Wednesday 12th of May 2021

English Tamil
Advertiesment


රාජ්‍ය නායකයින් ජාතික ආරක්ෂාව උලා කෑ හැටි මෙන්න..!


2019-12-01 1648

 

ජාතික බුද්ධි ප්‍රධානියාගේ තැපැල් පියුම් භූමිකාව..!

 

ජාතික ආරක්ෂාව ගැන ආරක්ෂක රාජ්‍ය ඇමතිගේ දැනුමේ තරම හෙළි වෙයි..!

 

  ජනපති කපෝතියි-අගමැතිට ගැළවුමක් නැහැ..!

 

කතා නායකට-සභා නායකට පැසසුම්..!

 

විදේශීය ඔත්තු සේවා ශ්‍රී ලංකාව ගැන කලකිරෙයි..!

 

ජාතික බුද්ධි ප්‍රධානියා, රාජ්‍ය බුද්ධි ප්‍රධානියාගේ ගෙදරට රිංගුවේ ඇයි..?

 

(සුජිත් මංගල ද සිල්වා)

පාස්කු ඉරිදා එල්ල කෙරුණු මරා ගෙන මැරෙන ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා පත් කෙරුණු විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා ලබා දුන් සාක්කිවලින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රධාන  යහා පාලන රජය යටතේ ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට අත්ව තිබෙන ඉරණමේ තරම මානව හෙළිදරව් වේ.

මේ සම්බන්ධයෙන් විදේශීය සහ දේශීය ආරක්ෂක විශේඥයින්,බුද්ධි අංශ නිලධාරීන් සහ ශ්‍රී ලංකාවේ විදේශීය තානාපති අංශ මවිතයට පත්ව සිටින අතර පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්කි ලබා දෙමින් සිසිර මෙන්ඩිස් මහතා කළ හෙළිදරව්වෙන් ඔහුගේ වගේම විශේෂයෙන් ජනාධිපතිවරයාගේ සායම මුළුමණින්ම සේදී ගොස් තිබේ.

එමෙන්ම  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පමණක් නොව ඔහුගේ ඥාති සොහොයුරා වන ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු වග කිව යුතු සියලු පාර්ශවයන්ගේ ද සායම සේදී ගොස් අවසන්ය.   

සිසිර මෙන්ඩිස් මහතා කියන ආකාරයට ජාතික බුද්ධි ප්‍රධානියා ලෙස ඔහු පත් කරනු ලැබුවත් එම තනතුරට අදාළ බලතල,වගකීම් සහ කාර්ය භාරයන් පිළිබඳ කිසිවක් ඔහුගේ පත්වීම් ලිපියේ සඳහන් නොවේ.

එමෙන්ම මේ තරම් භාර ධූර සහ වග කිව යුතු තනතුරක් වන ජාතික බුද්ධි ප්‍රධානී ධූරයට සිසිර මෙන්ඩිස් මහතා පත් කරනු ලැබ තිබෙන්නේ වාර්ෂික කොන්ත්‍රාත් පදනම මතය.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ ඔහු විසින්ම  පාපොච්ච්රණය කරන ආකාරයට, මේ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීම සඳහා අදාළ බලධාරීන් කැඳවා ඒ අයට අණ සහ නියෝග ලබා දීමට ඔහුට නොහැකි වී තිබෙන්නේ ඔහුට එවැනි කිසිදු බලයක් ලබා දී නොතිබුණු තත්ත්වය හමුවේය.  

ආරක්ෂක ලේකම්වරයාගේ අත්සනින් යුතුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිසිර මෙන්ඩිස් මහතා ජාතික බුද්ධි ප්‍රධානියා ලෙස පත් කරනු ලැබ ඇත්තේ 2015 ජූලි මස 28 වැනිදා වන අතර ඊට අදාළ පත්වීම් ලිපිය ඔහු ලබා ගෙන ඇත්තේ ද ජනාධිපතිවරයාගේ අතිනි.

මෙහිදී මතු වන ප්‍රශ්නය බලතල,වගකීම් සහ කාර්ය භාරයන් කිසිවකින් තොරව ජාතික බුද්ධි ප්‍රධානී වැනි මුළු රටට-ජනතාවට වග කිව යුතු මහ භාර ධූර තනතුරක් ලබා ගෙන සිසිර මෙන්ඩිස් මහතා  එම තනතුරට අදාළ වරප්‍රසාද පමණක් බුක්ති වින්දේ මන්ද යන්න පිළිබඳවය.

