Thursday 13th of May 2021

English Tamil
Advertiesment


මැතිවරණ කොමිසම Facebook මෙහෙයුමකට සැරසෙයි..!


2019-09-27 1894

සමාජ මාධ්‍ය භාවිතය වර්තමානයේ වැදගත් වනුයේ ඒ වටා යොමුවන පරිශීලකයින් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යන නිසාවෙනි.ඉකුත් ජනාධිපතිවරණයේ ප්‍රතිඵල වෙනුවෙන් සමාජ මාධ්‍ය සැලකිය යුතු දායකත්වයක් ලබා දුන් බව දේශපාලන විචාරකයින්ගේ ද අදහස වූ අතර ඉදිරි ජනාධිපතිවරණයේදී ද ඒ හා සමාන උද්යෝගයක් සමාජ මාධ්‍ය පරිශීලකයින් කෙරෙන් දිස්වේ.කෙසේ වෙතත් අද වන විට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන අසත්‍ය තොරතුරු සමාජගත වීම පාලනය කිරීම එම වේදිකා නිර්මාණය කරන සමාගම් පවා මුහුණ දෙන ප්‍රධාන ගැටලුවකි.

Facebook සමාගම ඉකුත් ඉන්දියානු මහා මැතිවරණයේදී අසත්‍ය තොරතුරු හුවමාරු කරන සහ අනන්‍යතාව පැහැදිලි නොවන ගිණුම් මිලියන ගණනක් අත්හිටුවීමට තීරණය කළේ එය මැතිවරණයට යම් බලපෑමක් කළහැකි බවට ලැබුණු විවිධ පැමිණිලි සම්බන්ධයෙන් කළ අධ්‍යනයකින් පසුවය.මෙවැනි පසුබිමක එළැඹෙන ජනාධිපතිවරනයේදී ශ්‍රී ලාංකික සමාජ මාධ්‍ය පරිශීලකයින් අතර හුවමාරු වන අසත්‍ය ප්‍රවෘත්ති, වෛරී ප්‍රකාශ සහ මඩ ප්‍රචාර පාලනය කිරීමේ වැදගත් කම මැතිවරණ කොමිසම පෙන්වා දෙයි.ඒ අනුව සමාජ මාධ්‍ය වේදිකා භාවිත කරමින් එලෙස හැසිරෙන, තහවුරු කළ නොහැකි ගිණුම් යාවත්කාලීන වීම පාලනය කිරීම සඳහා මැතිවරණ කොමිසම Facebook සමාගමේ සහය ඉල්ලා තිබේ.

 

මහින්ද දේශප්‍රිය , සභාපති - මැතිවරණ කොමිසම

 

"සමාජ මාධ්‍ය මෙන්ම පෞද්ගලික මාධ්‍ය පාලනය කරන එක අද මිත්‍යාවක්. ඒ නිසා අතර මැද තැනකට එන්න අපි කතිකාවක් කර ගෙන යනවා. Facebook ආයතනයත් අපත් සමග එකතුවෙනවා මේ වැඩේට.ඒ සඳහා ප්‍රතිචාර පළ කර ඇති Facebook සමාගම විසින් විශේෂ කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ මැතිවරණ කොමිසමේ සහයට යොදවනු ලැබ තිබෙනවා" යැයි එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කළේය.

Facebook සමාගමේ දකුණු ආසියානු කලාපය භාර නිලධාරීන් මෙන්ම දේශපාලන පක්ෂ නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් දැනටමත් ඒ වෙනුවෙන් සාකච්ඡා වට කිහිපයක් ද පවත්වා තිබෙන අතර ඉන්දියානු මහ මැතිවරණයේදී දැක්වූ මැදිහත්වීමට සමාන මැදිහත්වීමක් ශ්‍රී ලංකාව කෙරෙහි ද දක්වන බවට Facebook සමාගම තමන්ට සහතික වූ බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය බීබීසී සිංහල සේවය කළ විමසීමකදී පැහැදිළි කළේය.

