Friday 4th of October 2024

English Tamil
Advertiesment


ලාහෝර් අඳුරු මතකයන් අමතක කර...!


2019-10-05 14319

(රුවන් ලොකු විතානගේ)

ආරම්භයේ සිටම අවුල් සහගත බවක් පෙන්නූ ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්ථාන සංචාරයේ පළමු භාගය, එනම් එක්දින ජාත්‍යන්තර තරගාවලිය අවසන් වුණේ පාකිස්ථානයට 2/0ක් ලෙස පහසු ජයග‍්‍රහණයක් ලබා දෙමින්.

මධ්‍යස්ථ ක‍්‍රීඩා විචාරකයින් සහ පේ‍්‍රක්ෂකයින්ට අනුව නම් එම පරාජය ඒ හැටි ගණන් ගත යුතු දෙයක් නොවෙයි. ඊට හේතුව වශයෙන් ඔවුන් දක්වන්නේ ශ‍්‍රී ලංකා එක්දින සංචිතය සම්පූර්ණයෙන්ම පාහේ ‘නවක’ ක‍්‍රීඩකයින්ගෙන් යුක්ත වීමයි.එහෙත් මේ ගැන වෙනත් කෝණයකින් බලන පිරිස නම් පවසන්නේ යළිත් පාකිස්ථානයේදී මුහුණ දීමට සිදු වුණේ ශ‍්‍රී ලංකා කණ්ඩායම පසුගිය වසර කිහිපය පුරා එකපිට එක වශයෙන් නොනැවතී ලබන පරාජයන් අතරට තවත් තරගාවලියක් එක්වීම පමණක් බවයි.

‘මේක ජ්‍යේෂ්ඨයින් ගියා කියලත් ලොකු වෙනසක් වෙන්නේ නැහැ. ඒ බව ලෝක කුසලානය වගේම පහුගිය නවසීලන්ත සංචාරයත් මනාව පැහැදිලි කළා. ලංකාවේ ක‍්‍රිකට් මුල ඉඳන් හදන්න වෙලා තියෙන්නේ’ එක් ක‍්‍රීඩා විචාරකයෙක් ලියුම්කරු සමග කිව්වා.

කොහොම වුණත් ‘ගිය දේ ගියා’ කියලා පාරාජිත මානසිකත්වයකින් යුත්තව හෝ ශ‍්‍රී ලංකා කණ්ඩායමට 20-20 තරගාවලියට මුහුණ දෙන්න සිදු වෙනවා. එය සංකීර්ණ මෙන්ම අභියෝගාත්මක වනු ඇති බවයි ක‍්‍රීඩා විචාරකයින් කියන්නේ.

‘විස්සයි විස්ස නායකත්වය දරන්නේ නවක ක‍්‍රීඩකයෙක් වන ‘දසුන් ශානක’ වාර්තා අනුව 20-20 අංශයෙන් ශ‍්‍රී ලංකාව වෙනුවෙන් නායකත්වය දෙන 10 වැනි නායකයා වන්නේ දසුන්.

කොහොම වුණත් ශ‍්‍රී ලංකා කණ්ඩායම ඊයේ (4) කරච්චි නුවර සිට ‘ලාහෝරය’ට පැමිණියා. ඒ සඳහා පාකිස්ථාන ආරක්ෂක අංශ විසින් කරච්චි නුවරදී ලබා දුන් ආරක්ෂාවටත් වඩා දැඩි ආරක්ෂාවක් සපයා තිබුණා. ඊට හේතුව වුණේ ශ‍්‍රී ලංකා කණ්ඩායම මීට දශකයකට පෙර ත‍්‍රස්ත ප‍්‍රහාරයකට මුහුණ දුන්නේ ලාහෝරයේදී ම වීමයි. මේ කම්පනයට ශ‍්‍රී ලංකා කණ්ඩායම තුළ සේම පාකිස්ථානුවන් තුළත් තිබෙනවා.

‘අපේ ක‍්‍රීකට් විනාශ කළේ ලාහෝර් ප‍්‍රහාරය’ ඔවුන් අදත් කියනවා.

කොහොම වුණත් දවසක්ම ගත වුණ කරච්චි - ලාහෝර් ගමන නිමා කළ ශ‍්‍රී ලංකා කණ්ඩායම එදින සවස ගඩාෆි ක‍්‍රීඩාංගණයේදී පුහුණු වීම්වල නිරත වුණා.

