ආබාධිත සෙබළුන්ගේ වැටුප පිළිබඳව පවතින ඉල්ලීම් "මීට පෙර විසඳා තිබුණු ප්‍රශ්නයක්" බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කළේය.
ඔහු මෙම ප්‍රකාශය කළේ, කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට දැනට සතියකට ආසන්න කාලයක් උපවාසයේ නිරතව සිටින ආබාධිත හමුදා සෙබළුන් පිළිබඳව අදහස් දක්වමිනි.
"මාස 1 1/2 කට කලින් මාතරදී ඒ අය මම හම්බවුනා. ඒ අයට ඇහුම්කම් දුන්නම තේරුනා ඒ අයට සාධාරණ දුක්ගැනවිල්ලක් තියෙනවා කියලා. මොකද දැන් තියෙන ක්‍රමය යටතේ පූර්ණ අබාධිත අයට විතරයි තමන්ගේ පඩිය විශ්‍රාම ගියාට පස්සේ හම්බවෙන්නේ. නමුත් අනිත් අර්ධ ආබාධිත අයටත් විශේෂ උදව් ඕනේ, විශේෂ බෙහෙත් ඕනේ. ඒ නිසා අපි යෝජනා කළේ ඔවුන්ට විශ්‍රාම ගියාට පස්සේ විශ්‍රාම වැටුපට අමතරව පඩියෙන් 75%ක් ලබා දෙන්න." මුදල් අමාත්‍යවරයා පැවසීය.
එම යෝජනාව ආරක්ෂක අමාත්‍යංශයේ කැබිනට් යෝජනාවක් ලෙස මේ වන විට ඉදිරිපත්වී ඇති බව පැවසූ මුදල් අමාත්‍යවරයා එයට මුදල් අමාත්‍යංශය සාධනීය පිළිතුරක් ලබාදෙන බවද කියා සිටියේය.
"මම ඔවුන් හම්බවෙන්නේ නැහැ"
"මම කවදාවත් පාරට බැස්සොත් කතා කරන්නේ නැහැ. මේවා පාරට බහින්නේ නැතුව විසඳගන්න පුළුවන් ප්‍රශ්න. මේක විසඳලා තිබුණු ප්‍රශ්නයක්. මේකේ ඇත්ත කතාව තමයි එක්තරා දේශපාලන කණ්ඩායමකට ආරංචි වුනා ආණ්ඩුව මේකට ඉතා යහපත් ප්‍රතිචාරයක් දක්වනවා කියලා ඒ නිසා ඒකට ඉස්සෙල්ලා පාරට බැහැලා කියන්න හදනවා ඔන්න ඕක අපි තමයි අරන් දුන්නේ කියලා. මම ඔවුන් හම්බවෙන්නේ නැහැ. හැබැයි ඒ අයගේ ඉල්ලීම අපි පොරොන්දුවුණු විදිහට ඉටුකරනවා." විරෝධතාවය ගැන අදහස් දක්වමින් ඔහු පැවසීය.
රාජකාරියේ දී සිටියදී ආබාධිත වු හා මියගිය ත්‍රිවිධ හමුදා හා පොලිසියේ සාමාජිකයන් සඳහා වයස අවුරුදු 55 වන තෙක් ගෙවන ලද වැටුප් හා දීමනා, මිය ගිය සාමාජිකයාගේ යැපෙන්නන් ජීවත්ව සිටින තෙක් සහ ආබාධිත සාමාජිකයා ජීවත්ව සිටින තෙක්ම ලබා දෙන ලෙස ඉල්ලා මෙම විරෝධතාවය පැවැත්වෙයි.
මේ අතරතුර අදහස් දක්වමින්, 'අතුරුදන් වූ රණවිරුවන්ගේ මාපිය සංවිධානයේ' සභාපතිනි විශාකා ධර්මදාස කියා සිටියේ "දේශපාලන වාසි උදෙසා රණවිරුවන් භාවිතා කිරීමට" උත්සාහ කරන දේශපාලකයන් දැඩිව හෙළා දකින බවය.
"මේ මිනිස්සු රට වෙනුවෙන් තමන්ගේ අත පය නැතිකර ගත්ත අය. ඒ මිනිස්සු ඊට පස්සේ හොඳ ජිවිතයක් ගත කරන්න ඕනේ. ඒ නිසා මේ මිනිස්සු පාරට එන්න කලින් තිබුණා මේ ගැටළුව විසඳන්න." ඇය කියා සිටියාය.
