ආර්ථිකය ඛේදනීය තත්ත්වයට ඇද වැටුණ බොහෝ රටවල ජනාධිපතිවරු හොර දෙටුවන්ය. අගමැතිවරු ද කම්බ හොරු ය. බහුතර දේශපාලකයෝ බලය තකා ජනතාව රවටන පෝරිසාදයින් ය. පුහු මාන්නය, උද්දච්චකම, වංචාව, ආචාරශීලී නොවීම නිසා එම රටවල පාලකයින් ලෝකයාගේ පිළිකුලට භාජනය වී ඇත. මේ අසමත් රාජ්‍යයන්හි සිටිනුයේ දුම්මල ගහලාවත් එළවා ගන්නට බැරි පාලකයින් ය. බල තණ්හාව තුළින් ඔවුහු රටවල් කා දමති. විනාශ කරති. රටේ සාරය උරා බොති.
තවත් අපායක රවුමක් අද හඳුන්වා දෙනු ලබන්නේ දීර්ඝ කාලයක් තිස්සේ පැවැති ජනවාර්ගික අර්බුද, සිවිල් යුද්ධ, ත්‍රස්තවාදී ප්‍රහාර නිසා විසිපන් ලක්‍ෂයකට වැඩි ජන සමූහයක් ඝාතනයට ලක්වූ දකුණු සුඩානය නමැති අවාසනාවන්ත රටයි. දකුණු සුඩානය වෙනම රාජ්‍යයක් බවට ගතවී ඇත්තේ අවුරුදු 8ක කාලයකි. සුඩාන ජනරජයෙන් වෙන්වී දකුණු සුඩානය වෙනම රටක් බවට පත්වුණේ 2011 ජුලි 9 දාය. එදා මේ දේශය අප්‍රිකාවේ 54 වැනි නිදහස් රාජ්‍යය බවට පත්විය. එමෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 193 වැනි සාමාජික රට බවට පත්විය.
ඉතියෝපියාව, කෙන්යාව, උගන්ඩාව, කොංගෝව හා දකුණු අප්‍රිකාව යන තවත් අරාජික රටවල් රාශියකට මැදිව පිහිටි දකුණු සුඩානය මිහිපිට නරකාදියකට සමානය. මෙහි අහස්තලය පුරා රැව් පිළිරැව් දෙන්නේ කුසගින්නෙන් පෙළෙන ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවගේ ශෝකාලාපයයි. දුක් අඳෝනාවයි. මෙය දීර්ඝ කාලයක් තිස්සේ අවිගත් කල්ලි 9ක් සමග සටන් කළ රාජ්‍යයකි. පණ අදින රටක් සිවිල් යුද්ධවලින් උන්හිටි තැන් අහිමිවූ සංඛ්‍යාව ලක්‍ෂ 40කට වැඩිය. එමෙන්ම උගන්ඩාව හා සුඩානයට පැනගිය සංඛ්‍යාව ලක්‍ෂ 25ක් පමණ වේ. ජනගහණයෙන් වැඩි කොටස ජාත්‍යන්තර සංවිධාන ඉදිකළ අනාථ කඳවුරුවල කඳුළු වගුරුවති. එම සංවිධාන සපයන ආහාර සලාක ප්‍රමාණවත් නැති නිසා “පණ අදින” පුරවැසියන් දහස් ගණනින් දිනපතා පොළවට මිහිදන් වන අපායකි මේ.
රටේ විශාලත්වය ව.කි.මී. 6,19,745ක් හෙවත් ව.සැ. 2,39,285කි. ජනගහණය 1,22,30,730කට මඳක් වැඩිය. එක්කෝටි විසි දෙලක්‍ෂයකට වැඩි ජනගහණයකින් සමන්විත දකුණු සුඩානය දැන් පාලනය කරනු ලබන්නේ ජනාධිපති සල්වා කේ. මයර්දිත්ය. (Salva K. Mayardit) දකුණු සුඩානයේ ජුබා (JUBA) අගනුවර ද අපායක් වගේය.
