Sunday 13th of October 2024

English Tamil
Advertiesment


මුහම්මද් නබිතුමන්ට අපහාස කිරීමේ චෝදනා ලද කථිකාචාර්යවරයකුට මරණ දඬුවම


2019-12-24 14335

දේව අපහාසය යන චෝදනාවට වරදකරු වූ පාකිස්තාන් සරසවි කථිකාචාර්යවරයකුට මරණ දඬුවම නියම කර තිබේ.

2013 මාර්තු මස 33 හැවිදිරි කථිකාචාර්ය ජුනයිඩ් හෆීස් අත්අඩංගුවට ගෙන ඇත්තේ මුහම්මද් නබිනායකතුමා සම්බන්ධයෙන් අපහාසාත්මක අදහස් සමාජ මාධ්‍ය ජාල තුළ පළ කිරීම හේතුවෙනි.ආගමික පූජනීය වස්තූන්ට අවමන් කරනු ලැබීම පාකිස්තානය තුළ බරපතල වරදක් වන අතර, අදාළ චෝදනාවට ලක් වූ පුද්ගලයා දැඩි මතධාරීන්ගේ ගොදුරක් බවට ද පත් විය හැකිය.

කථිකාචාර්ය ජුනයිඩ් හෆීස්ගේ නඩුව සඳහා පෙනී සිටීමට එකඟ වූ නීතිඥ රෂිඩ් රෙහ්මාන් 2014 වර්ෂයේ දී වෙඩි තබා ඝාතනය කෙරිණි.අනෙක් සිරකරුවන්ගේ ප්‍රහාරයට නිරන්තරයෙන් ලක් වීම නිසා, වසර ගණනාවක් පුරා තනිව සිරමැදිරියක් තුළ කල් ගෙවීමට කථිකාචාර්යවරයාට සිදු විය.

ජුනයිඩ් හෆීස්ට එරෙහිව මරණ දඬුවම නියමකර තිබෙන්නේ, ඔහු රඳවා සිටි 'මුල්තාන්' මධ්‍යම බන්ධනාගාරයේ අධිකරණයක් මගිනි.

ශිෂ්‍යත්වයක් ලබා ඇමරිකානු විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලද ජුනයිඩ් හෆීස් ඇමරිකානු සාහිත්‍යය, ඡායාරූපකරණය සහ නාට්‍යකරණය සම්බන්ධයෙන් පශ්චාත් උපාධියක් ලබා ඇත.නැවත පාකිස්තානයට පැමිණි ඔහු අත්අඩංගුවට පත් වන තුරු ම 'බහවුද්දීන් සකාරියා' විශ්වවිද්‍යාලයේ (BZU)කථිකාචාර්යවරයකු ලෙස සේවය කළේය.

මෙය 'ඉතා අවසාවන්ත' තීන්දුවක් වන අතර එයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බව ජුනයිඩ් හෆීස් වෙනුවෙන් දැන් පෙනී සිටින නීතිඥවරයා AFP පුවත් සේවයට පැවසීය.මේ අතර, "අල්ලාහු අක්බර්" සහ "දෙවියන්ට අපහාස කරන්නන්ට මරණ දඬුවම" යැයි පවසමින් පැමිණිලි පාර්ශවයේ නීතිඥවරුන් සිය මිතුරන් අතර රසකැවිලි බෙදා හරින ආකාරය දක්නට ලැබිණි.

"මෙම තීන්දුව බරපතල යුක්ති අවගමනයක්. එය මවිතයට කරුණක්. එම තීන්දුව මගින් අපි බලාපොරොත්තු සුං වූ තත්වයකට පත්වුණා " යැයි ඇම්නෙස්ටි ජාත්‍යන්තරය ප්‍රකාශ කර ඇත.

ඉස්ලාම් ආගමට අපහාස කරන ඕනෑම පුද්ගලයෙකුට මරණ දඬුවම ඇතුළු දැඩි දඬුවම් නියම කිරීමට පාකිස්තාන නීතිය යටතේ හැකියාව තිබේ.

1860 දී ඉන්දියාවේ සිටි බ්‍රිතාන්‍යය පාලකයන් විසින් දේව අපහාස සම්බන්ධ නීතිය ප්‍රථමයෙන් සම්පාදනය කරණු ලැබ තිබේ. 1927 දී එය තවදුරටත් විකාශනය කර ඇත.1947 දී පාකිස්තානය ඉන්දියාවෙන් වෙන් වූ නමුත් මෙම නීති එලෙසින් ම පාකිස්තානයට උරුම විය.

ආගමික සභාවකට බාධා කිරීම, සුසාන භූමියකට අනවසරයෙන් ඇතුළු වීම, ආගමික ඇදහීමකට අපහාස කිරීම හෝ චේතනාන්විතව ආගමික ස්ථාන හෝ පූජා භාණ්ඩ අපවිත්‍ර කිරීම හෝ විනාශ කිරීම යන සියල්ල අපරාධ වරදක් ලෙස මුල් නීතිවල සඳහන් වේ.

පැරණි නීති යටතේ අදාළ අපරාධවලට දඬුවම වසරක සිට වසර දහය දක්වා සිර දඬුවමක් පමණි.නමුත්, ජෙනරාල් ෂියා-උල් -හක් යටතේ 1980 සිට 1986 දක්වා තිබූ හමුදා පාලන කාලය තුළ මෙම නීතිවලට නව වගන්ති ඇතුළත් කර ඇත.

නීතිය "ඉස්ලාම්කරණය" කිරීමට මෙන්ම පාකිස්තානයේ ප්‍රබල මුස්ලිම් ජනගහනයෙන් වෙන් කර, මුස්ලිම් නොවන පිරිසක් බවට 1973 දී ප්‍රකාශ කළ 'අහ්මදි' ජන කොට්ඨාශය නීත්‍යනුකූල ලෙස වෙන් කිරීමට ජෙනරාල් ෂියා-උල් හක්ට අවශ්‍ය වී තිබිණි.

ඉස්ලාම් ආගමික නායකයන්ට එරෙහිව අපහාසාත්මක ප්‍රකාශ සිදු කිරීම නව වගන්ති යටතේ නීති විරෝධී වන අතර, "චේතනාන්විතව" කුරානය කෙලෙසීමේ වරදට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කිරීමට අධිකරණයට හැකිය. මුහම්මද් නබිතුමන්ට අපහාස කිරීම ජීවිතාන්තය දක්වා සිර දඬුවම් හෝ මරණ දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස පසුව හඳුන්වා දී තිබේ.

දේව අපහාසය වරදට මරණ දඬුවම නියම වූ හතළිස්‌දෙනෙකු සිටින නමුත්, මෙතෙක් එය ක්‍රියාත්මක කර නොමැත.ආසියා බීබී නැමැති පාකිස්තාන ක්‍රිස්තියානි කාන්තාව දේව අපහාස වරදට මරණ දඬුවම් නියම වී අට වසරක් බන්ධනාගාරගත වී සිට පසුගිය වසරේ නිදහස් වීමත් සමඟ මෙම නීතිය පිළිබඳ ජාත්‍යන්තර අවධානය යොමු විය.

පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවකින් ඇය නිදොස් කොට නිදහස් කෙරුණු නමුත්, එම තීන්දුවට එරෙහිව රට පුරා විරෝධතා පැවැත්විණි. ආරක්ෂාව පතා ඇයට වෙනත් රටක පදිංචියට යෑමට සිදු විණි.

 
 
(BBC සිංහල සේවය)
Advertiesment