"සමාජ මාධ්‍ය මෙන් ම පෞද්ගලික මාධ්‍ය පාලනය කරන එක අද මිථ්‍යාවක්. නමුත් ඡන්දය කියන්නේ ප්‍රකාශනයේ අයිතිය. නමුත් ඒ අයිතියට මුවා වෙලා ඡන්දය දීමේ අයිතියට කොපමණ බලපෑමක් අද වෙනවද? ඒ නිසා ඒ දෙක අතර මැද තැනකට එන්න අපි කතිකාවක් කරගෙන යනවා. Facebook ආයතනයත් අපත් සමග එකතුවෙනවා මේ වැඩේට"

සමාජ මාධ්‍ය ගැන පැමිණිලි කරන්න

 නව ක්‍රමය යටතේ යම් පක්ෂයක් හෝ ස්වාධීනව තරග කරන පුද්ගලයෙකුට තවත් පාර්ශවයක් සමාජ මාධ්‍ය භාවිත කරමින් එල්ල කරන චෝදනාවක් හෝ මඩ ගැසීමක් පිළිබඳව මැතිවරණ කොමිසමට පැමිණිලි කළ හැක.එහිදී එම පැමිණිල්ල සලකා බැලෙනුයේ සභාපතිවරයා පෙර සඳහන් කළ කමිටුව මගිනි.එම කමිටුවේ නියෝජිතයින්ගේ තීරණය Facebook ආයතනයට දැනුවත් කිරීමෙන් පසු ඒ ගිණුම් සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සිදුවේ.මේ සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබේ.Facebook සමාගමේ දකුණු ආසියානු කළාපය භාර නිලධාරීන් ද ඒ සඳහා එක්ව ඇත. එහිදී Facebook සමගම සමග නියාමන කටයුතු සඳහා සහය වීමට, කොමිසමේ අනුදැනුම මත පිහිටුවන දේශීය කණ්ඩායමක් කෙරෙහි Facebook සමාගමේ අවධානය යොමුව තිබේ.

" ඒ අනුව අපි මැතිවරණ ආරවුල් කළමනාකරණ ආයතනය, ඒ වගේම ජනමාධ්‍ය ආයතනවලට සම්බන්ධ නියෝජිතයින්, ජනමාධ්‍ය පරිශීලකයින් මෙන්ම Facebook පිටු පවත්වාගෙන යන පරිපාලකයින් (page admin) ගෙන් සැදුම් ලත් කණ්ඩායමක් ඒ අනුව අපි බිහි කරනවා. මේ වැඩේට නිරීක්ෂණ කණ්ඩායම් වලත් සහය ලැබෙනවා." මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය එළෙස පිහිටුවාගන්නා කණ්ඩායම පිළිබඳව අදහස් දැක්වීය.මේ වැඩපිළිවල සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ ද දැනුවත් කිරීමට කොමිසම කටයුතු කර තිබේ.

දේශපාලන පක්ෂ ප්‍රතිචාරය

මෙතෙක් පාලනය කිරීමට නොහැකිව හෝ අපහසු බව පැවසූ සමාජ මාධ්‍ය ජනාධිපතිවරණය පවතින කල සීමාවේ හෝ යම් ආකාරයකින් නිරීක්ෂණයකට ලක් කිරීම, මැතිවරණ කොමිසම ගත් නිවැරදි තීරණයක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජ මාධ්‍ය පිළිබඳ වගකීමක් දරන නම හෙළි කිරීමට අකමැති පුද්ගලයෙක්  පැවසීය.

"අපිට මේ වැඩමුළුවේදී Facebook සමගම අවධාරණය කළා ඇමරිකානු සහ ඉන්දියානු ඡන්ද විමසීම් වලදී ඒ ඒ රටවල සමාජ මාධ්‍ය පරිශීලකයින් ආරක්ෂා කරගත් අයුරු. අපිට විශ්වාසයක් තිබෙනවා මේ ගැන. නමුත් මේ දේ ක්‍රියාවට නංවන විට විවිධ චෝදනා එන්න පුළුවන්. නමුත් අවබෝධ කරගන්න අවශ්‍යයි මේ සමාජ මාධ්‍ය භාවිතයේ අනිටු විපාක හැම පක්ෂයකටම පොදුයි කියන කරණය. වඩා වැදගත් වන්නේ මේ සඳහා සහය දීම මිස අලුත් යෝජනාවක් ගෙනාවම ඒක හෙළා දකින දේ නෙවෙයි." එම නියෝජිතයා පෙන්වා දුන්නේය.

එක්සත් ජාතික පක්ෂයේ සිරිකොත පක්ෂ මුලස්ථානයේ සමාජ මාධ්‍ය කටයුතු සම්බන්ධයෙන් ප්‍රධානත්වය දරන පුලස්ති වන්නිආරච්චි මේ සම්බන්ධයෙන් පළ කරනුයේ මෙවන් අදහසකි.

