යුරෝපා රටවල් කිහිපයක් ම සිය ප්‍රථම කොරෝනාවෛරස් ආසාදිතයා පිළිබඳව නිවේදනය කර ඇති අතර එම රෝගීන් සියළු දෙනාම පාහේ ඉතාලිය තුළ රෝගය පැතිරයාමට සම්බන්ධයක් ඇති බව පෙනෙන්නට තිබේ.
ඔස්ට්‍රියා, ක්‍රොයේෂියා සහ ස්විට්සර්ලන්තය කියා සිටියේ රෝගී වූ එම පුද්ගලයන් මීට පෙර ඉතාලියේ සංචාරය කළ අය බවය.
අප්‍රිකානු මහාද්වීපයේ රටක් වන ඇල්ජීරියාවෙන් ද කොරෝනාවෛරස් ආසාදිතයෙකු හමු වී ඇති අතර ඔහු ද ඉතාලියේ සිට පැමිණි අයෙකු වේ.
ඉතාලියේ සිට පැමිණි බ්‍රසීල ජාතිකයෙකුට ද වෛරසය ආසාදනය වී ඇති අතර එය ලතින් ඇමරිකානු රටකින් කොරෝනාවෛරස් ආසාදිතයෙකු වාර්තා වූ ප්‍රථම අවස්ථාවයි.
කොරෝනාවෛරසය ආසාදනය වූ රෝගීන් වැඩිම පිරිසක් වාර්තා වන යුරෝපීය රට ඉතාලිය යි. එරටින් වාර්තා වූ රෝගීන් ගණන 300 ඉක්මවා ඇති අතර 11 දෙනෙක් මරණයට පත් වූහ. නමුත් දේශසීමා වසා දැමීමට අසල්වැසි රටවල් තීරණය කර නොමැත.
ඉතාලියේ සෞඛ්‍ය අමාත්‍ය රොබෙර්තෝ ස්පෙරන්සා කියා සිටියේ "අප කතා කරන්නේ දේශසීමාවලට අවනත නොවන වෛරසයක් ගැන" බවය.
අසල්වැසි රටවල් මෙම තත්වය "ඉතා බරපතළ ලෙස" සලකා බලන බව ජර්මනියේ සෞඛ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කළේය.
"මේ තත්වය යහපත් මට්ටමකට පැමිණීමට පෙර ඉතා දරුණු මට්ටමකට පැමිණිය හැකියි." ජර්මනියේ සෞඛ්‍ය අමාත්‍ය යෙන්ස් ස්පාන් තවදුරටත් පැවසීය.
ඉතාලියේ උතුරු පළාතේ සංචාරය කිරීමෙන් පසු පාසලට පැමිණි ළමුන් නැවත නිවෙස් කරා යැවීමට එක්සත් රාජධානියේ පාසල් පියවර ගෙන තිබේ.
ඔස්ට්‍රියාවේ සිටින තරුණ යුවළකට කොරෝනාවෛරසය ආසාදනය වී ඇත. ඔවුන් ඉතාලි ජාතිකයන් ය. එම නිවස මුද්‍රා තබා ඇත. ඉන් එක් අයෙකු සේවය කරන හෝටලය ද වසා දැමීමට පියවර ගෙන තිබේ.
ඉතාලියේ මිලානෝ නුවරදී කොරෝනාවෛරසය වැළඳුණු පුද්ගලයෙකු ස්විට්සර්ලන්තයේ සිටින අතර ඔහු මේ වන විට හුදෙකලා කොට ප්‍රතිකාර ලබයි.
ක්‍රොයේෂියාවේ ද ආසාදිතයෙකු සිටී. ඔහු ද මෑතක දී ඉතාලියේ සිට පැමිණි අයෙකි.
ස්පාඤ්ඤයට අයත් ටෙනරිෆ් දූපතේ හෝටලයක කොරෝනාවෛරසය ආසාදිත ඉතාලි යුවළක් සොයා ගැනීමෙන් අනතුරුව එම හෝටලය හුදෙකලා කර තිබේ. එම හෝටලය තුළ අමුත්තන් 1000ක් පමණ සිටිති.
ස්පාඤ්ඤයේ බාසිලෝනා නුවරින් ද ආසාදිත කාන්තාවක් වාර්තා විය. ඇය ද මෑතක දී ඉතාලියේ සංචාරය කළ කාන්තාවකි.
ප්‍රංශය සහ ජර්මනිය ද සිය ප්‍රථම ආසාදිතයන් නිවේදනය කළ අතර ඔවුන් උතුරු ඉතාලියේ සිට පැමිණි අය වෙති.
කොරෝනාවෛරසය ආසාදනය වීමෙන් මියගිය පළමු ප්‍රංශ ජාතිකයා වාර්තා විය. ඔහු 60 හැවිරිදි පුද්ගලයෙකි. ප්‍රංශයේ සංචාරය කරමින් සිටිය දී චීන ජාතිකයෙකු කොරෝනාවෛරසය ආසාදනය වී මරණයට පත් වූ බව පෙබරවාරි මාසය මුල දී වාර්තා විය. ඔහු 80 හැවිරිදි විය.
මුළු ආසාදිතයන්ගේ ගණන 1261 දක්වා ඉහළ ගොස් ඇති බව දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කළේය
ලොව පුරා පුද්ගලයන් 80,000 අධික ප්‍රමාණයකට කොරෝනාවෛරසය ආසාදනය වී තිබේ. රෝගය මුලින් ම වාර්තා වූයේ චීනයෙනි.
ඉරානය නිවේදනය කර සිටියේ 139 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති අතර 19 දෙනෙකු මරණයට පත් වූ බවය.
කෙසේ නමුත් ඉරානය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති සංඛ්‍යා ලේඛනයට වඩා වැඩි ප්‍රමාණයකට වෛරසය ආසාදනය වී ඇති බව බොහෝ දෙනාගේ විශ්වාසයයි.
ඉරානයේ නියෝජ්‍ය සෞඛ්‍ය ඇමතිවරයාට ද කොරෝනාවෛරසය ආසාදනය වී තිබේ.
දකුණු කොරියාවෙන් තවත් රෝගීන් 115ක් සොයාගත් බව බදාදා වාර්තා විය. ඒ අනුව මුළු ආසාදිතයන්ගේ ගණන 1261 දක්වා ඉහළ ගොස් ඇති බව දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කළේය.
චීනය හැරුණු කොට වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ දකුණු කොරියාවෙන් වන අතර මේ වන විට 11දෙනෙකු මරණයට පත්වී තිබේ.
චීනය නිකුත් කර ඇති නවතම වාර්තාවලට අනුව එරටින් වාර්තා වන ආසාදිතයන්ගේ ප්‍රමාණය 78,064 දක්වා ඉහළ ගොස් ඇති අතර මිය ගොස් ඇති මුළු ගණන 2715කි.
කෙසේ නමුත් චීනයෙන් වාර්තාවන නව ආසාදිතයන්ගේ ප්‍රමාණය දිනෙන් දින අඩුවෙමින් පවතී.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ චීනයෙන් පිට වෙනත් රටවලින් ආසාදිතයන් වාර්තාවීම එකවරම ඉහළ යාම "බරපතළ ලෙස අවධානයට" ලක් වී ඇති බවය.
-BBC සිංහල සේවය-
Lanka Newsweek © 2024