ශ්රී ලංකා – ඔස්ට්‍රේලියා T20 තරගාවලිය අද ආරම්භ වුණේ ශ‍්‍රී ලංකා කණ්ඩායමට නීරස පරාජයක් ලබා දෙමින්. ඒ සමග නවක කණ්ඩායමක් සමග පසුගිය දා පාකිස්ථානයේ සංචාරය කරමින් ලබා ගත් විස්මිතT20 ජයග‍්‍රහණයේ මිහිර ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නවකයින්ට කෙසේ වෙතත් ලසිත් මාලිංග ඇතුළු ජ්‍යෙෂ්ඨයින්ට නම් අහිමි වුණ බව පැහැදිලිව පෙනී ගියා.
අද (27) පැවැති ආරම්භක තරගයේදී නායක ලසිත් මාලිංග පන්දු යැවීම අතින් අසමත් වීම කැපී පෙනන සිදුවීමක්. ඔහු තමන්ට හිමි පන්දු වාර 4 තුළ දී ලකුණු 37ක් ලබා දුන් අතර එහි දළ වෙගය 9.25ක් වුණා. නවක පිතිකරුවන් ද ඕස්ටේ‍්‍රලියානු පිතිකරුවන් අතින් එළව එළවා පහරකෑමට ලක්වන විට ජ්‍යෙෂ්ඨතම පන්දු යවන්නාටත් ඒ හා සමාන ඉරණමක් උරුම වීම කනගාටුවට කරුණක්.
අද පැවැති තරගයේදී T20 වාර්තා කිහිපයක් බිද වැටීම ගැන ක‍්‍රීකට් ක‍්‍රීඩා විචාරකයින්ගේ අවධානයට යොමුව තිබෙනවා. ඒ අතර ඕස්ටේ‍්‍රලියානුවන් ධනාත්මක වාර්තා දෙකකට හිමිකම් කියද්දී ශ‍්‍රී ලාංකික නවක පන්දු යවන්නකු වන කසුන් රාජිත ‘අමිහිරි’ ලෝක වාර්තාවක් තමන් සතු කර ගත්තා.
පසුගිය පාකිස්තාන සංචාරයේදී කසුන් රාජිත පන්දුවෙන් ඉහළ දක්ෂතා දැක්වීය. ඔහුගේ පන්දු යැවීම හමුවේ පාකිස්තාන පිතිකරුවෝ අසරණ වූහ. නමුත් අද දින (ඔක්තෝබර් 27) ඇඩිලේඩ් පිටියේදී දක්නට ලැබුණේ ඊට හාත්පස වෙනස් දෙයකි.
ඔස්ට්‍රේලියානු පිතිකරුවෝ රාජිත ගේ පන්දු යැවීම හමුවේ රිසි සේ ලකුණු රැස් කළහ. ඔහුගේ පන්දු වාර හතර නිමාවන විට ලබා දී තිබූ ලකුණු සංඛ්‍යාව 75කි. එය විස්සයි විස්ස තරගයකදී පන්දු යවන්නෙක් ලබා දී තිබෙන වැඩිම ලකුණු සංඛ්‍යාව වේ.
රාජිතට අකමැත්තෙන් වුව ද හිමිකම් කීමට සිදුවූයේ තුර්කියේ ටුනහන් ටුරාන් නම් ක්‍රීඩකයා සතුව තිබූ වාර්තාවකි. ඔහු 2019 අගෝස්තු 30 වෙනිදා චෙක් රාජ්‍ය සමග පැවති තරගයකදී සිය පන්දුවාර හතරේදී ලකුණු 70ක් ලබා දුණි.
මීට පෙර ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ එම වාර්තාවට හිමිකම් කීවේ එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් සහ ශ්‍රී ලංකාවේ සනත් ජයසූරිය යි. ඔවුන් දෙදෙනාම පන්දුවාර හතරක දී ලබා දී තිබු ලකුණු සංඛ්‍යාව 64 කි.
ශ‍්‍රී ලංකා කණ්ඩායමක් T20 ජාත්‍යන්තර තරගකදී වාර්තා කළ දැවැන්තම පරාජය අද වාර්තා කිරීම ද සුවිශේෂ සිදුවීමකි. මීට පෙර 2017 දෙසැම්බර් 20 වෙනිදා ඉන්දියාව හමුවේ ලකුණු 93කින් පරාජය වීම ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයකදී ලද විශාලම පරාජය ලෙස සදහන්ව තිබුණේය.
ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝර්නර් (පන්දු 56 කදී නොදැවී ලකුණු 100), නායක ආරොන් ෆින්ච් (පන්දු 36 කදී ලකුණු 64) සහ ග්ලෙන් මැක්ස්වෙල් (පන්දු 28 කදී ලකුණු 62) වේගවත් ව ලකුණු රැස්කිරීම නිසා ඔස්ට්‍රේලියානු කණ්ඩායම සිය පන්දුවාර 20 දී කඩුලු දෙකක් පමණක් දැවී ලකුණු 233ක් රැස් කළේය.
එය ඔස්ට්‍රේලියානු කණ්ඩායම විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයකදී ඔස්ට්‍රේලියාව තුළදී රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා පොතට එක්විය.
මීට පෙර ඔවුන්ගේ වැඩිම ලකුණු සංඛ්‍යාව වූයේ එංගලන්තයට එරෙහිව 2007 වසරේ දී කඩුලු පහක් දැවී රැස්කළ ලකුණු 221 ය.එම තරගය සිඩ්නි හි පැවැත්විණි.
සත්කාරක ඔස්ට්‍රේලියානු ඉණිමට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම රැස් කළේ ලකුණු 99 ක් පමණි. එහිදී කඩුලු නවයක් දැවිණි. ඒ අනුව ඔස්ට්‍රේලියාව ලකුණු 134 කින් මෙම තරගය ජය ලැබීය.
එය, කණ්ඩායම් දෙකෙහි ලකුණු පරතරය සලකා බැලීමේදී ඔස්ට්‍රේලියානු කණ්ඩායම ලැබූ විශාලම ජයග්‍රහණය ලෙස වාර්තා පොතට එක්විණි.
Lanka Newsweek © 2024