ඉන්දියාව තුළ කාන්තාවගේ ආරක්ෂාව සම්බන්ධව යළිත් උග්‍ර උද්ඝෝෂණ මේ වන විට පැතිර යමින් තිබේ. එයට හේතුව පසුගියදා ඉතා කෘෘර මරණයකට මුහුණ පෑ 27 හැවිරිදි පශු වෛද්‍යවරියකගේ සිරුර හමුවීමය. ඇය පසුගිය නොවැම්බර් 30 දින තම සේවාව නිම වී නිවසට පැමිණෙමින් සිටියදී ඇයගේ ස්කූටරයේ ටයරවලට හිතා මතා හානි කර පසුව ඒවා ප්‍රතිසංස්කරණය කර ගැනීමට ඇයගේ සහයට පැමිණි පුද්ගලයන් සිව් දෙනෙකු අතින් දූෂණයට ලක්ව මියගොස් සිටියාය. බ්ලැන්කට්ටුවක ඔතා භූමිතෙල් දමා ගිනි තබා තිබූ ඇයගේ සිරුර හමුවූයේ පසුගිය දෙසැම්බර් 2වැනිදාය. ඇයගේ සිරුර හමුවී තිබුණේ හයිද්‍රාබාද් සිට කිලෝමීටර් 50ක් දුර ශාද්නගර් ප්‍රදේශයෙනි. එනම් ඇයගේ නිවසට ඉතා ආසන්නයෙනි. සිදුවීමෙන් දින කිහිපයක් ගත වන විට පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හයිද්‍රාබාද් පොලීසිය සමත් විය. සිකුරාදා වන විට දැන ගන්නට ලැබුණේ මේ චූදිතයන් සිව් දෙනා වෙඩි තබා මරා දමා ඇති බවයි.
මේ සිදුවීම ඉන්දියානුවන්ගේ පමණක් නොව මුළු මහත් ලෝකවාසීන්ගේම සිත් කම්පාවට පත් කරවන සුලුබව අමුතුවෙන් කිව යුතු නොවේ. මේ සිදුවීම මූලික කර ගනිමින්, එහෙත් ඉන්දියාව පුරා අතීතයේ සිදුවූ, මේ වන විටද නොකඩවා සිදුවන ස්ත්‍රී හිංසන සහ ඝාතන අරමුණු කර ගනිමින් උද්ඝෝෂණ රැල්ලක් මේ වන විටද පැතිර යමින් තිබේ. එහෙත් කණාගටුවට කාරණය වන්නේ ඒ කිසිවකින් ඉන්දියාවේ ස්ත්‍රී හිංසන සහ ඝාතන සංස්කෘතිය අඩපණ නොවීමය. ඒ සම්බන්ධව කිසිවක් කිරීමට එරට රජය අපොහොසත් වීමය.
දත්ත වාර්තා අනුව ඉන්දියාවේ සෑම මිනිත්තු තුනකට වරක් කාන්තාවක් කිනම් හෝ අතවරයකට පත් වන්නීය. එම අතවර හෝ හිංසන ගෘහස්ථ හිංසන, ලිංගික හිංසන සහ ඝාතන යනුවෙන් සරලව වර්ග කර දැක්විය හැකිය. ලෝකයේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතා දර්ශකයේ පහළින්ම සිටින රටවල් අතරට ඉන්දියාවද එක්ව තිබීම පුදුමයට කරුණක් නොවේය. එම දර්ශකයේ ඉහළින්ම නෙදර්ලන්තය, ඩෙන්මාර්කය, ස්විස්ටර්ලන්තය, නෝර්වේ, ෆින්ලන්තය යන රටවල් සිටියදී එහි පහළින්ම සිටින රටවල් වන්නේ යේමනය, ඇෆ්ගනිස්තානය, නයිජීරියාව, කොංගෝ වැනි රටවල්ය. ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවල කාන්තාවන්ගේ තත්ත්වය අයහපත් නොවන අතර ඇතැම් ප්‍රදේශවල කාන්තාවන් මුහුණ දෙන තත්ත්වය ඉතා දුක්ඛිතය.
