ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා නවසීලන්තය බලා පිටත් වෙන්නේම ඉතාම සුදුසුම කණ්ඩායමද යන්න ප්‍රස්නාර්ථයක් කර ගනිමිනි. වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ සංචාර වලදී ද මෙම ප්රශ්නය ම පැන නැංගේය.ඔවුන් අටුව කඩා පුටුව හදන වඩුවා සේ ප්‍රශ්නයෙන් ඒ අවස්ථාවේ බේරීම සදහා යමක් කර නිහඩ වීමය සිදු කළේ . අවස්ථාව ලද පසු නැවතත් ඒ දේම සිදු කිරීමය ඔවුන්ගේ පුරුද්ද.
නවසීලන්තයේදී සිදු වූයේ ද එහිම කොටසකි. ඉතාම සුදුසු ක්‍රීඩකයන් බංකුවේ හිදවා නවසිලන්ත සිතල විදින ක්‍රිකට් නිලධාරීන් කළේ තම හිතෙෂි මිතුරාගේ පුත්‍රයා කරලියට ගෙන ඒමය. ඒ මගින් ලැබෙන වරප්‍රසාද මත ගිනියම් වෙමින් සිතල ගෙවා දැමීමය .වඩාත් කණගාටුව නම් මේ සංචාරයේ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ විධායක තත්වයේ නිලධාරීන් ද සහභාගී වෙමින් සිටියේදී මේ දේවල් සිදුවීමය . මේ දේවල් සදහා අනුබල දීමය . නොයෙසේනම් නැසූ කන්ව හෝ නොදුටු සේ සිටීමය.
අප මේ මගින් අදහස් කරනුයේ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය නියෝජනය කරමින් සහභාගී වුවන් සර්ව සාධාරණ කිරීමකට සැරසිමසිමට නම් නොවේ . මේ විනාශයේ වගකිව යුතු එක් පාර්ශවයකි ඔවුන්.ආරංචි ලෙසින් නම් මේ වෙනුවෙන් වැඩි වශයෙන් දර දිය ඇද ඇත්තේ ඔවුන්ගෙන් ම කෙනෙක් බැවුය.
මේ අටුවා ටීකා ටිප්පනී විමසනවාට වඩා අප පළමුව නවසිලන්ත සංචාරයේ අපේ ක්‍රීඩකයන්ගේ කෙරුවාව සම්බන්ධයෙන් විමසිලිමත් වෙමු.
ඩි කාණ්ඩයෙන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක් වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ කාණ්ඩයට පකිස්ථානය, ඇෆ්ගනිස්ථානය සහ අයර්ලන්තය අයත් වුයේය. මේ අතරින් පාකිස්ථානය කෙසේ වෙතත් ඇෆ්ගනිස්ථානය සහ අයර්ලන්ත කණ්ඩායම් සුළු වෙන් තැකු ක්‍රිකට් නිලධාරීන් සුපිරි වටයට පිවිසීම ඉතා ලේසියෙන් කළ හැක්කක් බැවු උදම් ඇනුහ.
ඒ උදම් ඇනීමත් තවත් දෙගුණ තෙගුණ වුයේ අයර්ලන්ත කණ්ඩායම ලෙහෙසියෙන් ම කඩුලු හතකින් පරාජය කිරීමත් සමගය . නමුත් මේ උදම් ඇනීම ලොප් වන්නේ පකිස්ථානය වෙතින් සේ ම ඇෆ්ගනිස්ථානය වෙතින් ද අප ක්‍රීඩකයෝ පරාජය ලැබීමත් සමගිනි .
සුපිරි වටය අහිමි වූ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩකයෝ පළිහ ශුරතාවලියේ පැවති පළමු තරගයෙන් කෙන්යාවට එරෙහිව ලකුණු 311 ක දැවැන්ත ජයග්‍රහණයක් ලබමින් තමන් වෙත නැවත අවධානය දිනා ගත්හ.
මේ අවධානය ක්‍රීඩකයන්ගේ පැත්තෙන් සුභවාදී වුවද නිලධාරීන්ගේ පාර්ශවයෙන් නම් ගිනිපිමක් ම විනි. ඒ මෙම තරගාවලියේ දී වයස අවුරුදු 19න් පහළ එක් දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකදී වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව පහසුවෙන්ම බිද හෙලීමට සමත් වූ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ හසිත බෝයගොඩ සහ පන්දු යැවීමේදී දක්ෂතා දැක වූ ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලයේ හරීන් බුද්දිල වීරසිංහ නිසාය.
හසිත් බෝයගොඩ මෙම තරගයේදී පන්දු 152කට මුහුණ දෙමින් හතරේ පහර 28 සහ 06 පහර දෙකක් සමගින් ලකුණු 191ක් ලබා ගත්තේය .කෙන්යා පිළිතුරු ඉනිමේදී වමතින් දග පන්දු යවන හරීන් බුද්දිල වීරසිංහ ලකුණු 27ට කඩුලු 04 දවා ගන්නේය.
මෙම ක්‍රීඩකයන් දෙදෙනාම මෙම තරගාවලියේ නිලධාරීන්ගේ දඩු අඩුවට අසු වුවෝය .
හසිත බෝයගොඩ තරගාවලියේ පළමු වටයේ සහභාගී වුයේ අයර්ලන්තය සමග පැවති පළමු තරගයට පමණි. අනෙක් තරග දෙකේදීම හසිතට හිමි තැන වුයේ බංකුවයි. පළමු තරගයේදී ඔහුට කිසිදු ලකුණක් ලබා ගත හැකි වුයේ නැත. එහෙත් ඔහු කණ්ඩායමේ සිටි වඩාත්ම විස්වාසය තැබිය හැකි පිතිකරුවාය. ඒ බැවු ඔහුගේ පසුගිය තරග තොරතුරු ද සනාථ කරයි.
හරීන් බුද්දිල වීරසිංහ පළමු වටයේ කිසිදු තරගයකට යෙද වීමට මේ නිලධාරීන් කටයුතු කළේ නැත. එසේ නමුදු හරීන් මෙම තරගාවලියට සුදුසුකම් ලබන්නේ පෙර පැවති එක් තරගාවලියකදී හලා දමා පසුව ඉන්දියාවේ පැවති තරගාවලියකට යවමින් එහිදී පෑ දක්ෂතා හේතුවෙනි. ඊටත් වඩා හරීන් මෙවර පාසල් වාරයේ මේ වෙද්දී කඩුලු 50 කට ආසන්නව දවාගෙන ඇති ක්‍රීඩකයෙකි.දැනට වසර කිහිපයක්ම ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සම්මාන උළෙල වලදී දක්ෂතම පන්දු යවන්නා ලෙසින් සම්මාන ලබා ඇති ක්‍රීඩකයෙකි.
කපා දැමෙන්නේ එවන් ක්‍රීඩකයන් දෙදෙනෙකි . එහෙත් මේ තරගාවලියේදී දක්ෂතා දක්වන්නේ ඔවුන් දෙදෙනාමය. ඔවුන් දෙදෙනාගේ මේ දක්ෂතා සංචාරයට එක් වූ නිලධාරීන්ට ලැජ්ජා බය තිබේ නම් නිරුවත් කිරීමට එහා ගිය සිදු වීමකි.
Lanka Newsweek © 2024