එමෙන්ම ඔහු මේ සා විශාල භාර ධූර තනතුරකට අදාළ බලතල,වගකීම් සහ කාර්ය භාරයන් ගැන කරුණු විමසමින් ජනාධිපතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා මාර්ගයෙන්  ඒ සියල්ල ලබා ගැනීමට ඔහු ක්‍රියා නොකළේ ඇයි..?

මේ අතර බලතල,වගකීම් සහ කාර්ය භාරයන් කිසිවකින් තොරව,කාර්ය භාරයක් නොමැති ඇමතිවරුන් පත් කරනවා වගේ,ජනාධිපතිවරයා විසින් සිසිර මෙන්ඩිස් මහතා වාර්ෂික කොන්ත්‍රාත් පදනම යටතේ ජාතික ආරක්ෂක ප්‍රධානී ලෙස නමට පමණක් පත් කරනු ලැබීමෙන් පැහැදිළි වන්නේ ජාතික රක්ෂාව,ආරක්ෂක විෂය සහ නව ජාත්‍යන්තර ත්‍රස්තවාදී ප්‍රවණතා සේම ලෝක ආරක්ෂක තත්ත්වයන් සම්බන්ධ ඔහුගේ තක්සේරුවේ තරම පමණක් නොව හැගීමෙ ස්වභාවය බව කිව යුතුය.

ජාතික බුද්ධි ප්‍රධානියාගේ සාක්කියෙන් හෙළි වන අතිශය වැදගත්ම කාරණයක් වන්නේ ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට අභියෝගයක් වන්නාවූ ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල කළ හැකි ත්‍රස්තවාදී සහ අන්තවාදී මුස්ලිම් ව්‍යාපාරයක් ගොඩනැගෙමින් පවතින අතර ISIS ත්‍රස්තවාදී තර්ජනයට ශ්‍රී ලංකාව ලක් වෙමින් පවතින බව ආරක්ෂක බුද්ධි අංශ කලක සිට අනතුරු අඟවා ඇති අතර බුද්ධි අංශ එම කණ්ඩායම් පසු පස දිගින් දිගටම ලුහු බැඳ ගොස් ඇති බවය.

ඔහුට අනුව ශ්‍රී ලංකාව කෙරහි පවතින  මේ ISIS ත්‍රස්තවාදී තර්ජනය සම්බන්ධයෙන් මුලින්ම කරුණු සාකච්ඡා වී ඇත්තේ 2015 ඔක්තෝබර් මස 06 වැනිදාය.

ඒ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සතිපතා අඟහරුවාදා රැස් වන බුද්ධි තොරතුරු සම්බන්ධීකරණ සහ සමාලෝචන රැස්වීමේදීය.

මේ ISIS ත්‍රස්තවාදී තර්ජනය සමග මොහොමඩ් සහරන්ගේ නම සහ ඔහුගේ කල්ලිය කරළියට පැමිණෙන්නේ 2017 මාර්තු මාසයේදී බව ද ඔහු කියා සිටින අතර ඒ මඩකලපුවේ,කාත්තන්කුඩි ප්‍රදේශයේ මුස්ලිම් දෙපිරිසක් අතර ඇති වූ මාරාන්තික ගැටුමත් සමගය.

කෙසේ නමුත් රාජ්‍ය බුද්ධි සේවයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ මොහොමඩ් සහරාන් සහ ISIS ත්‍රස්තවාදී තර්ජනය ගැන එම ඔත්තු සේවය 2014 සිට කරුණු විමර්ශනය කරමින් තොරතුරු රැස් කළ බවය.

මොහොමඩ් සහරාන් සහ ඔහුගේ කල්ලිය ගැන සේම ශ්‍රී ලංකාව කෙරෙහි පවතින ISIS ත්‍රස්තවාදී තර්ජනය ගැන රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ජාතික ආරක්ෂක මණ්ඩල රැස්වීම්වලදී 2016 සිට අවසන් වතාවට එම මණ්ඩලය රැස්වූ  2019 පෙබරවාරි 19  වැනිදා දක්වා දොළොස්වතාවක් ද,ජනාධිපතිවරයා වෙත මුහුණට මුහුණ සහ ඍජුව අවස්ථා ගණනාවකදී වාචිකව ද අනතුරු ඇඟවූ බව එම ආරංචි මාර්ග වැඩි දුරටත් අවධාරණය කර සිටියි.

