Monday 24th of March 2025

English Tamil
Advertiesment


දසුන් ශානක -ෂෙහාන් ජයසූරිය ක‍්‍රිකට් වාර්තා පොත අලුත් කරයි...!


2019-10-01 14362

වසර 10කට පසු පාකිස්ථානයට මවුබිමේදී එක්දින ජාත්‍යන්තර ක‍්‍රිකට් ජයග‍්‍රහණයක්..!

 

(කසුන් ප‍්‍රබෝධ සමරවීර)

 

පුරා දශකයකට පසු තම මව්බිමේ දීම පැවැති ජාත්‍යන්තර එක්දින තරගයෙන් ලකුණු  67ක පහසු ජයග‍්‍රහණයක් වාර්තා කිරීමට පාකිස්ථානුවෝ ඊයේ (30) සමත් වූහ.

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර ඊයේ (30) පාකිස්ථානයේ කරච්චිහිදී පැවැති දෙවැනි දිවා -රාත්‍රී එක්දින තරගයේදී ශ‍්‍රී ලංකා ඉනිම ලකුණු 238කට සීමා කළ පාකිස්ථානු කණ්ඩායම මෙම අසිරිමත් ජයග්‍රහණය  වාර්තා කළේ.කරච්චි ජාතික ක්‍රීඩාංගණය සැලකෙන්නේ පිතිකරුවන්ට පාරාදීසයක් වශයෙනි.ඒ බව යළි යළිත් සනාථ කළ පාකිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළදී කඩුළු 07කට ලකුණු 305ක් වාර්තා කළේ කාසියේ වාසිය දිනා ගෙන පළමුවෙන් ම පන්දුවට පහරදීමේ වාසියට ද හිමිකම් කියමිනි. 

පාකිස්ථාන ඉනිම  පළමුවෙන්ම පන්දුවට පහර දුන් පාකිස්ථාන කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් යුගල වූ එෆ්. සමාන් සහඉමාව් අල් හක් පළමු කඩුල්ල සඳහා ලකුණු 73ක ශක්තිමත් සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත් වූවේය.පළමු කඩුල්ල ලෙස ඉමාම් අල් හක් ලකුණු 31කට දැවී ගියේය. ඒ හසරංගගේ පන්දුවකට කඩුල්ල මුවාකිරීමේ වරදට හසු වීමෙනි.  හක්ගේ දැවීයාමෙන් පසු තෙවැනි පිතිකරු ලෙස පිටියට පිවිසි පාකිස්ථාන පිලේ ‘දඩබ්බරයා’ ලෙස හැඳින්වෙන ‘බාබර් අසාම්’ මොහොතකින් මුළු තරගයේම පාලනය සියතට ගත්තේය. ඒ අතර දෙවැනි කඩුල්ල ලෙස මුළු ලකුණු සංඛ්‍යාව 104දී ලකුණු 54ක් ලබා සිටි අසාම් හසරංගගේ පන්දුවකට උඩපන්දුවක් දී පිටියෙන් ඉවත්ව ගියේ යම් පමණකට තරගයේ පාලනය පාකිස්ථානු කණ්ඩායම වෙතින් ගිලිහි  යන ස්වභාවයක් පෙන්නුම් කරමිනි.  එහෙත් අසාම් එතැන් සිට හාරිස් සොහෙල් සමග එක්ව සිය සුපුරුදු දඩබ්බර පිතිකරණය ක‍්‍රියාත්මක කළේ ශ‍්‍රී ලංකා පන්දු යවන්නන් අන්දමන්ද කරමිනි.

