Wednesday 16th of October 2024

English Tamil
Advertiesment


ගෝලීය ත්‍රස්තවාදය, ගෝලීය ධනවාදයේ නිර්මාණයක් වන්නේ කෙසේද?


2019-12-01 14333

 

(කුසල් කාවින්ද අමරසිංහ)

ගෝලීයකරණය යන සංකල්පයේ නූතන අර්ථ නිරුපණය නිර්මාණය වන්නේ 1970 දශකයේදීය. 2000 වර්ෂයේ දී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) විසින් ගෝලීයකරණයේ මූලික අංග හතරක් හඳුනා ගන්නා ලදී.

එනම්, 01.වෙළඳාම සහ ගනුදෙනු,02.ප්‍රාග්ධන සහ ආයෝජනය,03.සංක්‍රමණ, 04.දැනුම ව්‍යාප්ත කිරීමයි. ගෝලීයකරණය මුලික වශයෙන් ආර්ථික සාධකය මත පදනම් වූ සංකල්පයකි. ධනේශ්වර ආර්ථිකයේ නිදහස් ප්‍රාග්ධන ගලායාම තහවුරු කරන මුලෝපායික න්‍යාය ලෙස ගෝලීයකරණය හඳුනා ගත හැකිය. ඒ අනුව වර්තමානය වන විට ගෝලීය වශයෙන් නිර්මාණය වී ඇති සෑම අර්බුදයක්ම ගෝලීයකරණයේ ප්‍රතිඵල ලෙස හඳුනා ගැනීම වඩාත් පහසුය. ගෝලීය ත්‍රස්තවාදය ද එවැන්නකි.

-ඇෆ්ගනිස්ථානය-

1993 දෙසැම්බර් 05 වැනිදා බ්‍රිතාන්‍යයේ “INDEPENDENT” පුවත්පත “Anti-Soviet warrior puts his army on the road to peace” යන සිරස්තලය සහිතව පුවතක් පළ කර තිබුණි.

එහි සඳහන් වුයේ සෝවියට් රතු හමුදාවන්ට එරෙහිව ඇෆ්ගනිස්ථානයේ සටන් වදින ඔසාමා බින් ලාඩන් නම් විමුක්ති සටන්කාමියකු පිළිබඳවයි. පසු කාලීනව ලෝකයටම තර්ජනයක් වූ “Al-Qaeda” ත්‍රස්ත ජලයේ නායකයා වන්නේ මොහුයි.

1978 දී ඇෆ්ගනිස්ථාන කොමියුනිස්ට් පක්ෂය විසින් ඇෆ්ගනිස්ථානයේ බලය දිනා ගැනීමෙන් අනතුරුව සෝවියට් සමුහාණ්ඩුවට පක්ෂපාති පාලන තන්ත්‍රයක් ස්ථාපිත කරන ලදී.

ඇෆ්ගනිස්ථානය යනු ආර්ථික වශයෙන් වැදගත් ඛණිජ සම්පත් බහුල වූ භූමියකි. එබැවින් සෝවියට් හිතවාදී පාලනයක් ඇෆ්ගනිස්ථානයේ  නිර්මාණය වීම ඇමරිකා එකසත් ජනපදයට ආර්ථික වශයෙන් සහ දේශපාලනික වශයෙන් නොරිස්සුම් සහගත විය.

ඒ අනුව ඇමරිකානු කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස 1979 දී ඇෆ්ගන් ජනාධිපති නූර් මොහොමඩ් තාරික් ඝාතනයට ලක් විය. අස්ථාවර වූ ඇෆ්ගනිස්ථාන ප්‍රජාතාන්ත්‍රික ජන රජය සෝවියට් රතු හමුදාව විසින් ආක්‍රමණය කරන ලදී.

1979 සිට 1989 දක්වා දශකයක කාලයක් සෝවියට් රතු හමුදා සහ ඇමරිකානු ආධාර ලැබූ ඉස්ලාමිය අන්තවාදී මුජහිදීන් කැරළිකරුවන් අතර පැවති දරුණු ගැටුම් අවසානයේ සෝවියට් හමුදා ඇෆ්ගන් භූමියෙන් ඉවත් විය.

ඇෆ්ගන්-සෝවියට් යුද්ධයෙන් ප්‍රතියුක්ත ජයග්‍රහණයක් (proxy victory) ඇමරිකාවට හිමි වුවද ඇමරිකානු ආධාර ලැබූ මුජහිදින්වරුන් කණ්ඩායම් වශයෙන් සංවිධානයවීම සහ ඔවුන් ස්වාධින ලෙස ක්‍රියා කිරීමෙන්  ඇෆ්ගනිස්ථානයේ දේශපාලන අස්ථාවරත්වය තවදුරටත් වර්ධනය වීමට හේතු විය.