මේ අනුව අවසන් වතාවට ආරක්ෂක මණ්ඩලය රැස්වූ 2019 පෙබරවාරි 19 වැනිදා මේ ප්‍රශ්නය සාකච්ඡාවට නොගැනුණු බවට ජාතික බුද්ධි ප්‍රධානියා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ ලබා දුන් සාක්කිය ද අභියෝගයට ලක් වේ.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ වැඩි දුරටත් සාක්කි දුන් ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා,රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතා තමා වෙත යොමු කර තිබූ ලිපියක් පෙන්වමින් කියා සිටියේ මේ ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් ලැබුණු බුද්ධි තොරතුරු ඔහු බැරෑරුම් ලෙස නොසැලකූ බව එම ලිපියෙන් ඔප්පු වන බවය.

එමෙන්ම 2019 අප්‍රේල් මස 09 වැනිදා ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන්  රැස්වූ බුද්ධි තොරතුරු සම්බන්ධීකරණ සහ සමාලෝචන රැස්වීමේදී, නිලන්ත ජයවර්ධන මහතා මේ ත්‍රස්ත ප්‍රහාරයට අදාළව ලැබී තිබුණු බුද්ධි තොරතුරුවලට ප්‍රමුඛස්ථානය දී සාකච්ඡා කරමින් ඒ පිළිබඳව ආරක්ෂක ලේකම්වරයාගේ අවදානය යොමු නොකරවූ බවය.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කෙරුණු ජනාධිපති විශේෂ විමර්ශන කොමිසම හමුවේ සාක්කි ලබා දෙමින් ජාතික බුද්ධි ප්‍රධානියා කියා ඇත්තේ රාජ්‍ය බුද්ධි සේවය සහ එහි ප්‍රධානියා මේ ත්‍රස්තවාදී ප්‍රශ්නය සම්බන්ධයෙන් මුල සිට අනතුරු අඟවමින් බරපතළ ලෙස ක්‍රියා කළ බවය.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්කි ලබා දීමෙන් පසුව බදාදා (29) රාත්‍රියේ ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා,රාජ්‍ය බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතාගේ නිවසට ගොස් ඔහු හමුවී සාකච්ඡා කර ඇත.

ජාතික බුද්ධි ප්‍රධානියා  මෙසේ හදිසියේම  රාජ්‍ය බුද්ධි ප්‍රධානියා හමු වී ඇත්තේ ජනාධිපති කොමිසම සහ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ තමා ලබා දුන් සක්කිවල තිබෙන පරස්පරතාවය පිළිබඳව කණගාටුව පළ කිරීමට විය හැකිය.

ඉන්දීය රජය සහ එරට “රෝ” ඔත්තු සේවය මේ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඉන්දීය තානාපති කාර්යාලය මාර්ගයෙන් ආරක්ෂක අමාත්‍යාශය වෙත සහ රාජ්‍ය බලධාරීන් වෙත තොරතුරු ලබා දෙමින් අනතුරු අඟවා තිබුණේ 2019 අප්‍රේල් මස 04 වැනිදාය.

ඒ සම්බන්ධයෙන් ද තොරතුරු විමර්ශනය කිරීමෙන් අනතුරුව රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතා ඒ සම්බන්ධයෙන් ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා වෙත 2019 අප්‍රේල් මස 07 වැනිදා ලිඛිතව කරුණු දක්වා ඇත.

එම ලිපිය කියවා බැලීමෙන් පසුව ජාතික බුද්ධි ප්‍රධානියා ඒ සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්වරයා දැනුම්වත් කිරීමෙන් පසුව මේ අනතුරට අදාළව එදිනම පොලිපතිවරයා ද ලිඛිතව දැනුම්වත් කර තිබේ.

මෙහිදී මතු වන ප්‍රශ්නය වන්නේ රට-ජාතිය මේ තරම් දරුණු ත්‍රස්තවාදී අනතුරකට ගොදුරු වී තිබෙන බව ඔප්පු තිරප්පු පිටින්ම හෙළි වී තිබියදී ඊට අදාළව වහාම ප්‍රායෝගික ක්‍රියා මාර්ගවලට අවතීරණය නොවී ඒ ඒ වග කිව යුත්තන්ට ලියුම් බෙදා හරිමින් සිටීමට ජාතික බුද්ධි ප්‍රධානියා තැපැල් පියුම් මහතෙකු ද යන්න පිළිබඳවය.

කෙසේ නමුත් ඊට නිදහසට ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව්දී ඔහු කියා සිටින්නේ ඊට එහා ක්‍රියා කිරීමට ඔහුට බලතල සහ අවසර නොමැති බවය.