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක පාකිස්ථාන කණ්ඩායම අතර විස්සයි - විස්ස තරගාවලිය අද (5) ශ‍්‍රී ලංකාවේ වේලාවන් පස්වරු 7.00ට පාකිස්ථානයේ ලාහෝර් නුවර ‘ගඩාෆි’ ක‍්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

ක‍්‍රීඩා විචාරකයින් කියන්නේ කණ්ඩායම්වල ශක්තිය විමසා බැලීමේදී පැහැදිලිව පාකිස්ථානය ශ‍්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් සිටියත් ‘ක‍්‍රිකට් ගැන අනාවැකි පළ කළ නොහැකි බව’යි.‘විස්සයි - විස්ස තරගයක ඕනෑම මොහොතක සමස්ත තරගයම වෙනස් විය හැකි නිසා අනාවැකි ඵල රහිතයි. කණ්ඩායම් සැසඳීම ඵල රහිතයි’ පාකිස්ථාන විචාරකයින් කියනවා.

දසුන් ශානකට සවන් දෙමු

‘ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරනවා කියන්නේ ලොකු වගකීමක්. ඒ වගේම සතුටක්. නායකයෙකු විදිහට මට ලැබුණු ලොකු අවස්ථාවක්. අපි කණ්ඩායමක් විදිහට හොඳ සූදානමකින් පසුවෙනවා. නවක ක‍්‍රීඩකයින් සමග ක‍්‍රීඩා කරන්න සිදුවෙලා තිබුණත් තිබෙන අත්දැකීම් උපරිම ලෙස යොදා ගනිමින් හොඳ තරගයක් දෙන්න අපි බලාපොරොත්තු වෙනවා’ දසුන් තමන්ගේ අදහස ඒ ආකාරයෙන් ප‍්‍රකාශ කරනවා. දසුන්ට අනුව පාකිස්ථානය මෑත කාලයේ උපරිම දක්ෂතා අතර සිටින කණ්ඩායමක්.

‘පාකිස්ථානය දක්ෂයින් බව ඇත්ත. ඒත් පසුගිය එක්දින තරග දෙකේදී අපි ඔවුන්ට කොතරම් අභියෝගයක් ද යන්න පෙන්නුම් කළා. මම හිතනවා අපේ බහුතරය නවක වුණත් පාකිස්ථානයට හොඳ තරගයක් දීලා ඔවුන්ව පරාජය කරන්න හැකියාව තිබෙනවා කියලා. ඒ ගැන ලොකු විශ්වාසයක් මගේ තියෙනවා’ දසුන් දැඩි ආත්ම විශ්වාසයකින් යුතුව පවසනවා.

වගකීම කවුරුන් දරාවිද..?

පසුගිය එක්දින තරගාවලියේ අසාර්ථක්වයට හේතු වූ කරුණු පැහැදිලියි. ඒවා නිරාකරණය කර ගැනීම හෝ අවම කර ගැනීම අද තරගයේදී අතිෂයින් වැදගත්.ක‍්‍රීඩා විචාරකයින්ට අනුව අද සිට ආරම්භ වන විස්සයි විස්ස තරගාවලියේ ‘වැඩි බරක්’ උසුලන්න සිදුවන්නේ නායක දසුන් ශානක, ධනුෂ්ක ගුණතිලක සහ ෂෙහාන් ජයසූරිය යන ‘ත‍්‍රිත්වය’ටයි. මෙහිදී ධනුෂ්ක ගැන විශේෂ අවධානයක් තිබෙනවා. ඊට එක් හේතුවක් වන්නේ අවසන් එක්දින තරගයේදී ධනුෂ්ක දැක්වූ සුවිශේෂ පිතිකරණ හැකියාවයි. ඔහු එහිදී ලකුණු 133ක් ලබා ගත්තා.