එසේ වීමට ඉන්දියානු සංස්කෘතියද විශාල හේතුවක්ව පවතින බව සඳහන් කළ යුතුමය. ඉන්දියානු පිරිමින් අතරින් සියයට 65ක් විශ්වාස කරන්නේ කාන්තාවන් ප්රචණ්ඩත්වය දරා සිටිය යුතු බවය. පවුල හෝ පවුලේ නම්බුව ආරක්ෂා කර ගැනීම, පියාගේ, සැමියාගේ මතය තර්ක නොනගා පිළිගැනීම සහ එයට ඉහළින් කටයුතු නොකිරීම කාන්තාව සතු වගකීම් ලෙස ඉන්දීය පිරිමින් අතරින් වැඩි දෙනාගේ විශ්වාසයයි. එමෙන්ම කාන්තාවට තැළීම තම අයිතිවාසිකමක් ලෙසද ඔවුහු සිතති. මේ හේතුවෙන්ම ඉන්දීය කාන්තාවන් මුහුණ දෙන ප්‍රචණ්ඩ ක්‍රියා සහ ඝාතන අතරින් වැඩි ප්‍රමාණයක් මාධ්‍යයට නිරාවරණය නොවීමද බරපතළ තත්ත්වයක් සේ සැලකිය යුතුය.
ඉන්දීය කාන්තාවන් මුහුණ දෙන හිංසන වර්ග කිහිපයක් ලෙස හඳුනාගත හැකිය. දෑවැදි මරණ ඒ අතර ප්‍රධාන වේ. මෙහිදී සිදුවන්නේ විවාහයේදී ලබා දෙන දෑවැද්ද ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විවාහයෙන් පසු පුරුෂයාගේ පවුල තුළ කාන්තාව හිංසනයට ලක්වීමය. මේ හිංසන මරණය දක්වාම දීර්ඝ විය හැකිය. දෑවැදි මරණ ඝාතනයන් හෝ සියදිවි නසා ගැනීම් විලසින් දැක ගත හැකි වනු ඇත. එහිදී වසදීම, එල්ලීම, ගිනි තැබිම යනාදී ඝාතන ක්‍රම භාවිත කරන බව සුලබව දැක ගත හැකිව තිබේ. 2012 වසරේදී වාර්තා වී ඇති දෑවැදි මරණ සංඛ්‍යාව 8233කි.
පවුලේ නම්බුව උදෙසා සිදුකරන මරණ යනුවෙන්ද වර්ගීකරණය කළ හැකි ඝාතනවලට මුහුණ දීමට ඉන්දීය කාන්තාවන්ට සිදුව තිබේ. එම ඝාතන බොහෝ විට ස්වකීය පවුලේ සාමාජිකයන් විසින්ම සිදු කරනු ලබන අතර අසල්වැසියන්ගේ සහායද ඒ සඳහා ලැබෙනු දැක ගත හැකිය. යෝජිත විවාහ ප්‍රතික්ෂේප කිරීම, පවුලට නොගැළපෙන සහකරුවකු තෝරා ගැනීම යනාදී හේතු මෙවැනි ඝාතන සඳහා හේතු වේ.
ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවල කාන්තාවන් ඝාතනයට ලක්වන්නේ මවගේ කුස තුළ සිටියදීමය. බොහෝ විට පිරිමි දරුවන් බලාපොරොත්තු වන දෙමවුපියෝ දරුවාගේ ස්ත්‍රී පුරුෂ භාවය කල් තබා හඳුනාගෙන ඝාතන සිදු කරති. එමෙන්ම ඇතැම් කුඩා දැරිවියන් උපත ලද විගස මරා දැමෙන බවද වාර්තා වී තිබේ.
