Monday 14th of October 2024

English Tamil
Advertiesment


ගබ්සාව හා සම්බන්ධ නීතිය


2019-10-22 14371

ශ්‍රී ලංකාවේ දිනකට ගබ්සා කිරීම් 638

 

(තුෂාල් විතානගේ)

"ශ්‍රී ලංකාවේ වසරකට ගබ්සාවන් 240,000ක් සිදු වෙනවා. ඒ වාර්තා ගත සංඛ්‍යාලේඛණ පමණයි. ඒ අනුව දවසකට 638කට ආසන්න සංඛ්‍යාවක් සිදු වෙනවා. ඒ අතරින් 90‍%ක්ම විවාහක කාන්තාවන් තුළ තමයි සිදු වෙන්නෙ. මේ ගබ්සාවන්ට හේතු කිහිපයක් තියෙනවා. පළමු දරුවා බිහි වී ප‍්‍රමාණවත් කාලයක් ගත නොවීම, දරුවන් අපේක්ෂා නොකරන වෙලාවක සිදු වන ගැබ් ගැනීම් මේ අතර තියෙනවා. ඒ අතරින් බරපතළම ඛේදවාචකය තමයි විදෙස් රැකියාවකට යාම සඳහා කර ගන්නා ගබ්සා කර ගැනීම්. මේ ගබ්සාවන් නිසා ඇති වෙන සෞඛය ගැටලු රැසක් තියෙනවා."

පසුගිය 20 වැනිදා ජාතික ජන බලවේගයේ කාන්තා ප‍්‍රඥප්තිය එළි දැක්වීම වෙනුවෙන් කොළඹ මහජන පුස්තකාල ශ‍්‍රවණාගාරයේ පැවැති උත්සවය අමතමින් ජාතික ජනබල වේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා මේ බව ප්‍රකාශ කර සිටියා.

අනුර කුමාර දිසානායක මහතා මේ තොරතුරු හෙළි කිරීම සමග බොහෝ කාලයක් තිස්සේ අපේ සමාජය තුළ කම්පනයක් ඇති කරමින් තිබෙන‘ගබ්සාව’ සම්බන්ධ කාරණාවට ‘දේශපාලන අවධානයක්’ යොමු වෙලා තිබෙනවා. මෙම ලිපිය මගින් ‘ගබ්සාව’ සම්බන්ධ නෛතික පසුබිම ගැන අවධානය යොමු කිරීමට අපේක්ෂා කරනවා.

අනුර කුමාර දිසානායක මහතා ලංකාවේ වාර්ෂික සිදුවන ගබ්සා කිරීම් සංඛ්‍යාව 290,000ක් බව පැවසුවත් ‘ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශය විසින් 2014 වර්ෂයේ ප‍්‍රකාශයට පත් කළ ‘කාන්තාව සහ ගැහැනු දරු ආරක්ෂණය පිළිබඳ ශ‍්‍රී ලංකා නීති නාමාවලිය (පිටුව 142) සඳහන් කරන්නේ ලංකාව තුළ වාර්ෂිකව ගබ්සා කිරීම් 290,000ක් පමණ සිදුවන බවයි.

‘ශ‍්‍රී ලංකා පවුල් සෞඛ්‍ය කාර්යාංශයට අනුව ශ‍්‍රී ලංකාවෙහි දිනපතා ගබ්සා කිරීම් 800ක් සිදුවේ. රටේ සජීව දරු උපත් සංඛ්‍යාව වන 380,000 හා සසඳන නිට වසරකට ගබ්සා කිරීම් 290,000ක් සිදුවේ. පර්යේෂණ මගින් සොයා ගෙන ඇත්තේ මෙම ගබ්සාවලින් සියයට 80ක්ම අවුරුදු 35ට වැඩි කාන්තාවන් සම්බන්ධයෙන් සිදුකරන බවයි. කෙසේ වුව ද පොලිසියට වාර්තා වී ඇති ගබ්සා කිරීම් පිළිබඳ පැමිණිලි සංඛ්‍යාව ඉහත දැක්වූ ඇත්ත වශයෙන්ම රටෙහි සිදුවන ගබ්සාවන්ට වඩා බොහෝ අඩු සංඛ්‍යාවකි’ ‘කාන්තාව සහ ගැහැනු දරු ආරක්ෂණය පිළිබඳ ශ‍්‍රී ලංකා නීති නාමාවලිය / දෙවන සංස්කරණය 2014/ (පිටුව 142)

එම වාර්තාවට අනුව 2005 වර්ෂයේදී ගබ්සා සම්බන්ධ පැමිණිලි 35ක් පොලිසියට ලැබී ඇති අතර වාර්ෂිකව සිදුවන සුළු උච්චාවචනයන් සමග 2010 වන විට එය 57 දක්වා වර්ධනය වී ඇත. මෙම වාර්තාව අනුව පෙනී යන්නේ ‘පැමිණිලි’ වශයෙන් පොලිසියට වාර්තා වන්නේ වාර්ෂිකව සිදුවන ගබ්සා ප‍්‍රමාණයෙන් ‘නොසැලකිය යුතු’ සංඛ්‍යාවක් බවයි. ලංකාව තුළ ගබ්සාව නීතියෙන් ‘තහනම් වීම’ මේ අඩු පැමිණිලි සඳහා බලපා ඇති ප‍්‍රධාන කරුණ වශයෙන් සැලකිය හැකියි.

