Wednesday 9th of October 2024

English Tamil
Advertiesment


රනිල් වික්‍රමසිංහගේ දේශපාලන දෛවයේ ඇත්ත අභියෝග මෙන්න..!


2020-04-03 14333

සිය දෛවය වෙනස් කර ගැනීමට දේශපාලන ගුරුවරුන් ද  සගයන් ද ඔහුට නොමැත

 

ශිෂ්‍ය ශිෂ්‍යාවන් නොමැති මහ තක්ෂලාව

 

නායකයින් බිහි කළ යුත්තේ අනුගාමිකයින් නොව නායකයින්වමය

 

බලය ගැනීම සහ රැක ගැනීම අභියෝගයක් කරන මානව සබඳතා

 

  

(දේශප්‍රිය නානායක්කාර)

රනිල් වික්‍රමසිංහයන්ගේ දේශපාලන දෛවයට ශ්‍රී ලාංකේය ජන සමාජයේ මනස,හදවත සහ පරමාදර්ශයන් පමණක් නොව සමාජීය ව්‍යුහයන් සහ සංස්කෘතික මූලයන් සේම දේශපාලන සමාජ හෘද සාක්ෂියද අභියොගයක්ම වී ඇත. 

ඊට හේතු වී ඇත්තේ මධ්‍යම පංතියේ නිහතමානී භාවය ඇතුළත සැඟ වුණු, ධනය සහ බලය රැක ගැනීම සඳහා වූ ආශාව රනිල් වික්‍රමසිංහ සතුව නොතිබිමය. එම හේතුවෙන්ම ඔහුගේ ශරීර පෞර්ෂයයේ ජන රංජිත අලංකාරය කෘත්‍රීමව හෝ අභ්‍යාස කිරිමට ඔහු කිසි විටෙකත් වෙහෙසෙන්නේ  නැත.බලය ඉහළින් ද විශ්වාසය පහළින් ද යන්න ඔහුගේ චරිතයේ කිය විය නොහැකි පරිච්ඡේදයකී.

18 වැනි 19 වැනි සහ 20 සියවස්වල සේම අද්‍යතන සහස්‍රකයේ පවා වරින් වර අපේ රටේ පමණක් නොව පෘථිවි පුරවරයේ නොයෙක් රටවල සාර්ථකව අභ්‍යාස වන දේශපාලන ලාලිත්‍ය හෝ විචිත්‍ර ලෙස තමාව ප්‍රදර්ශනය කිරීමේ දේශපාලන චාරිත්‍ර ද රනිල් වික්‍රමසිංහගේ චර්යාවන් ඇතුළත නොමැත. එම නිසාම ශ්‍රී ලාංකේය මැතිවරණ දේශපාලන ක්‍රියාවලිය ඇතුළත ඔහුට එරෙහිව සැඟ වුණු මහ ජන අසතුටක් ඇත. 

නිදහසින් පසු දශක ගණනාවක් ගෙවී ඇතත් තවමත් ශ්‍රී ලාංකේය දේශපාලන ක්‍රමයේ පුනර්ජීවයක් හෝ දේශපාලන චින්තනයේ පුනර්ජීවයක් සිදු නොවීම රනිල් වික්‍රමසිංහයන්ගේ දේශපාලන දෛවයට මුහුණ දීමට සිදුව ඇති බල්වත්ම තර්ජනය වි ඇත. 

රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලාංකේය ජන සංස්කෘතියට අනුව වෙනස් වීමට අසමත්ව සිටිනවා සේම ඔහුගේ දේශපාලන දෛවය වෙනස් කළ හැකි දේශපාලන ගුරුවරුන් ද,  සගයන් ද, ඔහුට නොමැත.ඔහුගේ දේශපාලන දෛවය මගින් ඔහුගේ දෛවය වෙනස් කළ හැකි ජන සංස්කෘතික පදනම අභ්‍යන්තරයේ මැතිවරණ ජයග්‍රහණ කරා මෙහෙයවීමට හැකියාව ඇති විචිත්‍ර ජන රංජිත අනලස් දේශපාලන සගයන් ඔහු වටා ඒකරාශි කර නොමැත. 

ඉටි පන්දමේ ඉටි දිය වී වැක් කෙරුණත් ඉටිපන්දම ආලෝකය විහිදු වනවා සේ රනිල් වික්‍රමසිංහට කෙතරම් අපහාස කළත් ශ්‍රී ලාංකේය දේශපාලනයට ඔහුගේ  ප්‍රජාතාන්ත්‍රික ජීවන ක්‍රමය සහ ලෝකයේ සෑම සියලු ක්ෂේත්‍රයක් සම්බන්ධයෙන්ම ඔහුට තිබෙන අනේකවිධ නව්‍ය දැනුම ප්‍රධාන ඔහුගේ රාජ්‍යතාන්ත්‍රික චරිතය ඔහුට වගේම ශ්‍රී ලාංකේය දේශපාලන සංස්කෘතියට,එක්සත් ජාතික පක්ෂයට,රටට,ජනතාවට ආලෝකයක්මය. 