තලේබාන්, අල්-කයිඩා, ඉස්ලාමීය ජිහාඩ් සංවිධානය, හිස්බාහි ඉස්ලාමි සංවිධානය වැනි සංවිධානයන්ගේ නැගී සිටීම ඇමරිකාවට ස්වකිය අරමුණ ඉටු කර ගැනීමට බාධාවක් වූ බැවින් 2001 වසරේදී ඇමරිකානු හමුදා විසින් ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කර නොනවතින යුද්ධයක් ආරම්භ කරන ලදී.

-ඉරාකය-

1979 දී බලයට පත් වන සදාම් හුසේන්ගේ නායකත්වය යටතේ ඉරාකය වඩාත් ශක්තිමත් රාජ්‍යයක් ලෙස නැගී සිටින්නට විය.සදාම් හුසේන් පාලන තන්ත්‍රය සෝවියට් සමූහාණ්ඩුවට පක්ෂපාතී වීමත් ඛණිජ තෙල් සම්පත ජන සතු කිරීමත් වැනි ක්‍රියා මාර්ග හේතුවෙන් ඉරාකය ඇමරිකා එක්සත් ජනපදයේ පසමිතුරුභාවයට ලක් විය.

ඉරාන-ඉරක යුද්ධයට සහ ගල්ෆ් යුද්ධයට මැදිහත් වීමෙන් ඉරාකය යනු යුදමය වශයෙන් මැද පෙරදිග බලවතෙකු බවට තහවුරු කරන ලදී. 1990 ඉරාකය විසින් අසල්වැසි කුවේටය ආක්‍රමණය කිරීම බටහිර බලවතුන්ගේ හෙළා දැකීමට ලක් විය.

ඉරාකය විසින් ඉස්ලාමිය ත්‍රස්තවාදී සංවිධාන වෙත ආධාර සහ අනුබල සපයන බව ඇමරිකාව දිගින් දිගටම චෝදනා එල්ල කරන ලදී. මේ අතරතුර 2001 සැප්තැම්බර් 11 දින අල්-කයිඩා ත්‍රස්තවාදීන් විසින් පැහැර ගත් ගුවන් යානා මගින් ඇමරිකානු ලෝක වෙළඳ මධ්‍යස්ථානයට සහ පෙන්ටගනයට සිදු කළ දැවැන්ත ප්‍රහාරයෙන් අනතුරුව එවකට ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ජෝර්ජ් ඩබ්. බුෂ් විසින් ප්‍රකාශ කළේ ඇමරිකාව විසින් රාජ්‍ය ආරක්ෂාව උදෙසා “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයක්‌” ආරම්භ කළ බවය.

ඉරාකය විසින් ජන සංහාරක අවි භාවිතා කරන බවට සහ ත්‍රස්තවාදය පෝෂණය කරන බවට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේදී ප්‍රකාශ කළ ඇමරිකා එක්සත් ජනපදය, 2003 දී ඉරාකය ආක්‍රමණය කරන ලදී.

2003 වසරේදී ඉරාක නායක සදාම් හුසේන් අත්අඩංගුවට ගෙන නඩු විභාග කිරීමෙන් අනතුරුව දේශීය අධිකරණයක් මගින් ඔහුට මරණ දඬුවම නියම කළ අතර, අනතුරුව අස්ථාවර වූ ඉරාකයේ ඇමරිකාවට හිතවත් නුරි-අල්-මලිකි ගේ පාලන තන්ත්‍රය ස්ථාපිත කරන ලදී. එහෙත් ඉරාකය පුරා සන්නද්ධ ගැටුම් උත්සන්න වූ අතර අල්-කයිඩා සංවිධානය සහ තවත් සන්නද්ධ කණ්ඩායම් සමග ඉරාක භූමියේදී සටන් කිරීමට ඇමරිකාවට සිදු විය.

2011 වසරේදී බැරැක් ඔබාමා පාලනතන්ත්‍රය යටතේ ඇමරිකානු හමුදා ඉරාක භූමියෙන් ඉවත්ව යන විට සිවිල් වැසියන් ලක්ෂයකට ආසන්න පිරිසක් මරණයට පත් වී තිබු අතර මිලියන 4.4 ක් අවතැන් වී තිබුණි. 2014 සිට ඉරාක රජය අල්-කයිඩා ත්‍රස්ත ජාලයෙන් වෙන් වූ ඉස්ලාමිය රාජ්‍ය සංවිධානය (ISIS) සමග සිවිල් යුද්ධයකට අවතීරණ විය.

