Monday 7th of October 2024

English Tamil
Advertiesment


ආණ්ඩුවේ අඩුව ඉතාලියෙන් ආ අය පිට දැමීම


2020-03-21 14328

(ටිරන් කුමාර බංගගමආරච්චි)

මේ මොහොතේ ලංකාවේ හතුරන් බවට පත්ව ඇත්තේ ඉතාලියේ සිට මෙරටට ආ ශ්‍රී ලාංකිකයෝය. මෙරට කොරෝනා ව්‍යාප්තිය ඔවුන්ගේ වැඩක් බවට ආණ්ඩුව සහ අණ්ඩුවට හිතැති මාධ්‍ය එකතුව එක සීරුවට ඔප්පු කරමින් සිටිති. මෙයට වගකිවයුතු වෛද්‍යවරුද සම්මාදම් වී සිටිති.

මෙරට සිටි චීන කාන්තාවකට කොරෝනා වෛරසය වැළඳී ඇතැයි වාර්තා වූයේ ජනවාරි මාසයේදීය. එය මෙරට ආණ්ඩුවට මහා සංදර්ශනයක් විය. කොටින්ම ඇය හොඳ වූ පසු සෞඛ්‍ය ඇමති, සිප වැළඳ ගෙන පිටත් කර හැරියාය. එයින් පසු ලංකාව මහ ඉහළින් ලෝකයා හමුවේ ඔප්පු කළේ කොරෝනා වෛරසයට සාර්ථකව මුහුණ දුන් රටක් වේ නම් එය ශ්‍රී ලංකාව බවය. මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දියුණුව මහ ඉහළින් වැනීය. ඒ අල්ල පනල්ලේම චීනයේ ‘වූහාන්’ වල සිටි ශ්‍රී ලාංකිකයන්ද ආරක්ෂිතව මෙරටට ගෙනා ලොව ප්‍රමුඛ පිරිස අපි බව උදම් වූහ. මේ හැමදේකින්ම ඉතාලියේ, කොරියාවේ සිටි ශ්‍රී ලාංකිකයෝ කල්පනා කළේ ලංකාවට ගියහොත් ඔවුන්ගේ දිවි ගලවා ගත හැකි බවය. මෙරට පවතින අධික රස්නය නිසාද කොරෝනා මෙරටට නොඑන බවට මිථ්‍යාවක්ද හරි තදට ස්ථාපිත වී තිබුණි. මේ සියල්ල එකතු වූ කල පිටරට වෙසෙන විදේශිකයෝ සිතුවේ හොඳම පිළියම ලංකාවට යෑම යන්නය. මේ අනුව විශාල පිරිසක් ලංකාවට ඒමට පටන් ගත්හ. මේ කිසිවක් ගැන එතරම් නොතැකූ ආණ්ඩුව සිටියේම අධිමානයෙනි. එනම් ඔවුන් ඕනෑම දෙයකට සිතනුයේ යුද්ධය අහවර කළ නායකයන් සිටින බැවින් යුද්ධ ඉවර කළ අපට කොරෝනාත් මොන කජ්ජක්ද යන්නය. මේ නිසා ලංකාව ඕනෑවටත් වඩා මේ තත්ත්වය හෑල්ලුවට ගත්හ. කොටින්ම චීන කාන්තාව හොඳවීමත් සමග ජයග්‍රහණයට පෙර ජයපැන් බීවෝය.