ඊළඟට මතු වන බරපතළ ප්‍රශ්නය වන්නේ මේ ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් අවසාන වශයෙන් තමාට ලැබුණු බරපතළ බුද්ධි තොරතුරත් තබා ගෙන ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා පොල් ගෑවා ද යන්නය.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ ජාතික බුද්ධි ප්‍රධානියාම තහවුරු කර කියා සිටින පරිදි,  2019 පෙබරවාරි 19 වනිදගෙන් පසුව පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ල වන තුරුම හරියටම මාසයයි දවස් දෙකක් මේ රටේ ජාතික ආරක්ෂක මණ්ඩලය රැස් නොකර සිට ඇත්තේ මෙවැනි මරා ගෙන මැරෙන ISIS ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වන බවට ගෙඩි පිටින්ම බුද්ධි තොරතුරැ ලැබී තිබියදීය.

හ ජනතාව හැරුණු කොට මේ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා,අගමැතිවරයා,ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා,ආරක්ෂක ලේකම්වරයා,සියලුම බුද්ධි ප්‍රධානීන්,පොලිස්පතිවරයා සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු බලධාරීන් කරුණු දැන සිටී බව “lankanewsweek” මුල සිටම වාර්තා කළේ මේ පසුබිම යටතේ වන අතර ඒ බව මේ වන විට ජාතික බුද්ධි ප්‍රධානියාගේ සාක්කිවලින් පමණක්ම හෙළි වී තිබේ.

මේ ත්‍රස්තවාදී අනතුර සහ ප්‍රශ්නය පිළිබඳව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා දැන සිටී බව ජාතික බුද්ධි ප්‍රධානියා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ ලබා දුන් සාක්කිවලින් මානව පැහැදිළි වේ.

ඔහුට අනුව බුද්ධි තොරතුරු සම්බන්ධීකරණ සහ සමාලෝචන රැස්වීම සතියේ සෑම දිනක වගේ රැස් වී තිබෙන්නේ රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් වන අතර එහිදී මේ ප්‍රශ්නය අවස්ථා ගණනාවකදීම සාකච්ඡා වී තිබේ.

එසේ නම් රුවන් විජයවර්ධන මහතා මේ බරපතළ ප්‍රශ්න සම්බන්ධයෙන් ගත් පියවර කවරේ ද..? ජාතික ආරක්ෂක මණ්ඩලයේදී සහ බුද්ධි තොරතුරු සම්බන්ධීකරණ සහ සමාලෝචන රැස්වීමේදී මේ අනතුරට අදාළව මතු වූ කරුණු කාරණා වගේම බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් ඔහු සිය වැඩිමහල්  ඥාති සොයුරා වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැනුම්වත් නොකළේ යැයි සිතිය හැකිද..? නොඑසේ නම් ජාතික ආරක්ෂාව වගේ බරපතළ සහ පුළුල්  විෂයකට අදාළ බුද්ධි තොරතුරු තේරුම් ගෙන ඒ සියල්ල කළමනාකරණය කරමින් එම තොරතුරුවලට අනුව ක්‍රියා මාර්ග ගැනීමට තරම් පරිචයක් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් රුවන් විජයවර්ධන මහතාට තවමත් නොමැතිද..?

මේ ත්‍රස්ත්‍ර ප්‍රහාරයට පසුබිම වූ තිරය පිටුපස ඇත්ත නැත්ත මෙසේ හෙළිදරව් වෙම්න් පවතින්නේ කතානායක කරු ජයසූරිය සහ සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරුන්ට පිං සිදු වන්නටය.

පාස්කු ඉරිදා ත්‍රස්ත්‍ර ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා මේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පත් කිරීමට මැදිහත් වී ක්‍රියා කළේ කතා නායකවරයා සහ සභා නායකයා වන අතර මේ සම්බන්ධයෙන් කරු ජයසූරිය මහතා හමුවේ කරුණු දක්වමින් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අවධාරණය කර සිටියේ එක්සත් ජාතික පෙරමුණට සැග වීමට කිසිවක් නොමැති නිසා මේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව වහාම පත් කළ යුතු බවය.

මේ අනුව හොද හොද සෙල්ලම් එළි වෙන ජාමයට යැයි කිව්වා වගේ තවත් තොරතුරු රැසක් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හරහා ඉදිරියේදී රට ජනතාව හමුවේ හෙළිවනු ඇති අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන එක්සත් ජනතා නිදහස් සන්ධානය මේ තේරීම් කාරක සභාව මුල සිටම වර්ජනය කර සිටින්නේ එකී පසුබිම යටතේය.

මේ අතර ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළා යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අභූත චෝදනා එල්ල කරමින් ත්‍රස්ත විමර්ශන ඒකකයේ ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා අත්අඩංගුවට නොගත්තා නම් මේ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට ඉඩ තිබුණු බව දේශපාලන විචාරකොයෝ වගේම එක්සත් ජාතික පෙරමුණේ බහුතරය අවධාරණය කර සිටිති.