-අරාබි වසන්තය සහ මැදපෙරදිග අර්බුදය-

2010 දී ටියුනීසියාවේ  ආරම්භ වුණු සිවිල් සමාජ විරෝධතා මාලාවේ කූට ප්‍රාප්තිය වූයේ එරට ජනපති බෙන් අලිට සිය ධුරය අත්හැරීමට සිදුවීමයි. මැද පෙරදිග කලාපය අරක් ගෙන සිටින ඒකාධිපතියන් බලයෙන් පහ කොට, ප්‍රජාතන්ත්‍රවාදය නැවත ස්ථාපිත කළ යුතු යැයි යන අදහස ට්විටර් සහ  ෆේස්බුක් ඇතුළු  සමාජ මාධ්‍ය  ජාල වගේම  වෙබ් අඩවි ඔස්සේ ළැව් ගින්නක් සේ පැතිර ගිය අතර ඊජිප්තුවේ හොස්නි මුබාරක්, ලිබියාවේ මුවමර් ගඩාෆි සහ යේමනයේ අබ්දුල්ලා සාලේ යන පාලකයන්ගේ ආණ්ඩු, දැවැන්ත උද්ඝෝෂණ රැල්ලක් හරහා පෙරළා දැමීමට එම රටවල රැඩිකල් තරුණ ප්‍රජාව සමත් වූහ.

එහෙත් සිරියානු සහ බහරේන් විරෝධතාකරුවන් මිලිටරි බලය යොදා මර්දනය කිරීමට ඒ රටවල පාලකයෝ ක්‍රියා කළහ. අරාබි වසන්තය ලෙස හැඳින් වුණු මෙකී විරෝධතා රැල්ල ලොව පුරා විසිරුණු ප්‍රජාතන්ත්‍රවාදීන්ට මහත් ආශ්වාදයක් ගෙන දුන්නද, එම රැල්ල  ඉතා කෙටි කාලයකදී  වාෂ්ප වුණු ප්‍රමෝදයක් සේ සැලකිය හැකිය. ඒ මන්ද, වර්තමානයේ එම රටවල් සියල්ල තිබුණාටත් වඩා අස්ථාවරභාවයට ඇද වැටී ඇති හෙයිණි.

අවසානයේ වක්‍රාකාරව අරාබිකරය ලෝක බලවතුන්ගේ ප්‍රතියුක්ත සටන් බිමක් බවට පත් විය. වර්තමානයේ සිරියාවේ බෂර්-අල්-අසාද්ගේ පාලන තන්ත්‍රය රුසියානු සහය මත ඉස්ලාමිය රාජ්‍ය සංවිධානය (ISIS) ඇතුළු සටන්කාමී සංවිධාන කිහිපයක් සමග සටන් වැද සිටී.

අද වන විට භෞමික වශයෙන් ඉස්ලාමිය රාජ්‍ය සංවිධානය සිමා කිරීමට සිරියා රජයේ හමුදා සමත් වුවද ලොව පුරා එම සංවිධානය විසින් සිදු කරන ත්‍රස්ත කටයුතු තවමත් අවසන් වී නැත. මේ වනවිට සිරියාව ලෝක ඉතිහාසයේ වඩාත් සංකීර්ණතම යුද භුමිය බවට පත් වී ඇත. සටන් වදින කණ්ඩායම්වලට සිය මිතුරුන් සහ  පසමිතුරුන් හඳුනා ගත නොහැකි තරමටම තත්ත්වය  ව්‍යාකුල වී ඇත. මේ වනවිට 117,377ක් පමණ සිවිල් වැසියන් පිරිසක් සිරියානු යුද භුමියේදී  මරණයට පත් වී ඇත.

-අන්තවාදී ත්‍රස්තවාදයක් ද..? ගෝලීය ධනවාදයේ නියමු ව්‍යාපෘතියක් ද..?

අල්-කයිඩා සංවිධානය බිහි වන්නේ 1988 දී ය. ඒ බටහිර මාධ්‍ය ආයතන විසින් කලකදී කොමියුනිස්ට් විරෝධී වීරයකු ලෙස සැලකු බින්-ලාඩන් ගේ නායකත්වය යටතේය.