එහෙත් මෙරට ආණ්ඩුව කුලප්පු වන්නේ මෙරට ජාතිකයකු කොරෝනා වෛරසයට ගොදුරු වී හමුවීමත් සමගය. ඔහු සංචාරක මගපෙන්වන්නෙකි. ඔහුට මෙම වෛරසය බෝවී ඇත්තේ ඉතාලි ජාතිකයන්ගෙනි. ඔවුන් මෙරටට කොරෝනා දී ඒ වනවිටත් විදෙස් ගතවීත් හමාරය. එසේ නම් මේ සමග ආණ්ඩුවේ හෙළුව පෙනෙන්නට විය. ඔවුන් එම හෙළුව වසා ගන්නට කිසිදු විධිමත් භාවයකින් තොරව නිරෝධනය පටන් ගත්හ. දේශපාලන කතා පැත්තකින් තැබුවද ඇත්ත නම් මේ රෝගය පැතිරීම ආරම්භ වූයේ නිසි සැලැස්මක් නැතිව මඩකළපුවේ කළ නිරෝධායන කටයුතු නිසා බව අපට හරි තක්සේරුවට එන්නේ නම් පැන ගියා යැයි හඳුන්වන්නේද ඒ මධ්‍යස්ථානවල සිටි අයය. එම නිරෝධායනය කටයුතුවල ඇති අවිශ්වාසය නිසා මේ අය පැන ගියා වන්නට බැරිද? පැන යන විට ඔවුන්ට රෝගය නොතිබුණි නම් ඉන්පසුව එය තහවුරු නම් එය වැළඳුණේ මඩකළපුව නිරෝධායනය මධ්‍යස්ථානයෙන් නොවේ යැයි තර්ක කරනුයේ කෙසේද? මඩකළපුව නිරෝධායනය මධ්‍යස්ථානයේ සිටි හමුදා නිලධාරියෙකුටත් මෙය වැළඳෙන්නේ නම් එහි ඇති අනාරක්ෂිත බව ගැන තවත් කතා කුමටද?

අපි මේ පැන යෑම් ගැන කාවවත් සුදනන් නොකරමු. එහෙත් ඉතාලියේ සිට ආ අය මෙය ව්‍යාප්ත කරනවා යැයි කියමින් ඔවුන්ව පව්කාරයන් කොට ගල් ගැසීම හෙළා දකිමු. පුත්තලම, හලාවත, මීගමුව ප්‍රදේශවල ඇඳිරි නීතිය දමා ඉතාලියේ සිට පැමිණි අය කුදලාගෙන යෑමෙන් මේ ප්‍රශ්නය විසඳිය හැකිද? පෙබරවාරි මස මෙරට පැමිණි අයට රෝගය තිබුණා නම් ඊට පෙරම එය ව්‍යාප්තය. අනෙක් අතට ඉතාලියෙන් ආ පිරිස් පාටි, සාද දමමින් මෙම රෝගය ව්‍යාප්ත කරන කතා ආණ්ඩුව කියති. එහෙත් මීගමුව, හලාවත, පුත්තලම ප්‍රදේශයෙන් පවුල් පිටින් රෝගීන් හමුවූ බව අපි නොදුටුවෙමු. අනෙක් අතට රටේ හතර දිග් භාගයෙන්ම රෝගීන් හමුවනුයේ මේ ඉතාලි පිරිස් නිසාද? ඒ විදේශිකයන්ගෙන් බෝවුන අය බව පැහැදිලිය. ඉතාලි සිට පැමිණි අය මෙය ව්‍යාප්ත කරන්නේ නම් මේ වනවිට ඉතාලි සිට පැමිණි දහස් ගණන් රෝගීන් වී සිටිය යුතු නොවේද? අඩුම තරමේ සංචාරක මගපෙන්වන්නා සහ ඔහුගේ සහයකයාගේ පවුලවලටද රෝගය ඇතැයි කථිකාවක් ඇති වුවද මීගමුව, හලාවත, පුත්තලම පැත්තේ පවුල් පිටින් හමුවූ කතාබහක්වත් නැත. මෙම කාරණයේදී ආණ්ඩුව සම්පූර්ණ අසමත් වූ බැවින් ඒ සියලු පව් ඉතාලි සිට පැමිණි අය පිට පටවා ඇත.

රටේ ප්‍රභූ පිරිස් නිරෝධායනය කිරීමට දියතලාව වෙන් කරගෙන ඇත. එය ඒ සඳහා පහසුකම් සපිරි සුපිරි ස්ථානයකි. ප්‍රභූ අයව මඩකළපු රැගෙන යන්නේ නැත. මේ දෙබිඩි ප්‍රතිපත්ති, කොටින්ම විදෙස් පිරිස් මුදා හරිමින් ශ්‍රී ලාංකිකයන් පමණක් මුලින් නිරෝධායනය කිරීමට කටයුතු කිරීම නිසා ගැටලු ඇතිවිය. එවිට කතා කරනුයේ රට ජාතිය ගැනය. මේ ආණ්ඩුව ඒ තරමට වෛරසය තුළ පවා කොටුවන්නේ ජාතිය ආගමටය.

