Monday 24th of March 2025

English Tamil
Advertiesment


ඇල්පිටිය ජයග්‍රහණයෙන් උදම් වන පොහොට්ටුවට ඉතිහාසයෙන් පාඩමක්


2019-10-26 14409

ගාල්ල දිනන සුත්‍රය ඇත්තේ සජිත්-වජිර අතේය 


ජනපතිවරණයෙන් ගාල්ල දිනවීමට ගයන්තට කළ හැකි කෙන්ගෙඩියක් නැත  
 

(අහුන්ගල්ලේ දේ.සූ. ද. සොයිසා)

 

2019 ඔක්තෝබර් මස 11 වැනිදා පැවති ගාලු දිසාවේ ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් පොහොට්ටුවට ජය ලැබිණි. එම ජයග්‍රහණයෙන් උදම් වන පොහොට්ටු නායකයෝ එම මැතිවරණ ප්‍රතිඵලය ඉදිරි ජනාධිපතිවරණයේ ඔවුන්ගේ ජය තහවුරු කරන ප්‍රථම වෙඩි මුරය ලෙස රටට ප්‍රකාශ කරමින් සිටියි.

ඔවුන්ට පෙනෙන්නේ එසේය. නමුත් මහා මැතිවරණය සහ ජනාධිපතිවරණය ආසන්නයේ පැවති මැතිවරණවලින් එක්සත් ජාතික පක්ෂය පැරදුණු මුල් අවස්තාව මේ මැතිවරණය නොවන අතර එසේ පරාජයට පත්වූ සෑම අවස්ථාවකම ඊළඟ ඡන්දය එක්සත් ජාතික පක්ෂයට ගෙන ආවේ විශිෂ්ඨ ජයග්‍රහණයක් බව අතීතය විමසා බලන අයට පෙනී යන කරුණකි.

1976 ජුනි මස 18 වැනි දින මුල්කිරිගල මන්ත්‍රීවරයා වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ ජෝජ් රාජපක්ෂ මහතා අභාව ප්‍රාප්ත විය. ඔහු මිය යන විට එවකට පැවති රජයේ දකුණු පළාත නියෝජනය කළ එකම ඇමතිවරයා විය. ජෝජ් රාජපක්ෂ මහතා, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිගේ ලොකු අප්පච්චිගේ බාල පුතණුවන්ද විය.

1977 මහා මැතිවරණයට මාස ගණනාවක් තිබියදී මුල්කිරිගලට අතුරු මැතිවරණයක් පැවැත්විණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් වුණේ මිය ගිය ඇමතිවරයාගේ සොහොයුරා වූ ලක්ෂ්මන් රාජපක්ෂ මහතාය. එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වුයේ ටී. ඩී. ප්‍රැන්සිස්කු මහතාය. ඔහුව වැඩි ඡන්ද 3700ක් ලබා ගනිමින් පරදවා මුල්කිරිගල දිනා මැති සබයට පැමිණියේ ලක්ෂ්මන් රාජපක්ෂ මහතාය.ඔහු එම මන්ත්‍රී පදවිය දැරුවේ මාස කිහිපයක් පමණි.

1970 මැයි මස 27 වන දින බලයට පැමිණි සිරිමාවෝ බණ්ඩාරනායකගේ හත් අවුරුදු කාල සීමාව තුළ රත්නපුර, නුවරඑළිය,පුත්තලම, කැස්බෑව,කටාන, උතුරු කොළඹ, දකුණු කොළඹ,මන්නාරම, ජා -ඇළ, දැදිගම සහ මුල්කිරිගල වශයෙන් අතුරු මැතිවරණ 12ක් පැවැත් විය. ඔවුන්ට දිනා ගත හැකි වූයේ රත්නපුර සහ මුල්කිරිගල පමණයි. රත්නපුර දිනා ගත්තේ 1972 ඔක්තෝබර් 09 වැනි දාය.

ඊට පසු වසර පහකින් මුල්කිරිගල දිනා ගන්නා තුරු පැවති සියලුම අතුරු මැතිවරණ දිනුවේ එක්සත් ජාතික පක්ෂය පමණි. එක පිට එක අතුරු මැතිවරණ පරාජය වී සිටියදී, මුල්කිරිගල ඡන්දය දිනා ගැනීම 1970 මහා මැතිවරණයෙන් ශ්‍රීලනිපයට මුලු රටම දිනීමට ලැබුණු ජනවරමක් ලෙස මැතිනිය ඇතුළු ශ්‍රීලනිප නායකයින් උදම් අනුවේ අද ඇල්පිටිය ඡන්දයෙන් උද්දාමයට පත්ව සිටින පොහොට්ටු නායකයන් ලෙසය.

