Monday 7th of October 2024

English Tamil
Advertiesment


අපට තිබෙන්නේ අසමත් රාජ්‍යයකි..!


2019-09-28 14325

(වික්ටර් අයිවන්) 

ජනාධිපතිවරණය රටේ අර්බුදය උග්‍ර කිරීමට මිස සැහැල්ලු කිරීමට හෝ ජනාධිපතිවරණයෙන් කවුරුන් ජය ලැබුවද, එම ජයග්‍රහණය ලංකාව මුහුණ දී තිබෙන අර්බුදයට විසඳුමක් වන්නේ නැත.

ජනාධිපතිවරණයෙන් ජය ලබන තම ජයග්‍රාහකයා ප්‍රකාශ කිරීමත් සමග 19 වැනි සංශෝධනයට ඇතුළත්ව තිබුණු සංක්‍රාන්ති විධි විධාන නිසා තිබූ ජනාධිපති ආණ්ඩුක්‍රමය වෙනස් වී එය බොහෝ දුරට නාමමාත්‍රික ජනාධිපතිවරයකු සහිත රාජ්‍ය බලය මුළුමනින් අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය අතට පත්වන පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක් බවට පත්වීමට නියමිතය.

තේරී පත්වන ජනාධිපතිවරයා මහජන ඡන්දයකින් වීම හේතු කොටගෙන ජනාධිපතිවරයා එක පක්ෂයකින්ද පාර්ලිමේන්තුවේ අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය තවත් පක්ෂයකින්ද තේරී පත්වන තත්ත්වයක් ඇතිවුවහොත් ජනාධිපතිවරයා හා ආණ්ඩුව අතර ගැටුම් ඇතිවී සමස්ත ආණ්ඩුක්‍රමය හාස්‍යජනක විගඩමක් බවට පත්කිරීමට හේතුවිය හැකිය.

ලංකාව මුහුණ දී තිබෙන අර්බුදයේ වැදගත් ලක්ෂණ සමහරක් මෙසේය.

1. රාජ්‍යය තිබෙන්නේ දූෂණයෙන් කුණුවූ ප්‍රචණ්ඩ අරගලවලින් එල්ල වූ ප්‍රහාරවලින් බෙලහීනභාවයට පත්වූ අකාර්යක්ෂම හා ක්‍රියාකාරී ශක්තිය අහිමි කරගත් අබල දුබල තත්ත්වයකය.

2. ජාතිය තිබෙන්නේද වර්ග, කුල, ආගම් භේදවලින්ද, ඒ ආශ්‍රයෙන් ඇතිවූ ප්‍රචණ්ඩ ගැටුම්වලින්ද බෙදී ගිය අවුල්සහගත තත්ත්වයකය.

3. රටේ ආර්ථිකය තියෙන්නෙත් ඕනෑම මොහොතක බංකොළොත් තත්ත්වයකට පත්විය හැකි අනතුරුදායක තත්ත්වයකය. ඉතාම අවාසනාවන්ත දේ වනුයේ රටේ පැවති අර්ධ ජනාධිපති පාලන ක්‍රමය අලුත් ජනාධිපතිවරයාගේ තේරී පත්වීමත් සමග අවසන් වී රටේ සම්පූර්ණ පාලන බලය පාර්ලිමේන්තුව වෙත ලැබීමට නියමිතව ඇතත් පාර්ලිමේන්තුව තිබෙන්නේ එම වගකීම ඉටු කිරීමට කිසිදු හැකියාවක් නැති ඉතාමත් අකාර්යක්ෂම හා දූෂිත තත්ත්වයකය.

ග්‍රාමීය ජන ජීවිතය

ග්‍රාමීය ජනයාගේ ජන ජීවිතය ඇද වැටී තිබෙන තත්ත්වය ඉතාමත් ඛේදජනකය. කලක් කුඩා තේ වතු වගාව දකුණු පළාතේ තේ ගොවීන්ට සරු ආදායම් උපයා දෙන එම පළාතේ ග්‍රාමීය ආර්ථිකයට ලොකු ශක්තියක් ලබා දුන් ජීවන මාර්ගයක් විය.