මෙහි වත්මන් ජනපති සල්වා මයර්දිත්, අකෝන් (AKON) ප්‍රදේශයේ ගොවියෙකුගේ පුතෙකි. 1951 උපතලද ඔහු සුඩානයේ ප්‍රථම සිවිල් යුද්ධයේ සෙබළෙකි. 2011දී පැවැති, ජනමත විචාරණයෙන් සියයට 98.83ක මනාපයක් ලැබ ජනපති තනතුරට පත්විය. බලයට පත්වීමෙන් පසු තම කැබිනට් මණ්ඩලයේ ඇමැතිවරුන් දෙදෙනකු ඇමැති තනතුරුවලින් නෙරපා හැරීමට ක්‍රියා කළේය. ඒ 2013 ජුනි 18දාය. එසේ නෙරපා හරින ලද්දේ රාජ්‍ය ඇමැති අලෝර් (ALOR) සහ මුදල් ඇමැති නගායි (NGAI) යන දෙදෙනාය. 2013 ජුලි මාසයේ දී ඔහු තම මුළු කැබිනට් මණ්ඩලයම විසුරුවා හරින ලද්දේ ඔවුන් සියලු දෙනාගේ විවිධ අක්‍රමිකතා හා දූෂණ ක්‍රියා හෙළිවීම නිසාය.
අල්ලස් දූෂණ චෝදනා යටතේ මුළු කැබිනට් මණ්ඩලයම ගෙදර යැවූ එකම රට දකුණු සුඩානයයි. මුදල් ඇමැති මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුව හිස් කිරීම දකුණු සුඩානයේ ප්‍රජාතන්ත්‍රවාදය දැයි ජාත්‍යන්තර මාධ්‍ය මර්දනය කිරීමට ජනපති ගත් විවිධ ක්‍රියාමාර්ග විවේචනයට භාජනය විය. ඔහු දූෂිත ඇමති මණ්ඩලය ගෙදර යවා තනිවම රාජ්‍ය දේපොළ කොල්ලකන බව මාධ්‍යයන් වාර්තා කරන්නට පටන් ගත්තේය. පීටර් ජුලියස් දකුණු සුඩානයේ ජ්‍යෙෂ්ඨ හා ප්‍රවීණ මාධ්‍යවේදියකි. ඔහු දකුණු සුඩාන් නව රජයේ දූෂණ වංවා හෙළි කරන්නට පටන්ගත්තේය. 2015 අගෝස්තු 19 දා රාත්‍රී "ජුබා" අගනුවර දී නාඳුනන තුවක්කුකරුවන් විසින් හිසට දෙවරක් වෙඩි තබා ඔහු ඝාතනය කරනු ලැබීය. මෙය ජනපති සල්වාගේ ක්‍රියාවක් බව ජත්‍යන්තර මාධ්‍ය ප්‍රචාරණය කළේය. මේ වසරේදීම තවත් ජනප්‍රිය මාධ්‍යවේදීන් 5 දෙනෙකු ඝාතනය කරන ලදී.
දකුණු සුඩානය නිදහස ලබාගෙන, වෙනම රාජ්‍යයක් බවට පත්වීමෙන් පසු එහි සිදුවූ අපකීර්තිමත් ම්ලේච්ඡ සිද්ධීන් මේවාය. රට ආපස්සට යාමට මේ සිද්ධීන් බෙහෙවින් ඉවහල් විය. සුඩානයේ මාධ්‍යවේදීන් එලොව යැවූ හැටි මේ ලිපිය මාර්ගයෙන් දකුණු සුඩානය බිහිවූ අයුරු, එහි පැවැති සිවිල් යුද්ධයේ අගමුල, සිවිල් යුද්ධයේ සහ ත්‍රස්ත කල්ලිවල පැටිකිරිය ආදිය පිළිබඳ විමර්ශනයක යෙදීමට අදහස් නොකරමි. එය වෙනම දීර්ඝ කතාන්දරයකි. ස්වාධීන රාජ්‍යයක් බවට පත්වීමෙන් පසු බලලෝභී දේශපාලකයින් විසින් රට කබලෙන් ළිපට දැමූ අයුරු කෙටියෙන් ඉහතින් දැක්වීමි. ජුඩා නගරයේ ප්‍රකාශයට පත් කරන “ද සිටිසන්” (The Citizen) පුවත්පතේ ප්‍රධාන කර්තෘ ප්‍රමුඛ මාධ්‍යවේදීන් 5 දෙනෙකු පැහැරගෙන ගොස් වද හිංසා පැමිණවීම තුළින් දකුණු සුඩානයේ වත්මන් ජනපතිවරයා බොහෝ රටවල රාජ්‍ය නායකයින්ගේ අප්‍රසාදයට පාත්‍ර විය.