ගබ්සාවක් යනු කුමක්ද ?

‘ගබ්සාව’ සම්බන්ධයෙන් පවතින පොදු නිර්වචනය වන්නේ, ‘සති 28ක් සම්පූර්ණ වීමට පෙර කළලයට තර්ජනයක් වන හෝ කළල කොටස් ගර්භාෂයෙන් අර්ධ වශයෙන් හෝ සම්පූර්ණ වශයෙන් පිට කිරීමට හේතුවීමක් ගබ්සාවක් වන බවයි.

වෛද්‍ය විද්‍යාවට අනුව ගැබ් ගැනීමෙහි ප‍්‍රතිඵල (කළලය, කළල පටල හෝ වැදෑමහ) නොමේරූ අවස්ථාවේදී ගර්භාෂයෙන් නිකුත් කිරීම ගබ්සාවක් වශයෙන් හඳුන්වනවා. ගබ්සාවක් සිදුකර ගන්නේ කවුරුන් විසින් ද ?

ඉහතින් සඳහන් කළ ආකාරයට ලංකාවේ නම් ‘ගබ්සා කිරීම්වලට ලක්වන ‘අති බහුතරය’ අවුරුදු 35ට වඩා වැඩි විවාහක කාන්තාවන් බවයි සඳහන් වන්නේ. ඒත් පොදුවේ ගබ්සාවට ලක්වන කාන්තාවන් කොටස් 04කට බෙදා දැක්විය හැකියි.

1. අවිවාහක කාන්තාවෝ : අවිවාහක අවස්ථාවකදී පවත්වන ලිංගික ආශ‍්‍රිය හේතුකොට ගෙන ගැබ් ගන්නා අවස්ථාවලදී ගබ්සාවක් කර ගැනීමට පෙළඹෙන කතුන්.

2. විවාහක කාන්තාවෝ : ආර්ථික ප‍්‍රශ්න, එකිනෙකට සමීප දරු උපත් ඇතිවීම හේතුවෙන් තමන්ට දරු උපත් අන්‍යවශ්‍ය අවස්ථාවකදී ගබ්සාවට යොමුවන කතුන්.

3. ලිංගික අපරාධවල වින්දිතයෝ : බලහත්කාරයෙන් සිදුකරන ලිංගිකක අතවරවලට (ස්ත‍්‍රී දුෂණය ද ඇතුළුව) ලක්වීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් ගැබ්ගත් කාන්තාවන් වෛද්‍ය පටිපාටියක් ලෙස

4. වෛද්‍ය ක‍්‍රියාපටිපාටියක් ලෙස : වෛද්‍ය උපදෙස් මත මවගේ ජීවිතයට අන්තරායදායක වන අවස්ථාවලදී ගබ්සා කිරීම.

මින් මුල් අවස්ථා තුනේදී කෙරෙන ගබ්සා කිරීම් අපරාධයක් සේ ශ‍්‍රී ලංකා නීතිය විසින් සලකන අතර අවසාන අවස්ථාව ගැබ්ගත් මවකගේ ජීවිතය ගළවා ගැනීම සඳහා කරන නීත්‍යානුකූල ක‍්‍රියාවක් ලෙස සැලකෙනවා.

ගබ්සා සිදුකර ගන්නා ක‍්‍රම මොනවාද ?

ගබ්සාව සිදුකර ගන්නා  ක‍්‍රම 03ක් ගැන සාමාන්‍යයෙන් සඳහන් වෙනවා. ඒ,

1. ගබ්සා විය හැකි ඖෂධ හෝ ආහාර භාවිතයෙන් : ව්‍යාජ ආයුර්වේද ඖෂධ යෝනි මාර්ගයට ඇතුළු කිරීම / අමු ආහාර ගැනීම (ගල් අන්නාසි කෑම වැනි)

2. සාමාන්‍ය හිංසා මගින් : ගැබ් ගත් විගසම බයිසිකල් පැදීම / උඩ පැනීම හෝ යටි බඩට පහරදීම වැනි

3. ගැබ් විස්තාරණය කිරීම මගින් : නිවසේ සොයාගත හැකි උපකරණ මගින් ගබ්සා කර ගැනීම / ඇණ, කොණ්ඩාකටු, බයිසකල් ස්පෝක් කූරු, ගොතන කටු, කඩ නන භාවිතය හෝ නැටි වර්ග පාවිච්චි කිරීම ( එඬෙරු නැටි)

ගබ්සා කිරීම හා සම්බන්ධ ලංකාවේ නෛතික තත්ත්වය

සාමාන්‍ය රීතිය : ගබ්සා කිරීම නීති විරෝධී වේ.