මෙයට අමතරව ගෘහස්ථ හිංසනය, බලහත්කාරී ළමා විවාහ, ඇසිඩ් ගැසීම් යනාදී සිදුවීම් ඉතා විශාල සංඛ්‍යාවකට ඉන්දියාව පුරා කාන්තාව දිනපතා මුහුණ දෙති.
ඉන්දීය කාන්තාවන් මුහුණ දෙන ප්‍රධානතම සහ බරපතළම තත්ත්වය වන්නේ දූෂණය කොට මරා දැමීමය. එයින්ද සමූහ දූෂණය යනු වඩාත්ම නරකම තත්ත්වයයි. 2015 වසරේදී මෙවැනි සිදුවීම් 34651ක් වාර්තා විය. මෙවැනි සිදුවීම්වලට මුහුණ පාන බොහෝ කාන්තාවන්ගේ නම ප්‍රසිද්ධ නොකිරීමට ඉන්දීය බලධාරීන් කටයුතු කරති. ‘නිර්භයා’ ඒ සඳහා හොඳම උදාහරණයකි. 2012 වසරේ දෙසැම්බර් මාසයේදී සමූහ දූෂණයට ලක් වූ ඇයට විදෙස් ප්‍රතිකාර පවා ලබා දීමට ඉන්දීය රජය කටයුතු කළද ඇයගේ මරණය වළක්වාලීමට නොහැකි විය. මේ සිදුවීමෙන් ඉන්දියාවේ සමානාත්මතාව කැමති බොහෝ දෙනෙකු වීථි බැස කාන්තාවන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස රජයට බලපෑම් කළහ. එහිදී මාධ්‍යට පැමිණි නිර්භයාගේ පවුලේ සාමාජිකයන් නිර්භයාගේ සැබෑ නම ජෝති සිං පාණ්ඩේ බව හෙළිදරව් කළහ.
ඉන්දීය අධිකරණය ඇයව සමූහ දූෂණයට ලක් කළ පුද්ගලයන් අතරින් සිව් දෙනෙකුට මරණීය දණ්ඩනය නියම කළේය. එහෙත් ඉන්දීය කාන්තාවන් මුහුණ දෙන ජීවිත තර්ජන බිඳකින් හෝ අඩුවීමට මේ සිදුවීම් හේතුවක් නොවූ බව එයින් පසුව මේ දක්වා සිදුවී ඇති සිදුවීම්වලින් පැහැදිලි වේ.
එමෙන්ම පසුගියදා සමූහ දූෂණයට සහ ඝාතනයට ලක් වූ පශු වෛද්‍යවරියගේ නමද මේ දක්වා මාධ්‍යයට නිකුත් කර නැත.
මෙවැනි සිදුවීම් වැඩි වශයෙන් වාර්තා වන්නා වූ හයිද්‍රාබාද් පොලීසිය කාන්තාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නොයෙක් වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරමින් උත්සාහ දැරූවද ඒ කිසිවක් අවශ්‍ය ප්‍රතිඵල ලබා දීමට අපොහොසත් බව සනාථ වී තිබේ. ඒ සියල්ලෙන් පැහැදිලි වන්නේ ඉන්දීය සමාජයේ කාන්තාව සම්බන්ධයෙන් වන මතය වෙනස් වන තුරු කාන්තාව අනාරක්ෂිත බවය.
ඉන්දීය සිතියමේ හැඩය අනුව බියපත්ව දිවයන කාන්තාවකගේ රූපය සිතුවමට නැගූ එක්තරා සිත්තරකු එහි සඳහන් කර තිබුණේ නිදහසින් වසර හැත්තෑවකට පසු ඉන්දියාවේ ස්වරූපය මෙයට වඩා සාර්ථකව සිතුවමට නැගීමට තමන්ට නොහැකි බවයි.
Lanka Newsweek © 2024