Sunday 13th of October 2024

English Tamil
Advertiesment


රේසිං හා ස්ටෑන්ඩට් පාපැදි තරගාවලියේ ශූරතාවය, ලෙස්ලි ජයවර්ධනට


2019-07-03 14322

 (ජයකාන්ත ලියනගේ)

 

අම්බලන්ගොඩ ක්‍රීඩා හා පාපැදි සංගමය දෙවන වරටත් සංවිධානය කරන ලද ප්‍රවීණයන්ගේ රේසිං හා ස්ටෑන්ඩට් පාපැදි තරගාවලියේ වයස අවුරුදු 60 න් ඉහළ ශූරතාවය, ලෙස්ලි ජයවර්ධන හිමිකර ගත් අතර වයස අවුරුදු 50 න් ඉහළ ශූරතාවය ටෙරන්ස් කුවින්ටස් හිමිකර ගත්තේය.

 

වයස අවුරුදු 40 න් ඉහළ ශූරතාවය, සුසන්ත ද සිල්වාටත් 19 න් පහළ ශූරතාවය ශෙහාන් චමෝද ද සිල්වාටත් හිමි විය.

 

දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා, දකුණු පළාත් සභා මන්ත්‍රී අමරසිරි කුරුවගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය මාර්තු මස 24 වන දින අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය අසලින් තරග ආරම්භ විය. මෙම අවස්ථාවට අම්බලන්ගොඩ ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් කලක් පාපැදි ක්‍රීඩාවේ නිරත වූ විශිෂ්ඨයෙකු වන පාපැදි සංගමයේ හිටපු සභාපති, වත්මන් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා, කොස්ගොඩ - බළපිටිය ප්‍රදේශය නියෝජනය කරමින් පාපැදි ක්‍රීඩාවේ නිරත වූ වත්මන් පොලිස් අධිකාරි ප්‍රීති ප්‍රභාත් ද සිල්වා යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි විය.

 

වයස අවුරුදු 19 න් පහළ (පිරිමි-ස්ටෑන්ඩට්), වයස අවුරුදු 40 න් ඉහළ  (පිරිමි-ස්ටෑන්ඩට්), වයස අවුරුදු 50 න් ඉහළ (පිරිමි-රේසිං), වයස අවුරුදු 60 න් ඉහළ (පිරිමි-රේසිං) යන ඉසව් හතර යටතේ මෙම තරගාවලිය පැවැත්විණ. වයස අවුරුදු  50 න් හා 60 න් ඉහළ තරග අම්බලන්ගොඩ සිට කුරුදුගහහැතැප්ම දක්වා ගොස් නැවත අම්බලන්ගොඩ දක්වාත් 19 න් පහළ හා 40 න් ඉහළ තරග අම්බලන්ගොඩ සිට ඇල්පිටිය, බෙන්තොට හරහා අම්බලන්ගොඩ දක්වාත් පැවැත්විණි. 50 න් හා 60 න් ඉහළ තරගය, කිලෝ මීටර් 32 ක දුරකින්ද 19 න් පහළ හා 40 න් ඉහළ තරගය කිලෝ මීටර් 70 ක දුරකින්ද  යුක්ත විය.

 

තරග හතරේම පළමු ස්ථානය දිනා ගන්නා ජයක්ග්‍රාහකයන්ට මුදලින් රුපියල් 10,000.00- ක් බැගින්ද දෙවැනි ස්ථානය දිනා ගන්නා ජයක්ග්‍රාහකයින්ට රුපියල් 7,500.00- ක් බැගින්ද තෙවැනි ස්ථානය දිනා ගන්නා ජයක්ග්‍රාහකයින්ට රුපියල් 5,000.00- ක් බැගින්ද සමග කුසලාන හා සහතිකපත්ද පිරිනැමීමට සංවිධායක මණ්ඩලය කටයුතු යොදා තිබිණ. එයට අමතරව සමස්ථ තරගාවලියේම තරගය අවසන් කරන සියලුම තරග කරුවන්ට කුසලාන හා සහතික පත්ද තරගයට සහභාගී වූ සියලුම තරග කරුවන්ට දිවා ආහාරයද අම්බලන්ගොඩ පාපැදි සංගමය මගින් ලබා දුන්නේය.

 

වයස අවුරුදු 40 න් ඉහළ තරගයේ ශූරතාවය දිනාගත් ප්‍රසන්න ද සිල්වා ක්‍රීඩකයාගේ පුතනුවන් වන ශෙහාන් චමෝද ද සිල්වා, වයස අවුරුදු 19 න් පහළ තරගයේ ශූරතාවය දිනා ගැනීම මෙහි විශේෂ සිදුවීමක් වූ අතර සියලු තරග වලින් පසු ප්‍රවීණතම පාපැදි ශූරයෙකු වන 76 හැවිරිදි ඇන්තනී සීමන්ස් මැදි කොට තරගාවලිය සදහා සහභාගී වූ සියලු පාපැදි ක්‍රීඩකයින් ප්‍රදර්ශණ පාපැදි සවාරියකද නිරත විය.

 

තරග ප්‍රතිඵල :-

වයස අවුරුදු 60 න් ඉහළ තරගය - පළමු ස්ථානය           -       ලෙස්ලි ජයවර්ධන දෙවන ස්ථානය         -       ජයසේන ගුරුගේ තුන්වන ස්ථානය      -       ඩබ්ලිව් එස් ජයලත්

 

වයස අවුරුදු 50 න් ඉහළ තරගය -

පළමු ස්ථානය           -       ටෙරන්ස් කුවින්ටස් දෙවන ස්ථානය         -       කේ පී එච් ජයසුන්දර තුන්වන ස්ථානය      -       සුසිල් ජයවර්ධන

 

වයස අවුරුදු 40 න් ඉහළ තරගය -

පළමු ස්ථානය           -       ප්‍රසන්න ද සිල්වා දෙවන ස්ථානය         -       ඇම් ඒ ඇන්තනී ඩයස් තුන්වන ස්ථානය      -       කේ ඒ විපුල  

වයස අවුරුදු 19 න් පහළ තරගය -

පළමු ස්ථානය           -       ශෙහාන් චමෝද ද සිල්වා දෙවන ස්ථානය         -       ශමිදු ප්‍රියමන්ත තුන්වන ස්ථානය      -       කසුන් ශිවන්ත

 

Advertiesment