එය ‘සුපිරි’ පිතිකරණයක් බවයි කවුරුත් කිව්වේ. ෂෙහාන් සහ ශානක ගැනත් ඇත්තේ යහපත් අතීතයක්. ඔවුන් දෙදෙනා විසින් ම දෙවැනි තරගයේදී අර්ධ ශතක ලබාගත් අතර 6 වැනි කඩුල්ල වෙනුවෙන් ‘වාර්තාගත’ සම්බන්ධතාවක් පවත්වා ගැනීමට සමත් වුණා. තෙවැනි ස්ථානයේ ක‍්‍රීඩාකරන අවිශ්ක ප‍්‍රනාන්දු ගැන තවදුරටත් ඇත්තේ ‘හුදු’ බලාපොරොත්තුවක් පමණයි. ඔහුට කණ්ඩායම තුළ ‘ස්ථාවර’ වීමට නම් ලකුණු අතරට පැමිණීම අත්‍යවශ්‍ය කරුණක්ව තිබෙනවා. පන්දු යැවීම

පිතිකරුවන්ට හෝ පන්දු යවන්නන්ට පමණක් තරගයක් ජයග‍්‍රහණය කරා ගෙන යා නොහැකි බව කවුරුත් පිළිගන්නවා. ‘කොරා සහ අන්ධයා වාගේ’ මේ දෙපිරිස මනාව සන්ධානගත විය යුතුයි. එසේ නොවුණහොත් සිදුවන්නේ ‘පරාජයට’ පත්වීමට පමණයි.

පසුගිය එක්දින තරගාවලියේදී ශ‍්‍රී ලංකා කණ්ඩායම තුළ පිතිකරණයේ කැපී පෙනෙන දුර්වලතා තිබුණේ නැහැ. සැලකිය යුතු ලකුණු සංඛ්‍යාවක් ඔවුන් තරග ද්විත්වයේදීම වාර්තා කළා. ඒත් පන්දු යැවීම සම්බන්ධයෙන් නම් ‘බරපතල’ දුර්වලතා පෙන්නුම් කළ බව නෙරහසක්.

‘අද ක‍්‍රිකට් නවීකරණයට ලක් වුණ ක‍්‍රීඩාවක්. මීට කාලයකට පෙර තරගයක ජයග‍්‍රහණයට ‘ලකුණු පාලනය’ වැදගත් යැයි සැලකුවා. ඒත් අද එය යල්පැන ගිය අදහසක්. අද වඩාත් වැදගත් වන්නේ කඩුළු දවා ගැනීමයි. ඒත් කනගාටුවට කරුණ වන්නේ ලංකාවේ පන්දු යවන්නන් ඒ සම්බන්ධයෙන් අතිෂය දුර්වල තත්ත්වයක පසුවීමයි’ ප‍්‍රවීණ ක‍්‍රීඩා විචාරකයෙක් ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීමේ බලඇණිය මුහුණ දී තිබෙන තත්ත්වය විශ්ලේෂණය කරමින් කිව්වා.

ඔහු කියන ආකාරයට ශ‍්‍රී ලංකා පන්දු යවන්නන් තවමත් ‘තෙම්පරාදු’ වී නැති නිසා මෙවැනි තත්ත්වයක් ඇතිව තිබෙනවා.ඔහුට අනුව ශ‍්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නිත්‍ය පන්දු යවන්නා වන ලසිත් මාලිංග මෙම සංචාරයට එක්ව නැති නිසා වැඩි වගකීමක් (සම්පූර්ණ) පැවරී තිබෙන්නේ ‘නුවන් ප‍්‍රදීප්’ ඇතුළු වේගපන්දු යවන්නත් හටයි.

‘පසුගිය කාලයේ දඟපන්දු යවන්නන් අතර කැපී පෙනුණේ අකිල ධනංජය. ඒත් ඔහුට වසරක තරග තහනමක් පනවා ඇති නිසා මේ තරගාවලියේ දඟපන්දු යවන්නන්ගේ වගකීම ඉටුකළ යුතු වන්නේ ලක්ෂාන් සඳකැන්ටයි.

මේ සම්බන්ධයෙන් නායක දසුන් ශානක දක්වන්නේ මෙවැනි අදහසක්.

‘නවසීලන්තය සමග පැවැති 20-20 තරගාවලියට ක‍්‍රීඩා කළ කණ්ඩායමෙන් අද නොසිටින්නේ ලසිත් මාලිංග, කුසල් ජනිත් සහ නිරෝෂන් දික්වැල්ල යන ක‍්‍රීඩකයින් තිදෙනෙක් පමණයි. ඒත් අපිට අප සමග සිටින ක‍්‍රීඩකයින්ගෙන් අප සමග නැති තිදෙනාගේ අඩුව සම්පූර්ණ කරගත හැකියි. අපේ අපේක්ෂාව වන්නේ ඔවුන් වෙනුවෙන් ක‍්‍රීඩකයින් ආදේශ කරන්නයි’ දසුන් සඳහන් කරයි.

