Thomas Jefferson, To Peter H. Wendover (Draft), 13 March 1815."
(දේශප්‍රිය නානායක්කාර)
Lanka Newsweek © 2024