රටේ යථා තත්ත්වය ලොවට විදහා දැක්වීම සඳහා වාර්තා චිත්‍රපටයක් නිපදවූ ඔචන් හනින්ටන් (Ochan Hunnigton) සහ පුවත්පත් කතුවර පීටර් මෝ (Peter Moi) සහ ඇමෙරිකානු මාධ්‍යවේදී ක්‍රිස්ටෝපර් ඇලන් (Christopher Allen) ඝාතනය කිරීමට තම ආරක්‍ෂකයින් ජනපති විසින් යෙදවූ බව හෙළිවිය. එම ඝාතන සිදුවූයේ 2017 අගෝස්තු මාසයේදීය. දකුණු සුඩානයේ මාධ්‍ය මාර්දනය පිළිබඳ කෙටි විස්තරයකි මේ.
පවුල් පිටින් එක්වී රට සූරාකෑමේ කලාව ස්ත්‍රී දූෂණය, වයස අවු 13, 14, 15 දැරියන් ලිංගික අතවරවලට පත් කිරීම ආදියෙන් ලොව මුල් තැනක් හිමි වී ඇත්තේ මේ අවාසනාවන්ත දේශයටයි. ලොව වැඩිපුරම ළමා සොල්දාදුවන් සිටි රට ද මෙයයි. එම සංඛ්‍යාව 9000කට වැඩිය. ඇමිනස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය ලොව වැඩිපුරම මානුෂික නිදහස උල්ලංඝනය කරන රට දකුණු සුඩානය බව වාර්තා කර ඇත. ළමා වියේ පසුවන දරු දැරියන් විවාහ දිවියට පත්වන රටවලින් මුල් තැන හිමි වී ඇත්තේ මේ රටටයි. එම සංඛ්‍යාව ළමා ජනගහණයෙන් සියයට 52කට වැඩිය. භාෂා 60ක් කතා කරන විවිධ ජන කොටස් සමූහයක නිජබිමක් වූ මේ දේශය අද ලෝකයේ අඳුරු මුල්ලක හිරවී තිබේ. ක්‍රිස්තියානි ආගම අදහන්නන්ගේ සංඛ්‍යාව මුළු ජනගහණයෙන් සියයට 75ක් පමණ වේ.
අතීතයේ බ්‍රිතාන්‍යයට වහලුන් වැඩි වශයෙන්ම ගෙන ගියේ මේ රටෙනි. අධ්‍යාපන, සෞඛ්‍ය, ගමනාගමන, විදුලිය, පානීය ජලය ආදී පොදු පහසුකම් සපයා නැති පළාත් සංඛ්‍යාව 6කි. මෙහි ඇති මුළු පළාත් සංඛ්‍යාව 10කි. 2008 අප්‍රේල් මස මෙහි ජනගහණය ලක්ෂ 82කි. වසර 10කට පසු මෙහි ජනගහණය එක්කෝටි විසි දෙලක්‍ෂය දක්වා වැඩි වී ඇත. රටට ඔරොත්තු නොදෙන්නේ මේ අසීමිත ජනගහන වර්ධනයයි. මව්පියන් නැති අසරණ ළමයින් සංඛ්‍යාව ලක්‍ෂ 2කට වැඩිය. මේ රටේ පෙට්‍රල්, යකඩ, තඹ, ක්‍රෝමියම්, රත්තරන්, රිදී, දියමන්ති බහුලව ඇති සම්පත්ය. මෙතරම් සම්පත් තිබිය දී රට එක තැනම පල්වන්නේ ජනතාවට කොළේ වසා සොරකම් කරන දේශපාලකයින් මෙහි ද බහුලව සිටින නිසාය.