නමුත් 1977 ජුලි 21 පැවති මැතිවරණයෙන් මුළු දකුණම එක්සත් ජාතික පක්ෂය දිනා ගනිද්දී මුල්කිරිගලින් ටී. ඩී . ප්‍රැන්සිස්කු මහතා (එජාප) යළි මැති සබයට පැමිණියේ මැති සබය තුළ නිදහසින් පසු රාජපක්ෂලා නොමැති පාර්ලිමේන්තුවක් බිහි කරමිනි.

1983දී පැවති බෙලිඅත්ත අතුරු මැතිවරණයෙන් ද රංජිත් අතපත්තු මහතා මහින්ද රාජපක්ෂ මහතා පරාජය කළේ වැඩි ඡන්ද දහසකිනි. මැතිවරණයක් ආසන්නයේ දෙවැනි අතුරු මැතිවරණය පැවතියේ රත්නපුර ඡන්ද කොට්ඨාශයේය.ඒ 1988 ජුලි මස 14 වන දාය. එම මැතිවරණ පැවතියේ අප රටේ දෙවැනි ජනාධිපතිවරණයට මාස පහක් තිබියදී.

ඒ වන විට බලයේ සිටි එජාපය රත්නපුර අතුරු මැතිවරණය දිනා ගැනීමට නොගත් උත්සහයක් නොමැත. ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා සමග ආර්. ප්‍රේමදාස අගමැතිවරයාද ගාමිණි දිසානායක සහ ලලිත් ඇතුලත්මුදලි ආදී ඇමැතිවරුද රත්නපුරයේ පදිංචි වී සටන මෙහෙය වූහ. නමුත් එජාපයේ සියලු පැතුම් බොඳ කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂක නන්ද එල්ලාවල මහතා ඡන්ද 31,854ක් ලබා ගනිමින් රත්නපුර ආසනය දිනා ගත්තේ එක්සත් ජාතික පක්ෂයට වඩා වැඩි ඡන්ද 4000 කට ආසන්න ප්‍රමාණයක් ලබා ගනිමිනි. මේ ජයග්‍රහණයෙන් උදදාමයට පත් වූ ශ්‍රීලනිපය ජනපතිවරණ ජයග්‍රහණයේ පළමු වෙඩි මුරය රත්නපුරයේ දැල්වූ බවට උදම් ඇනිය. 

1988 දෙසැම්බර් 19 වන දා ජනාධිපතිවරණය ඇරඹිණි. ජයග්‍රහණය එජාපය සතු විය. ඇල්පිටිය මැතිවරණ කොට්ඨාශයේ ප්‍රාදේශීය සභා දෙකකි. එය බෙන්තර සහ ඇල්පිටිය වශයෙනි. ඡන්දය පැවතියේ ඇල්පිටියට පමණි. 1976 මුල්කිරිගල මෙන්ම 1988 රත්නපුරය මෙන්ම මෙවර ඇල්පිටිය ද ඔවුන්ම දිනා ගත්තේය. නමුත් එම ජය 2019 නොවැම්බර් 16 වන දින පැවැත්වෙන ජනාධිපතිවරණයේ ජය ඔවුන්ගේ ජයග්‍රහණයේ පෙරහුරුව ලෙස ප්‍රකාශ කරන්නේ මේ ඉතිහාසය දැන හෝ නොදැනය.අරමුණ ජනතාව ගොනාට අන්දවිමය.

ඇල්පිටියේ පරාජයට රජය පැත්තෙන් හේතු රාශියකි.එම ජය පොහොට්ටුව පිළිබඳ ප්‍රසාදය පිණිස යැයි සිතීම මුළාවකි. ඇල්පිටියේ කලකිරී සිටින එක්සත් ජාතික පාක්ෂිකයින් ඡන්ද පොළට ගෙන ඒමේ මන්ත්‍රය ඇත්තේ සජිත් ප්‍රේමදාස සහ වජිර අබේවර්ධන මහත්වරුන් අතේය. ඊට හේතුව රූපා කරුණාතිලක මහතා නැවැත්වූ තැනින් යළි ඇල්පිටිය ගොඩ ගන්නට සජිත් ප්‍රෙමදාස දෙන නායකත්වය ඇල්පිටිය ජනතාව පිළි ගන්නා නිසාය. රූපා කරුණාතිලක වැනි "කරුණාතිලකයක්" ඇල්පිටියට අවශ්‍යව ඇති කාලය පැමිණ ඇත.

 

 

Advertiesment