ඊට හේතුව බුද්ධි අංශ කලක් මුළුල්ලේ මේ ISIS ත්‍රස්තවාදී තර්ජනය සම්බන්ධයෙන් අනතුරු අඟවමින් ලබා දුන් බුද්ධි තොරතුරු විමර්ශනය කර පාස්කු  ඉරිදා  ප්‍රහාරයේ මහා මොළකරු වන ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන් අත්අඩංගුවට ගැනීම සඳහා 2018 වසරේ ජුලි මස 02 වැනිදා  ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය අධිකරණයෙන්   විවෘත වරෙන්තුවක් ගෙන තිබීමේ පසුබිම මතය.

ත්‍රස්තවාදී විමර්ශන දිසාවේ එවකට ප්‍රධානියාව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාගේ උපදෙස් මත මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන් අත් අඩංගුවට ගැනීමේ වරෙන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් උසාවිය වෙත ඉදිරිපත් කර ඇත්තේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක කේ.එන්.ඕ පෙරේරා මහතා විසින් වන අතර එහි බී වාර්තා අංකය 92358/08/18 ලෙස සඳහන්වේ.

ජාතික තව්හීත් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන් අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තුවක් ගෙන මාස 04 කට අඩු කාලයක්, එනම් 2018 ඔක්තෝම්බර් මස 25 වන දින ත්‍රස්තවාදී විමර්ශන දිසාවේ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා පොලිස් අත්අඩංගුවට පත්විනැයි ආරක්ෂක අංශ රජයට භාර දී ඇති විශේෂ වාර්තාවක  සඳහන්වේ.

ජාතික තව්හිද් ජමාත් නායක මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන් අත්අඩංගුවට ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට බී වාර්තාවක් මගින් කරුණු වාර්තා කරමින් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය කියා ඇත්තේ මූලධර්මවාදී කරුණු ඉස්මතු කරමින් වීඩියෝ පට සහ ඡායාරූප වෙබ් අඩවි සහ මුහුණු පොත භාවිතා කරමින් ප්‍රචාරය කළ බවට ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට ලැබුණු තොරතුරු අනුව මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන් අත්අඩංගුවට ගැනීමට අධිකරණ සහාය පතන බවයි.

ඊට අමතරව මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන් විදේශ ගත විය හැකි බැවින් ජාත්‍යන්තර පොලිසිය මගින් නිල් නිවේදන ලබා ගැනීමට කටයුතු කරන බවද ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශය අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තිබේ.

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු වන ජාතික තව්හිද් ජමාද් සංවිධානයේ නායක මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන් අත්අඩංගුවට ගැනීමට ඉහත වරෙන්තුව ගෙන මාස 04 ක කාලයක් ඇතුළත දී ත්‍රස්තවාදී විමර්ශන දිසාවේ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා අත්අඩංගුවට ගැනීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් කෙරුණු පරික්ෂණ අඩාල වී ඇත.

මේ අතර ජාතික බුද්ධි ප්‍රධානියා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ ලබා දුන් සාක්කිවලින් හෙළි වන තවත් අතිශය වැදගත්ම කාරණයක් වන්නේ ජනාධිපතිවරයා,අගමැතිවරයා,ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා,ආරක්ෂක ලේකම්වරයා,පොලිසපතිවරයා,සියලුම බුද්ධි ප්‍රධානීන් සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් අතර නිසි සම්බන්ධීකරණයක් නොතිබී ඇති බවය.

ඔහුගේ ප්‍රකාශයෙන්වැඩි දුරටත් පැහැදිළි වන්නේ මේ සියලු දෙනාම තමාට වඩා ලොක්කෙක් නොමැති බව සිතන මානසිකත්වයකින් යුතුව එකිනෙකාගේ කකුලෙන් ඇද ගෙන ඇති අතර මේ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ තොරතුරු කිසිවකු බරපතළ ලෙස සලකා නොමැති බවය.

මේ සම්බන්ධයෙන් “lankanewsweek” සමග අදහස් දැකුවූ ආරක්ෂක අංශ ප්‍රධානියෙක් පැවසුවේ දේශපාලන බල අධිකාරිය සහ ආරක්ෂක අංශ අතර මේ වන තුරුත් එවැනි නිසි සම්බන්ධීකරණයක් සහ සන්නිවේදනයක් ගොඩනැගී නොමැති බවය.  

Advertiesment