ඇමරිකාව විසින් අල්-කයිඩා සංවිධානය පෝෂණය කරන්නේ ඇෆ්ගනිස්ථානයේ සෝවියට් විරෝධය වෙනුවෙන්ය. එහෙත් අවසානයේදී සිදු වන්නේ අල්-කයිඩා සංවිධානය ඇමරිකානු පාලනයෙන් ව්‍යුක්ත වී අනන්‍ය සලාෆි සුන්නි ඉස්ලාමිය ජිහද්වාදී දෘෂ්ඨිගතිකතාවයක  ස්ථාන ගත වීමය.

ජිහාද් වාදය ත්‍රස්තවාදී මතවාදයක්(Terrorist Ideology) ලෙස ලොව පුරා ව්‍යාප්ත වන්නේ අල්-කයිඩා සංවිධානය බිහිවීමෙන් පසුවය. අවසානයේ ඇමරිකාව ප්‍රමුඛ ධනේශ්වර බටහිර රාජ්‍යයන් වෙත දැඩි තර්ජනයක් වූ මෙම ත්‍රස්ත සංවිධානයේ  නායකයා වූ බින්-ලාඩන් 2011 දී පකිස්ථානයේදී ඝාතනය කරන තුරුම ඉස්ලාමිය අන්තවාදී ත්‍රස්ත සංවිධාන අතර නායකත්වය උසුලනු ලැබිය.

1994 දී ඇමරිකානු ආධාර මත නිර්මාණය වන මුජහිදීන් කැරළි කණ්ඩායමක් වන තලේබාන් සංවිධානය අල්-කයිඩා සංවිධානය වගේම සෝවියට් විරෝධය වෙනුවෙන් නිර්මාණය කරන ලද්දකි. එහෙත් එය භූගෝලීය වශයෙන් අල්-කයිඩා සංවිධානය වගේ ලෝක ව්‍යාප්ත නොවූ ඇෆ්ගනිස්ථානයට සහ පකිස්ථානයට සිමා වූ සංවිධානයක් ලෙස හඳුනා ගත හැක. 1996-2001 දක්වා ඇෆ්ගනිස්ථානයේ පාලන බලය මෙහෙයවීමට මෙම සංවිධානය සමත් විය. අද වන විට ඇෆ්ගන් රජයේ සහ ඇමරිකා ඒකාබද්ධ හමුදාවන්ට විරුද්ධව මෙම සංවිධානය සටන් වදිමින් සිටි.

තමා විසින්ම බිහි කරන ලද සංවිධාන අවසානයේ තම ක්‍රමයටම   එරෙහි වීම මත සතුරාට එරෙහිව නව සතුරෙක් නිර්මාණය කිරීමට ධනේෂ්වරයට සිදු විය. එහි ප්‍රතිඵලය වුයේ, අල්-කයිඩා සංවිධානයෙන් කැඩී ආ  අබුබකර් අල් බග්ඩාදී යටතේ 2014 වසරේදී නව ත්‍රස්ත සංවිධානයක් ලෙස ඉස්ලාමිය රාජ්‍ය සංවිධානය (ISIS) බිහිවීමයි.

ඉස්ලාමිය රාජ්‍ය සංවිධානය අද වන විට ඉස්ලාමිය අන්තවාදයේ “GOD FATHER” බවට පත් වී ඇත. වඩාත් රැඩිකල් සලාෆි ජිහද්වාදී සුන්නි ඉස්ලාම් සංවිධානයක් වන මෙම සංවිධානය සිය ඉලක්කය ලෙස ශුද්ධ වූ ඉස්ලාමිය භූමියක් නිර්මාණය කිරීම අරමුණු කරයි. ඉරාකය සහ සිරියාව මුල් කර ගත් මේ මහා ඉස්ලාමිය රාජ්‍යයේ භුමි සිතියමට අප්‍රිකාව, යුරෝපය සහ ආසියාවද ඇතුළත් වේ.

අද වන විට ලොව පුරා ක්‍රියාත්මක වන බොහෝ අන්තවාදී ඉස්ලාමිය ත්‍රස්ත සංවිධාන පාලනය කරන ප්‍රධාන අක්ෂය බවට මෙම සංවිධානය වර්ධනය වී ඇත. නිර්මාණය කළ සෑම සංවිධානයක වගේම ISIS සංවිධානයේ පාලනය ද අද වන විට එහි රහසි ගත නිර්මාපකයන්ගෙන් ගිළිහී ඇත.

මෙම සටහන මගින් අවදානය යොමු කරනු ලැබුවේ ලෝක ව්‍යාප්ත ප්‍රමුඛ රැඩිකල් ඉස්ලාමීය ත්‍රස්ත සංවිධාන කිහිපයක් බිහිවීමේ සැබෑ ඉතිහාසය කුමක්ද සහ අවසානයේ එම සංවිධාන නිර්මාණය කළ පාර්ශවයන්ගෙන් එකී සංවිධාන ස්වාධින වූයේ කෙසේද යන්න පිළිබඳව අධ්‍යනය කෙරෙහිය.

