ඉරාකයේ රජයක් පිහිටුවා පාලන බලය දැනට පවත්වා ගෙන ගෙන යන්නේ, ඉරාන හිතවාදී ඉරාකයේ ෂියා මුස්ලිම් පිරිස්වල මන්ත්‍රීවරුන්ගේ සහයෙන් වන අතර, එම පාලනයට,රජයට සහ අගමැතිවරයාට එරෙහිව ඉරාක තරුණ තරුණියෝ 2019 ඔක්තෝම්බර් මස සිටම රට පුරා ප්‍රබල උද්ඝෝෂණ ව්‍යාපාර දියත් කරමින් සිටිති.
මීට සති දෙකකට පෙර එනම්, දෙසැම්බර් මස අවසන් වන විට උද්ඝෝෂකයින් ඉරාක රජයට දැනුම් දුන්නේ මැතිවරණ කැදවා රජයට ඉල්ලා අස් වන ලෙසයි.ඒ සදහා ඔවුන් 2020 ජනවාරි මස 20දක්වා කල් දී තිබුණි. ඒ අනුව උද්ඝෝෂණ යම් කාලයකට නතර කෙරුණු අතර ඒ වන විටත් උද්ඝෝෂණ හේතුවෙන් ඉරාක තරුණ තරුණයින් 400ක් පමණ මරණයට පත් වී තිබිණි.
කෙසේ නමුත් එම තරුණ තරුණියන් සඳුදා (20) නැවතත් රජයට එරෙහි එම උද්ඝෝෂණ ආරම්භ කළ අතර එම උද්ඝෝෂණ සදහා විශාල තරුණ තරුණියන් පිරිසක් එක්ව සිටියහ.එම තරුණ තරුණියන් පවසන්නේ ජනතාවට අවශ්‍ය වන්නේ ඇමරිකාවට සහ ඉරානයට හිතවාදී වගේම යටහත් පහත් රජයක් නොවන බවය.
මේ සටන් පාඨ ගෙන හැර දක්වමින් උද්ඝෝෂණයේ යෙදුණු තරුණ තරුණියන් පාලනය කිරීමට ඉරාක ආරක්ෂක අංශ සහ පොලිසිය සිදු කළ කදුළු ගැස් වගේම වෙඩි ප්‍රහාරවලින් දෙපාර්ශවය අතර ගැටුම් හට ගත් අතර එහිදී දෙපාර්ශ්වයම තුවාල ලබා ඇත.එසේම පොලිසිය සිදු කළ වෙඩි තැබීම්වලින් උද්ඝෝෂකයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති අතර පොලිසිය එල්ල කළ කදුළු ගෑස් කැනියස්ටරයක් උද්ඝෝෂ්කයෙකුගේ ගෙල පෙදෙසට වැදීමෙන් ඔහුද මරණයට පත් වී ඇත.මේ හේතුවෙන් කෝපයට පත් වූ උද්ඝෝෂකයින් පොලිසිය සමග මුහුණට මුහුණ ගැටීමෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුද මරණයට පත් විය.
ඉරාක තරුණ තරුණියන් පවසන්නේ නව රජයේ ආර්ථික ප්‍රතිපත්ති අසාර්ථක වී ඇති අතර ජනතාවගේ මුලික අවශ්‍යතවයක් වන ජලය පවා සැපයීමට රජයට නොහැකි වී ඇති බවත් විරැකියාව හේතුවෙන් තරුණ තරුණියන් දැඩි පීඩාවට පත්ව සිටින බවය.රජය දැඩි ලෙස ඉරානයට හිතවාදී වෙමින් රටේ ආර්ථිකය විනාශය කරා ගෙන යමින් සිටින බවට ද උද්ඝෝෂකයෝ චෝදනා එල්ල කළහ.
මෙම උද්ඝෝෂණ මාලාව ඇරඹීමත් සමග ඉරාක රජයේ අගමැති වරයා 2019 ඔක්තෝම්බර් මස සිය ධූරයෙන් ඉල්ලා අස්වූ අතර නව රජයක් පත් කර ගන්නා තෙක් ඔහු එම ධූරයේ වැඩ බලයි.ඒ සම්බන්ධව ද උද්ඝෝෂකයින් පවසන්නේ නව මැතිවරණයක් වහාම කැදවා තමන්ට නිවරදි පාලකයින් පත් කර ගැනීමට ඉඩ ලබා දෙනලෙසයි.
මේ අනුව බලන කල තීරණය කළ හැක්කේ ඉරාකයේ අභ්‍යන්තරයේ තත්ත්වය කළමනාකරණය කිරීම ඉරානයට සිතන ලෙස පහසු නොවෙන බවයි.ඒ අතරම සඳුදා (20) රාත්‍රියේ ඉරාකයේ බැග්ඩෑඩ්හි සයිරන් නාදය ගිගුම් දුන් අතර ඒ සමගම බැග්ඩෑඩ්හි පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය ආසන්නයට රොකට් ප්‍රහාර දෙකෙක් එල්ල වුණත් එම ප්‍රහාරවලින් කිසිවෙකු තුවාල ලබා නොමැත..
Lanka Newsweek © 2024