එහිදී දසුන් කියන්නේ ඉදිරියේදී 20-20 ලෝක කුසලානය තිබෙන නිසා කණ්ඩායම තුළ පුළුල් වෙනස්කම් කළ නොහැකි බවයි.

‘එහෙම කළොත් කාටවත් දක්ෂතා අතරට එන්න බැරි වෙයි’ දසුන් තත්ත්වය සමාලෝචනය කරමින් කියනවා.

දසුන්ට අනුව 20-20 තරගාවලියේදී ශ‍්‍රී ලංකාව හමුවේ ඇති ප‍්‍රබලතම අභියෝගය වන්නේ ‘පන්දු යැවීමේ අංශයේ’ තිබෙන ‘පොඩි පොඩි’ දුර්වලතා පමණකි.

‘කරච්චි නුවරදී පැවැති එක්දින තරග දෙක දිහා බැලූවොත් මේ තත්ත්වය පහසුවෙන් වටහා ගන්න පුළුවන්. කඩුළු දෙකක් ගන්න පන්දු යවන්නෙකුට පුළුවන් වුණා නම් තරග දෙකේම ඉරණම වෙනස් වෙන්න තිබුණා’ දසුන්ට අනුව පසුගිය කාලයේ ශ‍්‍රී ලංකා කණ්ඩායමේ සාර්ථකත්වයේ ‘රහස’ වී තිබුණේ සාර්ථක පන්දු යවන්නන්ගෙන් කණ්ඩායමට අඩුවක් නොවීමයි.

‘නමුත් මෑත කාලයේ අපේ කණ්ඩායම තුළ සාර්ථක පන්දු යවන්නන් නැහැ. අකිල හිටියා. අවාසනාවට අද ඔහුත් නැහැ. ඒ නිසා ‘සඳකැන්ට’ තමයි ලොකුම වගකීම පැවරිලා තියෙන්නේ’ දසුන් බලාපොරොත්තු සහිතව කියනවා.

‘අපි සියලූ දෙනාම සඳකැන් ගැන බලාපොරොත්තු තබා ගෙන සිටිනවා

ලංකාව ගැන පාකිස්ථාන නායකයා කියන කතාව

20-20 තරගාවලිය සඳහා පාකිස්ථානයට නායකත්වය දෙන්නේ ‘සෆ්රාස් අහමඞ්’ විසින්.සෆ්රාස් තරගාවලිය සහ විශේෂයෙන් ශ‍්‍රී ලංකා කණ්ඩායම ගැන දක්වන්නේ මෙවැනි අදහසක්.

‘ශ‍්‍රී ලංකා කණ්ඩායම එක්දින තරගාවලියේ හොඳින් ක‍්‍රීඩා කළා. ඔවුන් තරගාවලිය පරජය වුණත් අපට ‘හොඳ’ සටනක් දුන්නා. ඒ නිසා 20-20 තරගාවලියේදී අපි කිසිසේත් ශ‍්‍රී ලංකාව සුළුකොට තකන්නේ නම් නැහැ. අපි සමග හොඳ දක්ෂයින් සිටිනවා. අපි ශ‍්‍රී ලංකාවට හොඳ තරගයක් දෙනවා’ සෆ්රාස් කියනවා.

පාකිස්ථාන ක‍්‍රීඩා විචාරකයින්ට අනුව පාකිස්ථානය මෙම තරගාවලියට පිවිස සිටින්නේ 20-20 විශේෂඥයෙකු වන ‘උමර් අක්මාල්’ ද සමගයි. උමාල්ට අමතරව ‘අහමඞ් ශේෂාඞ් ද 20-20 විශේෂඥයෙකි. එහෙත් අහමඞ්ට අද තරගයට සහභාගීවීමට අවස්ථාව ලැබේද යන්න ගැන විශ්වාසයක් නැත.