රනිල් වික්‍රමසිංහගේ මේ දේශපාලන දැනුම සමස්ථ ලෝකයයේම පිළිගැනීමට ලක් වී ඇතත්, සිය දිවි හිමියෙන් එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් කටයුතු කරන ග්‍රාමීය නායකයන්, පළාත් නායකයන් සහ පොදුවේ එක්සත් ජාතික පාක්ෂිකයන් පිළිබඳව ඔහුට විශේෂත්යක් නොමැත.ඔහු බලයට පත් වූ විට පාක්ෂිකයන්ට කෙසේ වෙතත් පළාත් පාලන සහ පළාත් සභා පමණක් නොව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පවා ඔහු සමුවීම මැතිවරණය දිනා ගත්තාට වඩා අමාරු කාර්යක් බව ප්‍රචලිත වී ඇත.

ප්‍රජාතාන්ත්‍රීය ජීවන ක්‍රමයට ගරු කරන, උසස් වීමට සහ නොයෙක් නව්‍යකරණයට ලාලසාව ඇති තරුණ තරුණියන්ට රනිල් වික්‍රමසිංහගේ දේශපාලන චරිතය මහා තක්ෂලාවකී. එනමුත් ඔහුගේ තක්ෂලාවේ ප්‍රිය ජනක, ජනමන සුහදත්වය ප්‍රගුණ කරන ජන රංජන දේශපාලන සිසු සිසුවියන් ඇත්තේම නැත. 

ඒ හේතුවෙන් ඔහු සතු දේශපාලන, ආර්ථික, අධ්‍යාපන, විද්‍යා තක්ෂණික දැනුමෙන් සහ ආසියාවේ කිසිම දේශපාලන නායකයෙකුට නොමැති ජාත්‍යන්තර සබඳතාවලින් අපේ ජාතියේ වත්මන් පරපුරට පමණක් නොව අනාගත පරපුරට ද, එක්සත් ජාතික පක්ෂයේ දෘෂ්ටිවාදය පිළිගන්නා ජනතාව ප්‍රමුඛ, පොදු ජන සමාජයට ද අවශ්‍ය අපෙක්ෂිත ජාතික ඉලක්ක ගත පොදු දියුණුව අත් පත් කරදීම අවස්ථා කිහිපයක දීම ඔහු අතින් ගිලිහී ගොස් ඇත.
 
එපමණක් නොව රටක් ලෙස ශ්‍රී ලංකාව පසු කළ විසි වසරකට අධික කාලය ඇතුළත දී ඔහුගේ දේශපාලන දැක්මට අනුව වූ අපෙක්ෂිත සියලු සමාජීය වටිනාකම් ජන සමාජයට අහිමී වී ඇත. එහෙත් රනිල් වික්‍රමසිංහ තවමත් වෙනස් වී නොමැත.  

රනිල් වික්‍රමසිංහගේ දැනුම,රාජ්‍යතාන්ත්‍රික ගෝලීය ප්‍රතිරූපය වගේම ඔහු අපෙක්ෂිත සංවර්ධනය ආණ්ඩු බලය ලබා ගැනීමට සහ එම බලය රැක ගැනීමට සමගාමී විය යුතුව තිබුණත් ඉතිහාසයේ සිට එසේ වී නොමැත.ශ්‍රී ලාංකේය ජන සමාජයට අවශ්‍ය නව්‍යකරණය අභ්‍යාස කිරිමට නම් ආණ්ඩු බලය ලබා ගැනීම සහ එම බලය රැක ගැනීමට සමත්වීම අත්‍යාවශ්‍ය බව කිව යුතු නොවේ. රනිල් වික්‍රමසිංහයන්ගේ මානව සබඳතා පිළිබඳ චාරිත්‍ර ජන හිතකාමිතත්වයෙන් තොරව පවතින තුරු ආණ්ඩු බලය ලබා ගැනීම සහ එම බලය රඳවා ගැනීම තව දුරටත් අභියොගයක්ම වනු ඇත.

විවිධාකාරයෙන් වූ සිය විශිෂ්ටතම දැනුම අනුව යමින් තමා තරමටම නොවුණත් යම් සාධනීය මට්ටමකින් එක්සත් ජාතික පක්ෂයට අනලස් ජන රංජන නායකයන් බිහි කිරීමට ද රනිල් වික්‍රමසිංහ පියවර ගෙන නොමැත.1844 දී බයිබලය පසු පස ධජය ගමන් කරන බව විශ්වාස කළ ඉංග්‍රිසි මිෂනාරිවරුන් සිටියත් රනිල් වික්‍රමසිංහ පසු පස ජනාදරය, දේශපාලන සංතුෂ්ඨිය, ආදරය, පසු විපරම පිළිබඳව වූ මානුෂිය චාරිත්‍රවලින් සපිරිණු  ජන ආකර්ෂණීයත්වය සපිරි, විචිත්‍ර, ප්‍රිය සහ දේශපාලන පරමාදර්ශවාදී සගයන්ද නැත. 

අද්‍යතන එක්සත් ජාතික පක්ෂයේ ජාතික මට්ටමේ වැඩිමනත් නායකයන්ට ද රනිල් වික්‍රමසිංහයන්ගේ දේශපාලන දෛවය උරුම වී ඇති බව දර්ශනය වීම ඉමහත් කණගාටුවට කරුණකී. Leaders don't create followers, they create more leaders. මහත් වූ සෙවනැති "සිරිකොත" මඟ දෙපස ප්‍රිතියෙන් ගී ගයමින් නිදහස, සහ සතුට සපිරි ජයෙන් ජය සමරන පාක්ෂිකයන් වෙනුවෙන් ඔබ ඔබව වෙනස් කර ගන්න..! 

Advertiesment