"වගකිවයුතු පක්ෂයක් විදිහට අපි තවත් පක්ෂයකට හෝ අපේක්ෂකයකුට සමාජ මාධ්‍ය භාවිත කරලා හිංසා කරන්නේ නෑ. නමුත් අපිත් නොදැන අපේ පක්ෂයේ නම සහ සලකුණ භාවිත කරමින් වෙනත් පුද්ගලයින් යම් යම් දේ කරන්න පුළුවන්. දැන් මේ වගේ දේකදී යම් නියාමනයකට අපේ කැමැත්ත තිබෙනවා"

මෑතක සිට පක්ෂයේ ලාංඡනය භාවිත කරමින් එලෙස අසත්‍ය තොරතුරු සමජගත කරන Facebook පිටුවක් සම්බන්ධයෙන් ද ඔහු උදාහරණ දක්වයි.

"දැන් දවස් 51ක සිට සිරිකොත මන්දිරය කියලා අපේ ලකුණ සහ වර්ණ යොදාගනිමින් අසත්‍ය Facebook පිටුවක් පවතිනවා. මේ සම්බන්ධයෙන් අපි පක්ෂයේ සභාපතිවරයාගේ අත්සනින් යුක්තව ලිපියක් යොමුකළා Facebook ආයතනයට. ඔවුන් අපිට ප්‍රතිචාර දක්වමින් පැවසුවේ අපේ ලකුණ ලියාපදිංචි කර ඇති බවට තහවුරු කරන්න කියන කරණය. අපි එයත් සිදු කළා. නමුත් තවමත් එය අවහිර කිරීම සිදුව නැහැ. දැන් මැතිවරණ කොමිසමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මේ වගේ අවස්ථාවක කඩිනම් සම්බන්ධීකරණයක්. නැතිනම් මොන විදිහේ කණ්ඩායමක් මේවා අධීක්ෂණය කළත් වැඩක් නැහැ." පුලස්ති වන්නිආරච්චි තහවුරු කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ සම්බන්ධයෙන් පළකළේ මෙවන් අදහසකි.

"අපේ මූලික අවධානය යොමුවන්නේ මේ පැමිණිලි භාරගැනීම වෙනුවෙන් මැතිවරණ කොමිසම තෝරාගන්නා කණ්ඩායමේ පදනම. ඔවුන් කෙතරම් දුරකට ස්වාධීනව මේ කාර්යයේ නිරතවයිද කියන දේ. මේ ගැන පැහැදිළි කිරීමක් අවශ්‍යයි මැතිවරණ කොමිසමෙන්. අපි විධිමත්ව කරගෙන යන ඡන්ද ව්‍යාපාරයට හානියක් වන අයුරින් යම් අනවශ්‍ය සමාජ මාධ්‍ය පාලනයක් කිරීමට මෙතුළින් උත්සාහ නොකරන බවට සහතිකයක් අවශ්‍යයි අපිට" ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමාජ මාධ්‍ය සම්බන්ධව කටයුතු කරන සංජීව එදිරිමාන්න පැවසීය.

ජනතා විමුක්ති පෙරමුණ ද මැතිවරණ කොමිසමේ මෙහෙයවීමෙන් පැවති වැඩමුළු සඳහා සහභාගී වී ඇත. එම පෙරමුණ පවසන්නේ Facebook ආයතනයේ මැදිහත්වීම වැදගත් නමුත් පැමිණිලි විභාග කිරීමට ගන්නා කාලය පිළිබඳව ගැටළු පවතින බවය.

යම් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමේදී වහා ඊට සුදුසු නීතිමය පියවර ගැනීම Facebook සමාගමයට පමණක් පවරා දී නිහඬව සිටීමට නොහැකි යැයි ජනතා විමුක්ති පෙරමුණ පෙන්වා දෙයි.

"අපේ පක්ෂයේ නායකයාගේ Facebook ගිණුම වගේම තව ගිණුම් හදාගෙන අදටත් මඩ ප්‍රචාර දියත් කරනවා. අපි මේ වෙනකොට රහස් පොලිසියට පවා පැමිණිලි කර තිබෙනවා. අපේ පක්ෂයේ නිල පිටුව යනුවෙන් සඳහන් කරමින් Facebook පිටු කිහිපයක් තිබෙනවා. Facebook සමාගමට කරන්න පුළුවන් මේවා ඉවත් කරන එක විතරයි. නමුත් දඬුවම් කිරීමේ අයිතිය තිබෙන්නේ කොමිසමට. කොමිසම මුලින් ඒ සඳහා නීති සම්පාදනය කළ යුතුයි. තාක්ෂණික කරණා මෙන්ම ආයතනගත පාලනය කිරීම් වෙන්නේ ඊට පසුව." ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය සම්බන්ධීකාරක උපුල් රන්ජන් බීබීසී සිංහල සේවයට පැවසීය.