ඒ අනුව අසාම් පන්දු 105කදී ලකුණු 115ක් වාර්තා කළ එය පාකිස්ථානය ජයග‍්‍රහණය කරා ගෙන යාමට ප‍්‍රබල උත්තේජනයක් ලබා දුන්නේය. අසාම්ගේ ලකුණු 115ට හතරේ පහර 08ක් සහ 06 පහර 04ක් ඇතුළත් වුයේය.අසාම් - සොහෙල් සම්බන්ධතාව ලකුණු 111ක් දක්වා දිගු, ශක්තිමත් සම්බන්ධතාවක් වූ අතර මුළු ලකුණු සංඛ්‍යාව215දී තෙවැනි කඩුල්ල ලෙස ලකුණු 40ක් ලබා සිටි සොහෙල් දුවද්දී දැවීගියේය. යම් ආකාරයකින් සොහෙල් එවැනි අනපේක්ෂිත ඉරණමකට ගොදුරු නොවූවා නම් පාකිස්ථානඉනිම තව දුරටත් ශක්තිමත් වීමට අවස්ථාව තිබුණේය. 

අසාම්ගෙන් නව වාර්තාවක්  මේ සමග ලෝක වාර්තාවක් අලූත් කිරීමට ද බබාර් අසාම් සමත් වූවේය. ඒ ඉන්දිය සුපිරිපිතිකරු චිරාත් කෝලි විසින් අඩුම ඉනිම ගණනකදී, එනම් ඉනිම 82කදී එක්දින අර්ධ ශතක 11ක් ලබා ගනිමින් තබා තිබූ වාර්තාව අසාම් ඉනිම 72කදී ලබා ගනිමින් කෝලිගේ වාර්තාව පහසුවෙන් බිඳ දැම්මේය.ඒ සමග මෙම වසර තුළ ශතක 03ක් සහ අර්ධ ශතක 06ක් සමගින් ලකුණු 1000ක සීමාව ඉක්මවා යාමට ද අසාම් සමත් වූවේය.  

පාකිස්ථාන කණ්ඩායමේ 04 වන කඩුල්ල ලකුණු 242දීත් 05 වන කඩුල්ල ලකුණු 261දීත්, 06 වන කඩුල්ල ලකුණු 278දීත් බිඳ වැටුණු අතර 07 වන කඩුල්ල මුළු ලකුණු සංඛ්‍යාව 305 දී බිඳ වැටුණේය.පන්දු යැවීම  ප‍්‍රවීන පාකිස්ථාන ක‍්‍රීඩකයින් හමුවේ දැඩි පීඩනයකට ලක් වූ ශ‍්‍රී ලංකාවේ නවක පන්දු යවන්නන් අතරින් යම් තරමක හෝ සාර්ථකත්වයක් ලබා ගැනීමට සමත් වූයේ වනිඳු හසරංග පමණි.පන්දු වාර 10කදී ලකුණු 63කට කඩුළු 02ක් වාර්තා කළ අතර ඉසුරු උදාන සහ ළහිරු කුමාර එක් කඩුල්ල බැගින් දවා ගත්තේය.   ලකුණු 306ක අසීරු ඉලක්කයක් හඹා යාම නවක ක‍්‍රීඩකයින් බහුල ශ‍්‍රී ලංකා කණ්ඩායමට බෙහෙවින් අසීරු ඉලක්කයක් බව තරගය ආරම්භයේදීම පැහැදිලිව පෙනෙන්ට තිබුණි.

ඒ අනුව ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 18දී බිඳ වැටුණේ සදීර  සමරවික‍්‍රම ලකුණු 06කට දැවී යාම සමගිනි.මුළු ලකුණු සංඛ්‍යාව 22දී දෙවැනි කඩුල්ල ලෙස ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක ලකුණු 14කට දැවී ගිය අතර තෙවැනි හා සිවුවන කඩුළු ලකුණු 22දීම බිඳ වැටුණේ නවක ක‍්‍රීඩකයින්ගෙන් පිරි ශ‍්‍රී ලංකා කණ්ඩායම අන්ත අසරණ තත්ත්වයට පත් කරමිනි. ඒ සමග මුළු ලකුණු සංඛ්‍යාව28දී ශ‍්‍රී ලංකා කණ්ඩායමේ 05 වන කඩුල්ලත් බිඳ වැටුණු අතර පාකිස්ථානය තරගයේ පාලනය පහසුවෙන් සියතට ගත්තේ ශ‍්‍රී ලංකාවට අපකීර්තිමත් පරාජයක් උරුම කරදීමේ පහසු හැකියාවක් ඇති බව ප‍්‍රදර්ශනය කරමිනි.   වාර්තාගත සම්බන්ධතාවක් එහෙත් ශ‍්‍රී ලංකා පිතිකරුවන් අතරින් කාලයකින් වාර්තා වූ ශක්තිමත්සම්බන්ධතාවක මහිමයෙන් පාකිස්ථානයේ සැලසුම ඈතට ගියේය.  ලකුණු 28කට කඩුළු 5ක් බිඳ වැටී තිබියදී දසුන් ශානක හාෂෙහාන් ජයසූරිය එක්ව හයවැනි කඩුල්ලට ලකුණු 177ක සම්බන්ධතාවක් ගොඩනගමින් සටන්කාමී ක්‍රීඩාවක් ප්‍රර්ශනය කළ අතර එම සම්බන්ධතාව කලකට පසු දුටු විශිෂ්ට ගණයේ එකක් විය.

