Wednesday 16th of October 2024

English Tamil
Advertiesment


ඇමසන් වනයේ තව දුරටත් ගිනි..!


2019-08-23 14338

ලොව විශාලතම වැසි වනාන්තරය වන, බ්‍රසීලයේ පිහිටි ඇමසන් වැසි වනාන්තරය වාර්තාගත ආකාරයෙන් ගිනිගනිමින් පවතී.

බ්‍රසීලයේ ජනාධිපති ජයීර් බොල්සෝනරෝ පවසන්නේ මෙම ගින්න මැඩලීමට ප්‍රමාණවත් සම්පත් තම රටට නොමැති බවයි. මෙම ගින්න සති තුනක පමණ කාලයක් තිස්සේ, තව දුරටත් ගිනිගනිමින් පවතින බව වාර්තා වේ.

තවද එරට චන්ද්‍රිකා දත්ත අනුව මේ වන විට ගිනිගැනීම් 84%ක් වර්ධනය වී ඇති බව ජාතික අභ්‍යවකාශ අධ්‍යයනය ආයතනය පවසයි.

ඇමසන් වැසි වනාන්තරයේ 2013 සිට මේ දක්වා වූ ගිනිගැනීම් වලින් ඉහළම අගය වාර්තාවන්නේ, ජනවාරි මාසයේ සිට අගෝස්තු දක්වා කාලය තුළ බව වාර්තා වන අතර එය ගිනිගැනීම් 74,000ක් වේ. පසුගිය බ්‍රහස්පතින්දා සිට ඇමසන් වන ප්‍රදේශය ආශ්‍රිතව වනාන්තරවල ගිනිතැබීම් 9,500ක් වාර්තා වී ඇති බවත් ගණන් බලා තිබේ.

මේ අනුව බල විට, ස්වභාව ධර්මයේ අපූර්ව නිමැවුමක් වන ඇමසන් වනාන්තරයේ විශාල භූමි ප්‍රමාණයක් දැවී අළු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම වැසි වනාන්තරය ගිනි ගැනීම ජාත්‍යන්තර අර්බුදයක් බව ප්‍රකාශ කරන ප්‍රංශ ජනාධිපති එම්මෑනුවෙල් මැක්‍රෝන් සඳහන් කරන්නේ එය ජී 7 සමුළුවේ ප්‍රධාන මාතෘකාව විය යුතු බවයි.

තව ද ප්‍රංශ ජනාධිපති ඇමේසන් වනාන්තරයේ වෘක්ෂලතා ගිනි ගනිමින් තිබෙන පින්තුරයක් සහිත සංවේදී ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටින්නේ, අපේ නිවස ගිනි ගන්නවා යනුවෙනි.

තවද එක්සත් ජාතීන්ගේ මහා ලේකම් අන්තෝනි ගුටියරස් ප්‍රකාශ කර සිටින්නේ ලොවට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණයෙන් තුනෙන් එකක් උත්පාදනය කරන මේ ඇමසන් වැසි වනාන්තරය ලොව අගනාම සම්පතක් වන අතර එය ආරක්ෂා කර ගැනීම සියලු දෙනාගේම වගකීමක් සහ යුතුකමක් ද වන බවයි.

මෙම වනාන්තරය පේරු, කොලොම්බියාව, වෙනිසුවෙලාව, ඉක්වදෝරය, බොලීවියාව, ගයනා සහ සුරිනාම් රාජ්‍යයන් පුරා පැතිරී ඇති ඇති අතර බ්‍රසීලයට භුමි ප්‍රමාණයෙන් 60% ක් අයත් වන බවයි.

ඇමසන් වනාන්තරයේ විනාශයට ඍජුවම චෝදනා එල්ල වන්නේ බ්‍රසීල ට්‍රම්ප් ලෙස හදුන්වන වත්මන් ජනාධිපතිටයි. සංවර්ධන වැඩවලට මුවා වෙමින් වත්මන් බ්‍රසීල ජනපති ඔහු බලයට පත්වීමෙන් පසු වනාන්තරය තුළ දැව ජාවාරම, රන් ආකර පවත්වාගෙන යාම වැනි විවිධ විනාශකාරී ක්‍රියා ආරම්භ කර ඇත.

ලෝකයේ ම පෙනහැල්ල බදු වූ මේ සම්පත විනාශ වීම වැලැක්වීමට ලෝක බලවතුන්ගේ අවදානය යොමු නොවුනහොත් මේ ගින්නෙන් මුලු ලොවම විනාශ මුඛයට ඇද වැටීම කිසිවෙකුටත් වැලැක්විය නොහැක.

Advertiesment