වසර 55න් පසු විශ්‍රාම වැටුපක් හිමිවීම රටේ සාමාන්‍ය නීතිය වුවත් මෙම "සුවිශේෂී පිරිසට" ජිවිත කාලය දක්වාම වැටුප් සහ දීමනා ලබාදීමට කටයුතු කළ යුතු බව ඇය සඳහන් කළාය.
"රණවිරුවන් වෙනුවෙන් මේ රටේ අපි සුවිශේෂී දේවල් කරලා තියෙනවා. සාමාන්‍ය කෙනෙක් නැතිවුනාම මවුපියන්ට වැටුප ලැබුණේ නැතිවුනාට රණවිරුවන්ගේ දෙමාපියන්ට ලැබෙනවා. ඒ වගේ මේදේත් ලබාදිය යුතුයි. අපි දන්නවා සාමාන්‍ය කෙනෙකුටත් පඩියෙන් ජිවත් වෙන්න අමාරු කාලයක් මේක."
"හැබැයි මේ සිද්ධිය යොදාගෙන තමන්ගේ බලය වෙනුවෙන් රණවිරුවන් නැවතත් විකුණන්න හදන දේශපාලකයන් ඉන්නවා නම් ඒ අය අපි දැඩිව හෙළා දකිනවා." අතුරුදන් වූ රණවිරුවන්ගේ මාපිය සංවිධානයේ සභාපතිනි විශාකා ධර්මදාස තවදුරටත් කියා සිටියාය.
පසුගියදා අඟහරුවාදා (17) පැවති කැබිනට් මණ්ඩල හමුවට මෙම යෝජනාව ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති බව ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරයි.
"මෙම සත්‍යග්‍රහය ආරම්භ කරන අවස්ථාව වන විට එම ගෙවීම සිදු කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික ගැටලු නිරවුල් කර කාර්යාල පටිපාටිය සිදුකර එම වාර්තා සකස් කරමිනුයි තිබුණේ. එම වාර්තා පසුගිය 16 වෙනිදා ආරක්ෂක ලේකම්තුමා විසින් ජනාධිපති ලේකම්තුමා වෙත ඉදිරිපත් කළා. ජනාධිපතිතුමා එම වාර්තා අත්සන් කරලා කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරලා තිබෙනවා. කැබිනට් මණ්ඩලය මේ සඳහා සතියක් කාලයක් ඉල්ලා තිබෙනවා. ඒ අනුව ඊළඟ කැබිනට් රැස්වීමේදී මේ පිළිබඳව කටයුතු කරනු ඇති." යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් සුමිත් අතපත්තු කියා සිටියේය.
"මේ වන විට ආරක්ෂක ලේකම්තුමා, යුද හමුදාපතිතුමා මොවුන්ව හම්බවෙලා දැනුවත් කරල තිබෙනවා. මේ වෙනකොට මෙම කටයුතු අවසන් අදියරේ සාර්ථකව සිදුවෙන නිසා ඒ සඳහා සාධාරණ කාලයක් ලබාදෙන ලෙසත් සාමකාමීව මෙම සත්‍යග්‍රහය අත්හරින ලෙසත් මම ඉල්ලා සිටිනවා." ඔහු තවදුරටත් පැවසීය.
කෙසේ නමුත් විරෝධතාකරුවන් පවසන්නේ මේ සඳහා වන චක්‍රලේඛනය නිකුත් වන තෙක් තම සත්‍යග්‍රහය අඛණ්ඩව පවත්වාගෙන යන බවය.
මේ අතර, "ඉදිරි ජනාධිපතිවරණය ජයගෙන" මෙම ගැටළුවට විසඳුමක් ලබාදෙන බවට හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ විරෝධතාකරුවන්ට පොරොන්දුවක් ලබාදී තිබේ.
හිටපු මේජර් ජනරාල් කමල් ගුණරත්න එම පණිවිඩය විරෝධතාකරුවන්ට ලබා දීමට කටයුතු කළේය. මේ ගැන සමාජ මාධ්‍යවල දැඩි කතාබහක් ඇතිවූ අතර පසුගිය ආණ්ඩුව සමයේ මෙම ගැටළුවට විසඳුම් ලබා නුදුන්නේ ඇයි දැයි ඇතැමුන් ප්‍රශ්න කර තිබුණි.
Lanka Newsweek © 2025