ව්‍යාතිරේකය : ස්ත‍්‍රීන්ගේ ජීවිතය බේරා ගැනීමේ කාර්යය සඳහා සද්භාවයෙන් කරනු ලබන ගබ්සා කිරීම්

මේ වරද පිළිබඳ චෝදනාව: ගබ්සාව සිදුකරන වෛද්‍යවරයාට විරුද්ධව හැකිඟිය හැකිය.

තමාම ගබ්සාව කර ගනු ලබන ස්ත‍්‍රියකට විරුද්ධව නැගිය හැකිය.

1. ගැබ ඉවත් කිරීම

303 වන වගන්තිය - දණ්ඩ නීති සංග‍්‍රහය

ස්ත‍්‍රියකගේ ජීවිතය බේරීමේ කාර්යය සඳහා සද්භාවයෙන් කරනු ලබන ගබ්සා කිරීමක් නොවන ගබ්සා කිරීමක් ගැබ්ගත් ස්ත‍්‍රියකට, කැමැත්තෙන් සිදුකරන තැනැත්තෙක් වරදක් සිදුකරයි. දඬුවම : 303 වගන්තිය (දණ්ඩ නීති සංග‍්‍රහය) අවුරුදු 03 දක්වා කාලයක බරපතළ වැඩ ඇතිව හෝ නැතිව බන්ධනාගාර ගත කිරීමකින් හෝ දඩයකින් හෝ එකී දඬුවම් කළ යුතුය. තව ද එකී ස්ත‍්‍රිය දරු ප‍්‍රසූතියට ආසන්නව සිටියදී නම් ඔහුට අවුරුදු 07 දක්වා කාලයක දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාර ගත කිරීමකින් දඬුවම් කළ යුතුය. ඔහු දඩයකට ද යටත් විය යුතුය.

පැහැදිලි කිරීම : ‘තමාම’ ගබ්සා කරගනු ලබන ස්ත‍්‍රියක් මේ වගන්තියේ අර්ථයට ඇතුළත් වේ.

2. ස්ත‍්‍රියකගේ කැමැත්ත නොමැතිව ගැබ ඉවත් කිරීම

304 වගන්තිය- දණ්ඩ නීති සංග‍්‍රහය :ස්ත‍්‍රියක දරු ප‍්‍රසූතියට ආසන්නව සිටියදී හෝ නොසිටියදී ඇයගේ කැමැත්ත නොමැතිව ඉහත කී වගන්තියේ විස්තැ කරනු ලැබූ වරද කරන තැනැත්තෙක් වරදක් සිදුකරයි.

දඬුවම : අවුරුදු 20 දක්වා කාලයක, දෙයාකාරයකින් එක් ආකාරයක බන්ධනාගාර ගත කිරීමකින් දඬුවම් කළ යුතුය. ඔහු දඩයකට ද යටත් විය යුතුය.

3. ස්ත‍්‍රියගේ මරණය සිදු කිරීම

305 වගන්තිය - දණ්ඩනීති සංග‍්‍රහය : ගැබ්ගත් ස්ත‍්‍රියකට ගබ්සා කිරීමේ අදහසින් එකී ස්ත‍්‍රියගේ මරණය සිදුකරන යම් ක‍්‍රියාවක් කරන තැනැත්තෙක් වරදක් සිදු කරයි. දඬුවම 303 වගන්තිය - දණ්ඩ නීති සංග‍්‍රහය: අුවුරුදු 20 දක්වා කාලයක දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාර ගත කිරීමකින් දඬුවම් කළ යුතුය. ඔහු දඩයකට ද යටත් විය යුතුය.

4. කළලයේ වර්ධන අවධි සහ ගබ්සා කිරීම පිළිබඳ වගකීම

කාන්තාව ගර්භණීව සිටින අවස්ථාවක ගර්භණී කාලයේ ඕනෑම අදියරකදී සිදු කරන ගබ්සා කිරීමක් අපරාධයක් වේ. එහෙත් දඬුවම් නියම කිරීමේදී කළලයේ වර්ධන අවදිය කෙරෙහි නීතිය අවධානය යොමු කරයි.

පැහැදැලි කිරීම : වරදකරු විසින් එකී ක‍්‍රියාවෙන් මරණය සිදුවීමට ඉඩ ඇති බව දැනගනු ලැබීම මේ වරද සඳහා අත්‍යවශ්‍ය නොවේ.

ඉහත සඳහන් වන්නේ ගබ්සාව සම්බන්ධ ලංකාවේ පවතින නීතිමය තත්ත්වය වේ. මේ නීති ලිහිල් කිරීම හෝ ගබ්සාව නීතිගත කිරීම වෙනුවෙන් පෙනී සිටින බලවත් දේශපාලන ව්‍යාපාර පවතින අතර බොහෝ යුරෝපා රාජ්‍ය වර්තමානය වන විට ගබ්සාව සම්බන්ධයෙන් වඩාත් ලිහිල් හා මානුෂික ප‍්‍රතිපත්තියක් අනුගමනය කරයි.

 

 

Advertiesment