හිනිදුම වැනි දුෂ්කර ප්‍රදේශවල පවා කුඩා තේ වතු පවත්වාගෙන යන ගොවීන්ගේ ආර්ථිකය වෙනත් ගොවීන්ගේ ආර්ථික තත්ත්වයට වඩා ශක්තිමත් තත්ත්වයක තිබුණි. විදුලිය නැති ප්‍රදේශවල ගොවීන්ගේ නිවෙස්වල ජෙනරේටර් තිබුණි. තේ වගා කරන හැම නිවසකම පාහේ කුමන ආකාරයේ හෝ වාහනයක් තිබුණි. මේ වන විට කුඩා තේ වතු ගොවීන් ඇද වැටී සිටින අසරණ තත්ත්වය හිතා ගන්නටවත් බැරි තරම්ය.

ගාල්ලේ සිට බද්දේගම දක්වා දුර කිලෝමීටර් 19කි. කීඹියේසිට බද්දේගම දක්වා තිබුණු තේ කර්මාන්තශාලා ගණන හතකි. ඉන් කර්මාන්තශාලා හයක්ම මේ වනවිට වසා දමා ඇති අතර ඉතිරි වී තිබෙන එකම කර්මාන්තශාලාවද පවත්වාගෙන යමින් තිබෙන්නේද අමාරුවෙන් ගැට ගසා ගෙන යන තත්ත්වයකය.

තේවලට ලැබෙන මිලෙහි ඇතිවී තිබෙන කඩා බිඳ වැටීම, තේ කර්මාන්තශාලා සඳහා පවත්වාගෙන යන ආර්ථික සේවා බද්ද දෙගුණ කිරීමේ ක්‍රියාමාර්ගය ඇති කර තිබෙන පීඩනය, බැංකු ණය සඳහා අය කරන පොලී අනුපාතිකය දෙගුණ කිරීම, කම්කරු හිඟය, ග්ලයිෆොසෙට් තහනම, තේ ප්‍රති අපනයන ප්‍රතිපත්තිය වැනි හේතු සුළු තේ වත හිමියන්ගේ පැවැත්ම සේ ම සුළු තේ වතු ආශ්‍රයෙන් පවත්වාගෙන යන තේ කර්මාන්තශාලාවල පැවැත්මද මුළුමනින් කඩා බිඳ දමන තත්ත්වයක් ඇති කිරීමට හේතුවී තිබේ.

කුරුඳු හා ගම්මිරිස් ගොවීන්ගේ තත්ත්වයද ඊට සමානය. ප්‍රති අපනයන ප්‍රතිපත්තිය යටතේ බාල වර්ගයේ කුරුඳු හා ගම්මිරිස් ආනයනය කොට ලංකාවේ කුරුඳු හා ගම්මිරිස් සමග කවලම් කොට අපනයනය කිරීම නිසා කුරුඳු හා ගම්මිරිස්වලට ලැබෙන මිලෙහි ලොකු බිඳ වැටීමක් ඇතිවී තිබෙන අතර එම තත්ත්වය කුරුඳු හා ගම්මිරිස් ගොවීන්ගේ ජීවිත කාලකණ්ණි කිරීමට හේතුවී තිබේ. ලංකාවේ රබර් වගාව දැන් තිබෙන්නේද මුළුමනින් අත්හැරිය යුතු තත්ත්වයකය. ලංකාවේ රබර් භාණ්ඩ නිපදවන කර්මාන්තශාලා දැන් ලංකාවේ රබර් මිලදී ගන්නේ නැත. ඒ ලංකාවේ රබර්වලට වඩා අපනයනය කරන රබර් මිල අඩු නිසාය.