එසේ වුවත් පාකිස්ථානය සතුව තවත් ‘බර’ අවි රැසක් තිබෙන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

‘පාකිස්ථානය සතු සුපිරි අවියක් වන්නේ ආරම්භක පිතිකරු ‘ෆකර් සමාන්’ බව නොබියව කිව හැකියි. ඒ වගේම අංක 03ට ක‍්‍රීඩා කරන ‘බාබර් අසාම්’ ගැන අලූතින් කිසිවක් කිව යුතු නැහැ. ඔවුන් දෙදෙනාම පසුගිය එක්දින තරගාවලියේ ලකුණු අතර ඉදිරියෙන්ම සිටියා’ පාකිස්ථානු ප‍්‍රවීන ක‍්‍රීඩා විචාරක ජාවෙඞ් සුර්ෆිඛාන් කියයි.

‘ඔවුන් පමණක් නොවෙයි. වේගයෙන් පන්දුවට පහර දෙන්නන් වශයෙන් නම් දරා සිටින ‘අසීෆ් අලී’ වගේම ‘ඉෆ්තිකාර් අහමඞ්’ ද ඕනෑම අවස්ථාවක තරගයේ ඉරණම බාර ගන්න පුුළුවන් දක්ෂතා ඇති ක‍්‍රීඩකයෝ’සුර්ෆිඛාන්ට අනුව පිතිකරු ලැයිස්තුව පමණක් නොව පන්දු යවන්නන්ගේ බලඇණිය ද ‘න්‍යෂ්ටික’ අවිවලින් සන්නද්ධව තිබෙනවා.

‘20-20 සුපිරි කණ්ඩායම බවට පාකිස්ථානය පත් වුණේ අපේ අති දක්ෂ පන්දු යන්නන් නිසා ම තමයි. වමතින් වේග පන්දු යවන ‘මොහොමඞ් අමීර්’ තමයි එහි ප‍්‍රධානියා. ‘වහාබ් රියාස්, මොහොමඞ් හස්නන්, ඉමාඞ් වසීම් වගේම ශාදාබ් ඛාන් ගැන කිසිවෙකුට කිසිවක් කිව නොහැකියි’ සුර්ෆිකාර් කියනවා.

ශේෂ පත‍්‍රය

ශී‍්‍ර ලංකා සහ පාකිස්ථානය මුලින්ම 20-20 තරගයකට මුහුණ දෙන්නේ අදින් වසර 17කට පෙර, එනම් 2007දී, දකුණු අප‍්‍රිකාවේ ජොහැනස්බර්ග නුවරදීයි. එම මංගල තරගයෙන් ලකුණු 33ක තියුණු ජයක් පාකිස්ථානය විසින් වාර්තා කළා. එදා සිට මේ දක්වා 20-20 පිටියේදී අවස්ථා 18කදී ශ‍්‍රී ලංකාව - පාකිස්ථානය හමුවී තිබෙනවා. ඉන් තරග 13ක ජයග‍්‍රහණය පාකිස්ථානට හිමිව ඇති අතර ශ‍්‍රී ලංකාවට හිමි වුණේ තරග 5ක ජයග‍්‍රහණයක් පමණයි.

මේ තත්ත්වය තරගාවලි වශයෙන් සලකන විට ශ‍්‍රී ලංකාව - පාකිස්ථානය අතර 20-20 තරගාවලි 06ක් පවත්වා ඇති අතර ඉන් 5කම ජය පාකිස්ථානය විසින් සමරා තිබුණා.

මේ සියලූ තත්ත්වයන් තුළ මෙම තරගාවලිය කාගෙත් අවධානය දිනාගෙන තිබෙනවා. ඒ ශ‍්‍රී ලංකාව පාකිස්ථානයේදී 20-20 තරගාවලියකට සහභාගී වන පළමු අවස්ථාව මෙය වීම නිසයි. ඒ වගේම එය පැවැත්වෙන්නේ ‘අඳුරු මතකයන්’ පිරි ලාහෝරයේදීම වීම නිසයි.

ඒ නිසා ශ‍්‍රී ලංකාවට මෙන්ම පාකිස්ථානයට ද අඳුරු මතකයක් එක් කළ ඒ ‘ලාහෝරයේදී’ ශ‍්‍රී ලංකාවට 20-20 තරගාවලි ජයක් ලබාගත හැකි නම් ඒ අඳුරු මතකයට වඩාත් සොඳුරු මතකයක් ‘ලාහෝරය’ මත ලිවීමට හැකියාව ලැබේවි.

දසුන්, ෂෙහාන්, ධනුෂ්ක... ඔබ සියලූ දෙනාටම ජයශ‍්‍රී...

 

 

Advertiesment