ඉතාලි සිට ආ අය නොව කවුරු වුව තමාට ඇති වෛරසය තම පවුලේ අයට හෝ අසල්වැසියන්ට දෙන්නට යන්නේ නැත. ඒ නිසා එවැනි මිථ්‍යා වපුරා සමාජ පිළිලයක් බවට ඔවුන් පත් නොකළ යුතුය. රෝග ලක්ෂණ මතුවන්නේ සති දෙකක් තුළ නම් නිවැරදි නිරෝධායනය සිදුනොවුණහොත් ඒ අය හිතනුයේ තමන්ට රෝගය නැති බවය. එක් අයෙක් දෙන්නෙක් පැන ගොස් මේ තරම් දෙයක් කළ හැකිද? එසේ නම් ආණ්ඩුව පිළිගත යුත්තේ තමන් දොරගුළු ඇර තැබි නිසා යායුතු අය නිදහසේ ගියා මිස ඒ අය හිතා මතා කළ වරදක් නැති බවය. හමුදාව යටතේ පවතින මෙම මධ්‍යස්ථානවලින් සිය ගණන් පැන යන්නේ නම් රටේ ආරක්ෂාව බිංදුවටම ඇද වැටී නැත්ද?

මේ වනවිට මේ සියල්ල කළේ ඉතාලියෙන් පැමිණි ශ්‍රී ලාංකිකයන් බවට සමාජ කතිකාව ගොඩ නගා අවසන්ය. එය වූයේ ඔවුන්ගෙන් නම් එය එසේ වන්නට ඉඩ හැරි ආණ්ඩුව ඊට වඩා වගකිවයුතු නැද්ද? අපි කොරෝනාවලට සාර්ථකව මුහුණ දුන්නා නම් නිරෝධායනය කළේ නම් මෙලෙස වන්නේ කෙසේද? අදටත් ආණ්ඩුව මේ සම්බන්ධයෙන් ගෙන යන ක්‍රමවේදය දුර්වලය. ඔවුන්ට ඊට නිසි සැලැස්මක් නැති බව පැහැදිලිය. රෝයල්-තෝමියන් ක්‍රිකට් තරග තහනම් කරන්නට ආණ්ඩුවට බැරිය. ක්‍රිස්තියානි, මුස්ලිම් නායකයන් තම ආගමික ස්ථාන වසා දමද්දී ශ්‍රී පාදය, දළදා මාලිගය සැමට විවෘතය. විනෝද වනවා යැයි කියා තැනින් තැනින් දහය පහළොව අල්ලා ගන්නා අය නාමයෝජනා භාරදීමට මෙන්ම දේශපාලන සාකච්ඡාවලට අධික පිරිස් ඒකරාශීවීම අමතක කරති.

ලෙඩා මළත් බඩ සුද්දයි කියන්නා සේ මොන වසංගතය ආවත් ආණ්ඩුවට වුවමනාව තිබුණේ ඡන්දය කිරීමය. මේවා කල් දමන්නැයි කීවද කල් දමන්න අකමැති වූයේ මහින්ද රාජපක්ෂ මිථ්‍යාවේ උල්පතක් වන බැවිනි. ඇතැම්විට දිනිය හැකි හොඳම මොහොත මෙය බව ජ්‍යොතිෂකාරයෙකු කියා ඇතිවාට සැක නැත. මේ මොහොතේ නොහැකි වුවහොත් තව මාස කිහිපයකින් හොඳ නැකතක් ඇතැයි කී කල එයට දින දා ගනු ඇත. ඇත්ත එයය. කෙසේ වෙතත් මැතිවරණය කල් දැමීමට කොමසාරිස්වරයා තීන්දු කිරීම වැදගත්ය.

නොබෝදා නැවත චීන ජාතිකයන් රෝගයෙන් මිය යන්නට පටන් ගත්හ. එහෙත් මෙරටට එන චීන ජාතිකයන් සුරක්ෂිත යැයි වෛද්‍ය අනිල් ජාසිංහ කැට තියති. මේ කාගේ වුවමනාවකටද?

මේ ආණ්ඩුව කොරෝනා මැඬලීමේදී අසමත් වූ අතර ඒ සියලු චෝදනා ඉතාලියෙන් ආ අය පිට පටවති. ප්‍රශ්නය ඒ අය ආවේ මේ ගුවන්තොටුපොළ දොරටුවෙන් නොවේද? යන්නය.

 

 

-රාවය-

 

 

Advertiesment