අයාලේ යන ගමන

වී ගොවිතැන තිබෙන්නේද ලොකු අර්බුදයකට ගිය තත්ත්වයකය. වී ගොවිතැන ලංකාවේ ප්‍රධාන භෝග වගාව ලෙස ක්‍රියාත්මක වුවත් වී ගොවිතැනින් ඉපැයිය හැකි ආදායම තිබෙන්නේ වෙනත් ඕනෑම භෝග වගාවකින් ඉපැයිය හැකි ආදායම්වලට වඩා පහත් තත්ත්වයකය. ගොවියා වාසනාවන්ත වෙතොත් අක්කරයකින් උපයා ගත හැකි උපරිම ආදායම කන්නයක් සඳහා රුපියල් 40,000කි. ශ්‍රම හිඟය වී ගොවිතැනටද මුහුණ දෙන්නට සිදුවී තිබෙන ලොකු ප්‍රශ්නයක් වන අතර අස්වැන්න නෙළා ගන්නා කාලවලට ඉන්දියානු සංක්‍රමණික කම්කරුවන් යොදා ගැනීමක්ද සිදුවේ. තෙත් කලාපයේ බොහෝ කුඹුරු ඉඩම් වගා කිරීමෙන් වැළකී සිටින තත්ත්වයකට පත්ව තිබෙන අතර කුඹුරු ඉඩම්වල පහත් බිම් ස්වභාවයට හානියක් නොවන ලෙස වගා නොකරන කුඹුරු ඉඩම් වෙනත් වගාවන් සඳහා යොදා ගැනීමේ හැකියාවක් ඇතත්, කුඹුරු ඉඩම් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන දැඩි නීති නිසා තෙත් කලාපයේ තිබෙන වගා නොකරන අක්කර ලක්ෂ ගණනක් කුඹුරු ඉඩම් කිසිදු ආර්ථික ඵල ප්‍රයෝජනයක් නොලබන ඉඩම් බවට පත් කිරීමට හේතුවී තිබේ. දැන් දශක කිහිපයක් තිස්සේ කෘෂිකර්මයට හානි කරන වන සතුන්ගේ ගහණය පාලනය කිරීමකින් තොරව වර්ධනයවීමට ඉඩදී බලා සිටින ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම නිසා කෘෂිකර්මයට හානි කරන වන සතුන්ගේ ගහණයේ අතිවිශාල වර්ධනයක් ඇතිවී තිබෙනවා පමණක් නොව, උන් කෘෂිකර්මයට කරන හානියද අතිවිශාල ප්‍රමාණයකට වර්ධනය වී තිබෙන්නේ යැයිද කිව හැකිය. ආණ්ඩුවේ ඇස්තමේන්තු අනුව වන සතුන් සිදුකරන හානියේ ප්‍රමාණය සමස්ත නිෂ්පාදනයෙන් සියයට 30ක් තරම් විශාලය. සාමාන්‍යයෙන් රටක වන සතුන්ගෙන් සිදුවන හානිය තිබිය යුත්තේ සියයට 10කටත් වඩා අඩු මට්ටමකය. එම තත්ත්වය ජාතික ආර්ථිකය කෙරෙහි ලොකු හානියක් ඇති කරනවාට අතිරේකව ගොවීන් උපයන ආදායම් පහත දැමීමට ද හේතුවී තිබේ.

ග්‍රාමීය කාන්තාවන්ට ඇප නැතිව ණය ලබාදීම සඳහා (මයික්‍රෝ) ක්ෂුද්‍ර මූල්‍ය ආයතන පවත්වාගෙන යන ණය වැඩසටහන් එළිපිට කරගෙන යන දැවැන්ත කොල්ලයක් ලෙස සැලකිය හැකිය. ලබා ගත් ණය සඳහා ගෙවිය යුතු පොලිය හා වාරිකය ගෙවා ගත නොහැකිව සිය දිවි හානි කරගෙන තිබෙන කාන්තාවන්ගේ ගණන 150කටත් වඩා වැඩි බව වාර්තා වේ. අධික ලෙස අරක්කු හා සිගරට් මිල ඉහළ දැමීම නිසා කසිප්පුවලට හා බීඩිවලට යොමුවී සිටින ග්‍රාමීය ජනතාවගේ ප්‍රමාණය අතිවිශාලය. එක උවදුරක් නැති කරන්නට ගොස් වඩා විශාල උවදුරක් ඇති කර තිබෙන බව පෙනේ.

ඉඩම් කොල්ලය

ග්‍රාමීය සමාජයේ දක්නට තිබෙන මෙම අවාසනාවන්ත හා ඛේදජනක තත්ත්වය රාජ්‍යයේ ඇතිවී තිබෙන ගරා හැලීම හා කුණුවීම නිසා ඇතිවී තිබෙන තත්ත්වයක් ලෙසද සැලකිය හැකිය. පසුගිය දශක කිහිපය තුළ රටේ බොහෝ කටයුතු සිදුවූයේ රජයේ නිසි මගපෙන්වීමකින් හෝ පාලනයකින් තොරවය. එය අසමත් රාජ්‍යයකට ආවේණික ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය.

