Thursday 13th of May 2021

English Tamil
Advertiesment


පුරා විද්‍යාවේ කරුමයෙන් විනාශ වන අපේ උරුමයන්


2019-07-02 1769

ගාලු දිසාවේ ඓතිහාසික මිද්දරමුල්ල විහාරය විනාශ මුඛයේ

(ජයකාන්ත ලියනගේ)

ගාලු දිස්ත්‍රික්කයේ අහුන්ගල්ල, මිද්දරමුල්ල පුරාණ ක්‍ෂෙත‍්‍රාරාම රජ මහා විහාරස්ථානය වසර තුන් සියයකට වඩා ඉතිහාසයක් සහිත ඉපැරණි පුද බිමක් වන අතර එහි  විහාර මන්දිරයේ බිතු සිතුවම් සහ ඓතිහාසික ධර්ම මන්දිරය මහ නුවර  යුගයට අයත්ය.මෙම විහාර මන්දිරයේ සහ  ධර්ම මන්දිරයේ කිසිඳු අලුත්වැඩියාවක් නොකරන ලෙස පුරා විද්‍යා දොර්තමේන්තුව විසින්ද දැනුම් දී අති නමුත් විහාර මන්දිරයේ බිතු සිතුවම් සහ ධර්ම මන්දිරය ආරක්ෂා කර ගැනීමට එම  දෙපාර්තමේන්තුව කිසිඳු ක‍්‍රියා මාර්ගයක් නොගැනීම හේතුවෙන් බිතු සිතුවම් සහ  ඉපැරණි ධර්ම මන්දිරය විනාශ වෙමින් තිබේ.

 

මේ සම්බන්ධයෙන් අවස්ථා කීපයකදීම පුරා විද්‍යා දේපාර්තමේන්තුව දැනුම්වත් කළත් කිසිඳු ප‍්‍රයෝජනයක් නොවූ බව විහාරාධිපති ආඳාපොළ මංගල හිමියන් හිමියන් පවසයි.

බිතු සිතුවම් සංරක්ෂණය කිරීමට සහ  විහාර මන්දිරය අලුත්වැඩියා කිරීමට වැය වන සියලු  වියදම් තමා දැරීමට සූදානම් බව පවසමින් එම කටයුතු කර දෙන ලෙස පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටියත් ඔවුන් කිසිඳු ප‍්‍රතිචාරයක් නොදැක්වූ බවද විහාරාධිපති ආඳාපොළ මංගල හිමියෝ ප‍්‍රකාශ කළහ.

ගණින්නාන්සේලා පිරිසක් පළමුවෙන් මෙම විහාරස්ථානයේ වැඩසිට අති අතර අනතුරුව  වැඩ සිට ඇත්තේ හෑගල්ල ප‍්‍රදේශයේ භික්ෂූන් වහන්සේ නමකි.ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය පිහිටුවා වදාළ වැලිතර ශ‍්‍රි ඥාණවිමල තිස්ස මහා නා හිමියන්ගේ ශිෂ්‍ය හිමිනමක් වූ මීගමුවේ ආසභ තිස්ස නා හිමියන් විසින් මෙම විහාරස්ථානය සංවර්ධනය කර තිබේ.

මහ නුවර යුගයට අයත් ඉපැරණි විහාර මන්දිරයේ පුරා විද්‍යාත්මක වටිනාකමකින් යුත් බිතු සිතුවම් රැසක් මේ වන විට විනාශ වෙමින් තිබෙන අතර  විහාර මන්දිරයේ බිත්තිවල පහළ කොටසේ සිතුවම් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.විහාර මන්දිරයේ සිවිලිමේ ලෑලිවල ද ඉතා විචිත‍්‍රවත් අන්දමින් සිතුවම් ඇද ඇති අතර මේ වන විට එම ලෑලි ගැලවී දිරාපත් වී ඇත්තේ වහලයේ බින්දී ගොස් තිබෙන  උළු අතරින්  වැසි ජලය කාන්දු වීම නිසාය.පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මේ විහාරය අලුත්වැඩියා කිරීමට මැදිහත් නොවන්නේ නම් ඒ සඳහා තමාට ඉඩ ලබා දිය යුතු බව විහාරාධිපති හිමියෝ ප‍්‍රකාශ කරති.

කළු ගලින් නිම කරන ලද අතු පහකින් සමන්විත ගල්මල් ගසක්ද විහාර මන්දිරය පිහිටි භූමියේ ඇත. පෞරාණික වටිනාකමකින් යුත් මේ ගල්මල් ගසින් සිව්වනක් පිරිස පිළිඹිබු වන බව පැරැන්නෝ කියති. ගල්මල ආරක්ෂා කර ගැනීම විහාරයේ පෞරාණික බව රැක ගැනීමටද මහෝපකාරි වේ.