මැතිවරණ කොමිසමේ ප්‍රතිචාරය

මහින්ද දේශප්‍රිය - සභාපති - මැතිවරණ කොමිසම

"කොමිසමට අවශ්‍ය නෑ මේකෙන් ප්‍රකාශනයේ අයිතිය නැති කරන්න. යහපත් චේතනාවෙන් දෙයක් පටන්ගත්තාම එයටත් වැරදි අර්ථකතන ලැබෙනවා. දැන් ප්‍රචාරයක් යනවා මේ වෛරී ප්‍රකාශ සහ අසත්‍ය පුවත් පාලන සම්බන්ධයෙන් තීරණ ගැනීමට එක්තරා ආයතනයකට භාරදුන්න කියලා. එහෙම ආයතනයක් එක්ක කිසිම ගිවිසුමක් නෑ . එය අමූලික බොරුවක්. අපි මේ දෙය කරන්නේ යහපත උදෙසායි. එහෙම නැතිව කවුරුවත් යටපත් කරන්න නොවෙයි." මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

මේ අතර 1981 අංක 15 දරණ, ජනාධිපතිවරයා තෝරා පත්කරගැනීමේ පනතේ 83 වැනි වගන්ති ප්‍රකාරව ජනමාධ්‍ය සම්බන්ධ උපමාන නිකුත්කිරීමේ බලය කොමිසම සතුවේ.

නමුත් මේ වනතුරු එම නීති මුද්‍රිත මාධ්‍ය සඳහා පමණක් අදාළ වූ අතර කතෘවරයෙක් නොදැන කළ වරදක් බවට සනාථ නොවන අවස්ථාවක මැතිවරණයට අදාළ අසත්‍ය තොරතුරු ප්‍රචාරණයට දඬුවම් ලැබේ.මෙවර විද්‍යුත් මාධ්‍ය වෙනුවෙන් ද එම නීති බලපැවැත්වෙන බව කොමිසම තහවුරු කරයි.

facebook විශේෂ වැඩපිළිවලක්

Facebook සමගම සිය ආයතනය සම්බන්ධයෙන් නිළ පුවත් පළකරන පිටුවෙහි තම සමාගම වෛරී ප්‍රකාශ සහ අසත්‍ය පුවත් ප්‍රචාරණය පාලනය කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පැහැදිලි කර තිබේ. මේ වසරේ ජූනි 20 වැනිදා පළ කළ පුවතක දැක්වුණේ එවැනි සිදුවීම් බහුලව වාර්තා වන රටවල් වල දේශපාලනික, ඓතිහාසික, තාක්ෂණික සන්දර්භයන් කෙරෙහි සිය විශේෂ කණ්ඩායමක් අවධානයෙන් පසුවන බවය.

වෛරී ප්‍රකාශන ඉවත් කිරීම, අසත්‍ය තොරතුරු සන්නිවේදනය සීමා කිරීම මෙන්ම ඩිජිටල් තාක්ෂණික වැඩසටහන් හරහා ජනතාව දැනුවත් කිරීම ඔවුන් අවධානය යොමුකර ඇති කරුණු අතර වේ.මෙම ගැටළු විසඳීමේදී දේශීය කණ්ඩායම් ඔවුන්ගේ නිෂ්පාදන සහ වැඩසටහන් පිළිබඳව මිල කළ නොහැකි අවධානයක් ලබා දී ඇති අතර කිසියම් ප්‍රජාවක ඇති අභියෝග පිළිබඳව එම සංවිධාන හා ඒ සමග කටයුතු කරන විෂය ප්‍රවීනයින් සතුව තම සමාගමටත් වඩා වැඩි අවබෝධයක් පවතින බව Facebook සමගම පෙන්වා දෙයි .

2018 වසරේදී ලෙබනනය, කැමරූන්, මියන්මාරය සහ ශ්‍රී ලංකාව වැනි රටවල සංචාරය කිරීමට තම සමාගමට හැකිවූ බව එම සමගම වැඩිදුරටත් පෙන්වා දෙයි.එහිදී එම රටවල පීඩාවට පත් ප්‍රජාවන් සමඟ කතා කිරීමට සහ ඔවුන් ෆේස්බුක් භාවිතා කරන ආකාරය වඩා හොඳින් අවබෝධ කර ගැනීමට හැකිවූ බව සමගම පවසයි.

 

(BBC සිංහල සේවය)

 

Advertiesment