වාණිජ වතු වගාව බි්‍රතාන්‍යන්ගෙන් ලැබුණු දායාදයක් ලෙස සැලකීය. බි්‍රතාන්‍ය යුගයේ සිට 1970 සිරිමා බණ්ඩාරනායක සභාග ආණ්ඩුව තේ වතු රජයට පවරා ගන්නා තෙක්ම ලංකාව සැලකුණේ ලෝකයේ හොඳම තේ නිපදවන රට වශයෙනි. තේ ඇතුළු වාණිජ වතු වගාව රටට විදේශ විනිමය උපයා දෙන ප්‍රධාන මාර්ගය ලෙසද ක්‍රියා කළේය.

විදේශ සමාගම් සතු වතු හා ඉඩම් සීමා නීතිය යටතට වැටෙන වතු රජයට පවරා ගැනීමත් සමග වාණිජ මහා පරිහානිය ආරම්භ වී යයි කිව හැකිය. මේ දෙයාකාරයෙන් රජයට පවරා ගන්නා ලද ඉඩම් ප්‍රමාණය අක්කර මිලියනයකට වඩා වැඩිවිය. පවරා ගන්නා ලද එම විශාල වතු ප්‍රමාණය සාර්ථක ලෙස කළමනාකරණයක් සඳහා අවශ්‍ය වැඩපිළිවෙළක් රජයට නොතිබුණි. පළමු අදියරයේදී එම වතු අනියම් ලෙස පාලනය කරන්නන් බවට පත්වූයේ වතු කළමනාකරණය ගැන මලපොතේ අකුරක්වත් නොදන්නා ආණ්ඩු පක්ෂයේ දේශපාලකයන්ය. 1977න් පසු ආණ්ඩුවට පවරා ගන්නා ලද එම ඉඩම් සංචිතයේ හොඳම වතු ඉඩම්වලින් කිසියම් විශාල පංගුවක් ආණ්ඩු පක්ෂයේ දේශපාලනඥයන්ද දේශපාලන ගජ මිතුරන්ද ඉතා අඩු මිලකට මිලදී ගනිමින් ඒ සියලු දෙනා වතු හිමියන් හා වැවිලිකරුවන් බවට පත්වූහ. එහිදී සිදුවූ ඉඩම් කොල්ලය බි්‍රතාන්‍ය පාලන යුගයේදදී වතු වගාවන් ආරම්භයේදී සිදුවූ ඉඩම් කොල්ලය තරමට විශාල ඉඩම් කොල්ලයක් යැයි කිව හැකිය.

එම කොල්ලයෙන් පසුව ඉතිරි වූ වතු ඉඩම් විශාල ප්‍රමාණයක් ජනාධිපති රණසිංහ ප්‍රේමදාස පාලන කාලයේදී පුද්ගලික වතු සමාගම්වලට පවරා දෙන ලදි. එසේ වතු හිමි කරගත් නව සමාගම් වතුවල බාහිර පෙනුම අලංකාර කිරීමට සමත් වුවද නිෂ්පාදිකයන්ගේ ගුණාත්මක අගය ආරක්ෂා කරගැනීමට සමත් වූයේ නැත. එහි ප්‍රතිඵලයක් වශයෙන් තේවලට ලෝක වෙළෙඳපොළ මට්ටමෙන් තිබෙන පිළිගැනීමේ බිඳ වැටීමක් ඇතිවූ අතර පසුකලක අධික ලාභ ලැබීමේ අරමුණින් තේවලට සීනි කවලම් කිරීම නිසා දැන් ලංකාවේ තේවලට තිබෙන පිළිගැනීම උපරිම තත්ත්වයකට පහත වැටී තිබෙන්නේය. අපනයන නිෂ්පාදනයන්ගේ ගුණාත්මක අගය ආරක්ෂා කිරීමේ අවසාන වගකීම පැවරී තිබෙන්නේ රාජ්‍යයටය. රාජ්‍යයට වැවිලි කටයුතු සඳහා විශේෂ අමාත්‍යාංශයක්ද, විෂය භාර ඇමතිවරයෙකුද දැවැන්ත නිලධරතන්ත්‍රයක්ද තිබෙන්නේය. සියලුදෙනා නඩත්තු කිරීම සඳහා විශාල මහජන වියදමක්ද දරන්නේය. ඒ සියල්ල එසේ තිබියදී වාණිජ වතු වගා විෂයෙහි ලංකාව හිමිකරගෙන තිබෙන ප්‍රතිඵලය අසාර්ථක ප්‍රතිඵලයක් නම් ඉන් පෙනෙන්නේ ලංකාවේ රාජ්‍ය අසමත් තත්ත්වයකට පත්ව තිබෙන බව නොවේද?