ධර්ම මන්දිරය පෞරාණික වටිනාකමකින් යුත් ගොඩනැගිල්ලකි. එහි පෞරාණික බව නිසාම මිල කළ නොහැකි මට්ටමක පවතී. ධර්ම මන්දිරය නිර්මාණය කර  ඇත්තේ ඉගිලෙන පරෙවියෙකුගේ හැඩයටය. කෙස් නමුත් මේ  ගොඩනැගිල්ල මේ වන විට සම්පූර්ණයෙන්ම  අබලන් වී තිබේ. ගොඩනැගිල්ලේ තිබූ සොල්දරයද මේ වන විට භාවිතා කළ නොහැකි මට්ටමින් දිරාපත් වී ගොස්ය.

මෙම ධර්ම මන්දිර  ගොඩනැගිල්ල දකුණු පළාතේ තිබෙන ඉපැරණි ගොඩනැගිල්ලක් බවද දැන ගන්නට තිබේ. ගොඩනැගිල්ලේ පිටුපස කොටස මේ වන විට විශාල වශයෙන් දිරාපත්ව අති අතර මැටියෙන් තැනූ බිත්තිවල ඇතැම් ස්ථාන කඩා වැටෙමින් තිබේ.

මේ පෞරාණික උරුමය ආරක්ෂාකර ගැනීමට විහාරාධිපති ප්‍රධාන දායක සභාවට  අවශ්‍යවී ඇතත් පුරා විද්‍යා දෙපාර්තමේන්තුව ඊට හරස්වී තිබෙන අතර  මේ වැඩ කටයුතු සඳහා වැය වන මුදල ලබාදීමට කැමැත්ත පළ කර තිබියදීත් ඒ වෙනුවෙන් උනන්දුවක් නොදැක්වීම කණගාටුදායකය.

මේ සම්බන්ධයෙන් අහුන්ගල්ල,මිද්දරමුල්ල,පුරාණ ක්‍ෂෙත‍්‍රාරාම විහාරාධිපති සහ බළපිටිය විහාරාධිපති සංගමයේ සභාපති ආඳාපොළ මංගල හිමියන්ගෙන් විමසූ විට මෙසේ පැවසීය.

“මේ විහාරස්ථානය ඉතා පෞරාණික පන්සලක්. මෙහි බිතු සිතුවම් සියල්ල නුවර යුගයට අයත්. ධර්ම මන්දිරයත් ඉතා පැරණි පුරා විද්‍යාත්මක වටිනාකමකින් යුක්තයි. පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරයක් නැතිව කිසිඳු අලුත්වැඩියාවක් කරන්න එපා කියල නියෝගයක් පනවල තිබෙනවා. මේ වන විට විහාර මන්දිරයේ තත්ත්වය හා ධර්ම මන්දිරයේ තත්ත්වය පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට දැනුම්දී තිබෙනවා. මේ ගැන  වසර 3 ක් තිස්සේ ලියුම් ලියනවා. දෙතුන් සැරයක් ගිහිල්ලත් කිව්වා. ඒ අය මේ ගැන හොයන්නේ නැහැ. තමන්ගේ බලය පතුරුවා ගන්නයි අවසරයක් නැතිව මොකුත් කරන්න එපා කියල කියන්නේ. එහෙම නැතුව පෞරාණික දේපල ආරක්ෂා කර ගන්න ඒ අයට  ඕනෑ කමක් නැතුව වගෙයි පෙනෙන්නේ. අපිට අලුත් වැඩියා කර ගන්න දෙන්නෙත් නැහැ. ඒ අය අලුත්වැඩියා කරන්නේත් නැහැ.අපි සල්ලි දෙන්නම් අලුත්වැඩියා කර දෙන්න කියල ඉල්ලූවා. ඒකටත් ඔවුන්ගෙන් උත්තරයක් නැහැ. ඒ නිසා විහාරමන්දිරය හා ධර්ම මන්දිරය අලුත්වැඩියා කර දෙන ලෙස නැවත වරක් මෙසේ මාධ්‍ය මගින් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටිනවා. රටේ දේශපාලන බලධාරීන් හෝ මැදිහත්ව මේ සම්බන්ධයෙන් පුරා විද්‍යා දෙපාර්තමේන්තුව දැනුවත් කරාවි යැයි විශ්වාස කරනවා.”    

Advertiesment