ඒ අනුව සෝවියට් සමුහාණ්ඩුව බලවත්ව පැවති කාල වකවානුවේ  ලෝක ව්‍යාප්ත රැඩිකල් ඉස්ලාමිය අන්තවාදී සංවිධාන නිර්මාණය වී නොතිබූ බව පැහැදිළිය.

1970-80 දශකයේදී  සෝවියට් බල කඳවුර වෙත පක්ෂපාති ඉස්ලාමීය රාජ්‍යයන්ගේ තරුණ පිරිස් කොමියුනිස්ට්වාදය වෙත ගොණුවීම වැළැක්වීම සඳහා ඊට ප්‍රති විරුද්ධ ලෙස ඉස්ලාමිය අන්තවාදය වටා ඔවුන් ගොණු කිරීමට ධනවාදී බල කඳවුර විසින් සැලසුම් සහගතව සිදු කළ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස වර්තමාන ගෝලීය ත්‍රස්තවාදී අර්බුදය නිර්මාණය වී ඇති බව හඳුනා ගත හැක.

වර්තමානය වන විට මෙම ගෝලීය ත්‍රස්තවාදය විසින් ඇති කර ඇති ගෝලීය යුදමය අර්බුදය හරහා ධනේශ්වරය විසින් සිය ප්‍රාග්ධනය ගලායාමට නව මාර්ගයක් නිර්මාණය කර ඇති අතර, රාජ්‍යයන් ආක්‍රමණය කිරීමේ නව අධිරාජ්‍යවාදී වැඩපිළිවෙළේ එක් උපකරණයක් ලෙසත් ගෝලීය ත්‍රස්තවාදී අර්බුදය භාවිත කිරීමට ධනේශ්වර රාජ්‍යයන් සුක්ෂම වී ඇත. එබැවින්, ගෝලීය ත්‍රස්තවාදය යනු හුදෙකලා අන්තවාදයක ස්වාධින ප්‍රතිඵලයක් නොව ගෝලීය ධනේශ්වරයේ විසින් කෘත්‍රිම ලෙස නිර්මාණය කරන ලද්දක් බවට වඩාත් නිවැරදිව විග්‍රහ කළ යුතුය.

 -පසු සටහන -

මෙම ලිපිය ඔස්සේ ඉස්ලාමීය අන්තවාදී ත්‍රස්ත සංවිධානයන්ගේ මුලික දෘෂ්ඨිවාදී වෙනස්කම් කවරේද යන්න සාකච්ඡා කර නොමැත. මන්දයත් ත්‍රස්තවාදය බිහිවීමේ සැබෑ ඉතිහාසය අධ්‍යයනය කිරීමේදී එම කාරණය අත්‍යවශ්‍ය කරුණක් නොවන බැවිනි.

එමෙන්ම හිස්බුල්ලා, හමාස් සහ ෆටාහ් වැනි ඉස්ලාමීය අන්තවාදී නොවන විමුක්තිකාමී සංවිධාන පිළිබඳව ද මෙම සටහනේ අවදානය යොමු කර නොමැත.

තවද ඇමරිකා එක්සත් ජනපදය විසින් සිය ප්‍රතියුක්ත යුද්ධ වෙනුවෙන් නිර්මාණය කළ ඉස්ලාමිය නොවන නිකරගුවාවේ කොන්ට්‍රා (Contras) වැනි ත්‍රස්ත සංවිධාන පිළිබඳව ද මෙහි සාකච්ඡා කර නොමැති අතර සටහනේ මූලිකම අරමුණ වන්නේ ලෝක ව්‍යාප්ත ඉස්ලාමිය අන්තවාදී ත්‍රස්තවාදය ධනේශ්වරයේ නිර්මාණයක් බවට වන සත්‍යය තහවුරු කිරීමය.

මේ ලිපියට අදාළ ඉහත ඡායාරුපයේ දැක් වෙන්නේ,1983 දී ඇමරිකානු ජනාධිපති රොනල්ඩ් රේගන් සහ ඇෆ්ගනිස්ථාන මුජහිදීන් නායකයන් ධවල මන්දිරයේදී මුණ ගැසුණු අවස්ථාවය.

Rusell Bandarawatta ගේ facebook ගිණුමෙන් උපුටා ගැනුණි.
Advertiesment