අසමත් රාජ්‍යය

ලංකා රාජ්‍යයේ ඇතිවී තිබෙන මෙම අසමත්භාවය ග්‍රාමීය කෘෂිකර්මයේ හා ජන ජීවිතයේ ඇතිවී තිබෙන බිඳ වැටීම ආශ්‍රයෙන් තේරුම් කළ හැකිය. ප්‍රති අපනයන බලපත්‍ර නිකුත් කිරීමේදී ඒ සඳහා ආනයනය කෙරෙන දේවල් හා ඒ දේවල් සමග මිශ්‍ර කොට අපනයනය සඳහා නිපදවන දේවල් පිළිබඳව හා ඒවා ලංකාව කෙරෙහි ඇති කරන බලපෑමේ හොඳ නරක ගැන කිසිදු සාධාරණ සොයා බැලීමකින් තොරව ලංකාව ප්‍රති අපනයනය බලපත්‍ර නිකුත් කරන ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් තිබෙන බව පැහැදිලිව දැකිය හැකිය. ලංකාවේ කසළ ප්‍රශ්නය විසඳාගත නොහැකි පුපුරනසුලු ප්‍රශ්නයක් බවට පත්ව තිබියදී කසළ ප්‍රති අපනයනය සඳහා පවා ප්‍රතිඅපනයන බලපත්‍ර නිකුත් කරන ප්‍රතිපත්තියක් අනුගමනය කර තිබෙන බව ධම්මික පෙරේරා සිද්ධිය ආශ්‍රයෙන් ද තේරුම් ගත හැකිය. ඒවා ප්‍රති අපනයනය කිරීමේ අරමුණින් නොව ඒ අරමුණට මුවාවී ආනයනය කෙරෙන කුණු සටකපට ලෙස ලංකාවේ කුණුවලට එකතු කොට මුදල් උපයා ගැනීමේ අරමුණින් කරන ලද්දක් බව තේරුම් ගැනීම අමාරු නැත. එය ඉතා බිහිසුණු හා රට කෙරෙහි අතිවිශාල හානියක් ඇති කරන ක්‍රියාවක් වුවත් ඒ වරද නිවැරදි කිරීම සඳහා රජය දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කර තිබෙන බවක් ද පෙනෙන්නට නැත. ඉන්ද පෙන්නුම් කරන්නේ රජය අසමත් රාජ්‍යයක තත්ත්වයකට පත්ව තිබෙන පරිමාවය. කුරුඳු හා ගම්මිරිස් සම්බන්ධයෙන් අනුගමනය කර තිබෙන ප්‍රති අපනයන ප්‍රතිපත්තියෙන් පෙන්නුම් කරන්නේද එයයි.

ලෝකයේ හොඳම කුරුඳු තිබෙන රට ලෙස සැලකිය හැක්කේ ලංකාවය. ස්වභාව ධර්මය විසින් ලංකාවේ කුරුඳුවලට ලබාදී තිබෙන එම විශේෂ තත්ත්වයවත් නිසි ලෙස ප්‍රයෝජනයට ගෙන කුරුඳුවලින් උපයාගත හැකි ආදායම් උපරිම කරගැනීමට ලංකාව අසමත් වී තිබෙනවා පමණක් නොව, ලංකාවේ කුරුඳුවලට තිබෙන විශේෂ පිළිගැනීම අහිමි කිරීමටද කුරුඳු සම්බන්ධයෙන් ලංකා රාජ්‍යය පවත්වාගෙන යන අමන ප්‍රතිපත්ති නිසා හේතුවී තිබෙන්නේ යැයි කිව හැකිය. ගම්මිරිස් සම්බන්ධයෙන් කිව හැක්කේද එයමය.