එක්දින ජාත්‍යන්තර තරග ඉතිහාසයේ ලොව හොඳම සිවුවැනි ඉහළම සම්බන්ධතාවමෙය වූ අතර, ශ්‍රී ලංකාව වෙනුවෙන් එදා - මෙදාතුර 6වැනි කඩුල්ලට වාර්තා වූ වැඩිම ලකුණු ගණන ලෙසද සටහන් විය. එහි පැරණි දක්ෂතාව 2008දී චාමර කපුගෙදර හා චාමර සිල්වා විසින් පෝට්ඔෆ් ස්පේන්හීදී කොදෙව් පිලට එරෙහිව ලකුණු 159කින් සටහන් කොට තිබිම ද විශේෂත්වයකි.එමෙන්ම ඉතිහාසයේ පාකිස්තානයට එරෙහි ලොව ඕනෑම කණ්ඩායමක් ලැබූ 6 වැනි කඩුල්ලේ සාර්ථක සම්බන්ධතාවට ද ෂෙහාන් හා දසුන් හිමිකම් කීවේය. පාකිස්තානයට එරෙහිව 6වැනි කඩුල්ලට ලකුණු 154ක සම්බන්ධතාවක් ගොඩනගා තිබු බටහිර ඉන්දීය කොදෙව්හී ශ්‍රීමත් රිචී රිචඩ්සන් හා ජෙෆ් ඩූජෝන් සාජා පිටියේදී තබා තිබූ වාර්තාව ද ෂෙහාන් - දසුන් මකා දැමුවේය.

බොහෝ වේලාවක් ශ‍්‍රී ලංකා පිතිකරුවන් හමුවේ අසරණව සිටි පාකිස්ථාන පන්දු යවන්නෝ යළි මුළු ලකුණු සංඛ්‍යාව 205ක්ව තිබියදී යළි සක‍්‍රීය වූහ. ඒ අනුව මුළු ලකුණු සංඛ්‍යාව 205දී ලකුණු 96ක් ලබා සිටියේ ෂෙහාන් ජයසූරිය දවා ගැනීමට පාකිස්ථාන පන්දු යවන්නන් සමත් වුණා.ෂෙහාන්ගේ දැවී යාම සමග ශ‍්‍රී ලංකා කණ්ඩායම දැඩි අසීරුතාවට පත්වූ බවක් පැහැදිලිව දැකගත හැකි වුණා. ඒ සමග 211/8 හා 232/9 වශයෙන් ශ‍්‍රී ලංකා කණ්ඩායමේ කඩුළු බිඳවැටුණා. අවසානයේ පන්දුවාර 46.5 කදී සියලූ දෙනාම දැවී ගොස් ශ‍්‍රී ලංකා කණ්ඩායමට ලබා ගත හැකි වුණේ ලකුණු 232ක් පමණයි.  මේ තරගයේ ජයග‍්‍රණයත් සමග පාකිස්ථානය 1/0ක් ලෙස පෙරමුණේ සිටින අතර තෙවැනි එක්දින තරගයහෙට (2) කරච්චි ජාතික ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

 

 

Advertiesment