ලංකාව කෘෂිකර්මයට හානි කරන වන සතුන් සම්බන්ධයෙන් දැන් දීර්ඝ කාලයක් තිස්සේ අනුගමනය කරමින් තිබෙන මෝඩ ප්‍රතිපත්තිය හා ඒ මගින් කෘෂිකර්මයට සිදුවී තිබෙන අතිවිශාල හානිය ආශ්‍රයෙන්ද පැමිණිය හැකි නිගමනය වනුයේ එය ලංකා රාජ්‍යයේ අසමත්කම සනාථ කිරීම සඳහා දැක්විය හැකි නිදර්ශනය සිය ගණනක් අතුරින් දැක්විය හැකි තවත් නිදර්ශනයක් පමණක් බවය.

ග්ලයිෆොසෙට් සම්බන්ධයෙන් අනුගමනය කළ අන්තවාදී හා හිතුවක්කාරී ප්‍රතිපත්තියෙන් පෙන්නුම් කෙරෙන්නේද එයයි. ආණ්ඩුව ග්ලයිෆොසෙට් තහනම් කළේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂි විද්‍යාඥයන්ගේ ඉල්ලීමක් අනුව නොව පරිසරවේදීන් ලෙස පෙනී සිටි ආණ්ඩුවට සම්බන්ධ දේශපාලන කණ්ඩායමකගේ ඉල්ලීමක් අනුවය. එම තහනම වාණිජ වතු වගාව කෙරෙහි විනාශකාරී ලෙස බලපෑවේය. වී වගාවෙන් උපයාගත හැකි ආදායම අවම මට්ටමක තිබියදී හා මුළු රටටම අවශ්‍ය සහල් වියළි කලාපයෙන් නිපදවා ගැනීමට පුළුවන්කම තිබියදී ඒ සියල්ල නොසලකා වීවලට ප්‍රමුඛ වැදගත්කමක් ලබාදීමෙන්ද පෙන්නුම් කර ඇත්තේ රාජ්‍යයේ අසමත්භාවයේ තරමය.

අධ්‍යාපනය

අධ්‍යාපනය රටේ වර්තමානය කෙරෙහි පමණක් නොව, අනාගතය කෙරෙහි ද බලපාන වැදගත්ම සාධකය ලෙස සැලකිය හැකිය. ලංකාවේ සමස්ත අධ්‍යාපන ක්‍රමය තිබෙන්නේ අවුල් ජාලයකය. අප මෙහිදී සලකා බලනුයේ සමස්ත අධ්‍යාපන ක්‍රමය ගැන නොව පාසල් ක්‍රමය ගැන පමණය. පාසල් ක්‍රමය මේ වන විට ස්ථාපිත වී තිබෙන්නේ ඇති හැකි අයට සුපිරි ගණයේ පාසල් ක්‍රමයක්ද, නැති බැරි අයට කසිකබල් පාසල් ක්‍රමයක්ද ලබාදෙන ආකාරයටය. පාසල් ක්‍රමයේ ඇති මේ විෂමතාව සමස්ත අධ්‍යාපන ක්‍රමයම දූෂ්‍ය කිරීමට හේතුවී තිබේ. සියලුම දියුණු රටවල් පාසල් වර්ග කොට තිබෙනුයේ පෙර පාසල්, ප්‍රාථමික පාසල්, ජ්‍යෙෂ්ඨ පාසල් හෝ ද්විතීයික පාසල් හා කනිෂ්ඨ ද්විතීයික පාසල් වශයෙනි.

සියලුම පාසල්වල තත්ත්වය එක සමාන වන අතර ප්‍රාථමික පාසලක් තෝරා ගැනීමේදී අයදුම් කළහැක්කේ නිවසට ළඟම ප්‍රාථමික පාසලටය. මේ සරල ක්‍රමය සියලුම ප්‍රාථමික පාසල්වලට එක සමාන වටිනාකමක් ලබාදෙන අතර පාසල්වලට ළමුන් ඇතුළත් කර ගැනීමේදී ලොකු තරගයක් ඇතිවීම සේ ම පාසලක් ලබාගැනීම සඳහා අල්ලස් දෙන ක්‍රමයක් ඇතිවීමද වළකයි. මේ සරල ක්‍රමය පාසල්වලට සම්පත් බෙදා හැරීම පහසු කරන අතර පාසල් කළමනාකරණයද පහසු කරයි. පාසල් ක්‍රමය තුළ පන්ති භේදයක් ඇතිවීමද වළකයි. සියලුම ළමුන්ට ලැබෙන්නේ නිවසට කිට්ටුවෙන්ම තිබෙන ප්‍රාථමික පාසල වන නිසා ගමනාගමනය සඳහා යන වියදම අහෝසි කොට මහා මාර්ගවල ප්‍රවාහන තදබදයද නැති කරයි.

දැන් තිබෙන අවුල්සහගත පාසල් ක්‍රමය වෙනුවට එම සරල ක්‍රමය ඇති කිරීමේ අවශ්‍යතාව තරුණ අසහන කොමිසමෙන්ද, ජාතික අධ්‍යාපන කොමිසමෙන්ද දිගින් දිගට පෙන්වා දී ඇතත් රට පාලනය කරන නායකයන්ද උසස් රාජ්‍ය නිලධාරීන්ද පවතින දූෂිත ක්‍රමය වෙනස් කිරීමට ඉඩ දෙන්නේ නැත. එයද ලංකා රාජ්‍යයේ අසමත්භාවය පෙන්නුම් කිරීම සඳහා දැක්විය හැකි තවත් නිදර්ශනයකි.

අසමත්කම ජයගැනීම

විධායක බලයක් නැති අලුත් ජනාධිපතිවරයකු පත්කර ගැනීමෙන් හෝ පාර්ලිමේන්තු මැතිවරණයකින් අලුත් ආණ්ඩුවක් පත්කර ගැනීමෙන් හෝ ලංකාවේ රාජ්‍යයට ආවේණික අසමත්කම ජයගත නොහැකිය. රාජ්‍යයට ආවේණික මෙම අසමත්කම ජය නොගන්නා තාක් රටේ පවතින කාලකණ්ණිකමද තවදුරටත් මෙසේම පවතිනු ඇත.

ලංකාවේ අපට තිබෙන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අසමත් රාජ්‍යයකි. දූෂණයෙන් කුණුවූ, හොඳ සිහිය හා ක්‍රියාකාරී ශක්තිය අහිමි කරගත් රාජ්‍යයකි. රටේ පවතින අවලස්සන, කාලකණ්ණි තත්තවයෙහි වෙනසක් අවශ්‍ය නම් තිබෙන අසමත් රාජ්‍ය සමත් රාජ්‍යයක් බවට ප්‍රතිනිර්මාණය කරගත යුතුය. ඒ සඳහා අවශ්‍ය ව්‍යුහමය ප්‍රතිසංස්කරණවලට යා යුතුය. ජාතියේ ප්‍රධාන හා පූර්ණ අවධානය එම තීරණාත්මක හා නිශ්චිත ප්‍රශ්නය වෙත යොමු කළ යුතුය. රාජ්‍ය හා සමාජය ප්‍රතිනිර්මාණය කරගැනීමට හේතුවන ප්‍රතිසංස්කරණ හා ව්‍යවස්ථා සම්පාදන වැඩපිළිවෙළක් දූෂණයෙන් කුණුවී තිබෙන හා හොඳ සිහිය අහිමි කරගෙන තිබෙන පාර්ලිමේන්තුවෙන් බලාපොරොත්තු විය නොහැකිය. ලංකාවේ සන්දර්භය අනුව ඒ සඳහා යොදාගත හැකි හොඳම හා එක ම ක්‍රමය වනුයේ ව්‍යුහමය ප්‍රතිසංස්කරණ ඉලක්ක කරගත් මහජන ව්‍යවස්ථා සම්පාදන වැඩපිළිවෙළකට රට යොමු කිරීමය.

 

Advertiesment