දිනකට පැට්‍රෝල් බැරල් 30,000කට වැඩි ප්‍රමාණයක් නිපදවන මේ රට අද හිඟා කන තත්ත්වයට පත්වී ඇත්තේ දේශපාලකයින් පවුල් පිටින් එක්වී රටේ සාරය උරාබොන නිසාය. විවිධ රටවලට හා අන්තර් ජාතික මුල්‍ය ආයතනවලට ඩොලර් බිලියන 38ක් ණය වී එම ණය ගෙවා ගැනීමට නොහැකිව ජනතාවට කරුමය උරුම කර දී ඇති රාජයක් ඇති දකුණු සුඩානය අද පණ අදින තත්ත්වයට පත්වී හමාරය. දකුණු සුඩානය වනසන චීන ආක්‍රමණය ළදරු උපත් 1000 කින් ළදරුවන් 135 දෙනෙකු උපතේදීම මියයති. තවමත් මැලේරියා උවදුර පවතින රටකි. මුළු ජනගහණයෙන් සියයට 90කම දෛනික ආදායම ඩොලර් 1 කටත් අඩුය. මෙහි ප්‍රධාන රෝහල් ඇත්තේ 13ක් පමණකි. කාන්තා හිංසනය වැඩියෙන්ම ඇති රට මෙයයි.
ජනගහණයෙන් ලක්‍ෂ 49 ක් පමණ කෑමට යමක් ඉල්ලමින් අහස දෙස බලා දුක් අඳෝනා නගති. චීන ආක්‍රමණය ද ක්‍රමානුකූලව සිදුවෙමින් පවතින දකුණු සුඩානය වළපල්ලටම ගිය අයුරු විදහා දැක්වීමට උදාහරණ රාශියක් ඇත. තෙල් කැනීම් කටයුතු චීනයට පැවරීම තුළින් දකුණු සුඩානය ද චීන ජාතිකයින් පිනුම් ගසන රාජ්‍යයක් බවට පත්වී තිබේ. චීන ණය ගෙවීමට නොහැකිව හතරගාතේ වැටී සිටින දකුණු සුඩානයට කවදා සෞභාග්‍යයේ හිරු පායනු ඇද්ද?’’ ද ඉන්ඩිපෙන්ඩන්ට් (The independent) පුවත්පත 2012 ජුලි 9දා දකුණු සුඩානය පිළිබඳව පළකළ විශේෂ ලිපියේ සිරස්තලය “සුබ උපන්දිනක් දකුණු සුඩානය” යන්නයි. මෙම ලිපියෙන් මේ රටේ අතීතය හා වර්තමානය පිළිබඳව ගවේෂණාත්මක විවරණයක් ඉදිරිපත් කර ඇත. මෙහි පොළවෙහි තෙල් බැරල් බිලියන 68කට වැඩි ප්‍රමාණයක් ඇති බව හෙළිවී තිබේ. මේ මගින් දිනකට තෙල් බැරල් ලක්‍ෂ 5ක් පමණ නිපදවිය හැක. මෙම තෙල් නිධි චීනයේ ජාතික පෙට්‍රෝලියම් සමාගමට බදු දීම තුළින්, මෙම රට විනාශය කරා ඇදීගිය බව ඇමරිකාව චෝදනා කළේය.
චීනය මෙහි සිට කෙන්යාව දක්වා පොළොව යටින් බට මගින් තෙල් පොම්ප කිරීමේ ව්‍යාපෘතියක් ඇරඹුවේය. චීනයට ක්‍රමානුකූලව තම ආධිපත්‍යය මේ අවාසනාවන්ත රට තුළ ද ගොඩනැංවීමට ඉඩදීම ගැන විවිධ චෝදනා එහි පාලකයින් වෙත එල්ල වී තිබේ.
මුළු ජනගහණයෙන් සියයට 80කට වැඩි සංඛ්‍යාවක් දරිද්‍රතාවයෙන් පෙළෙන දකුණු සුඩානයට එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාව යවා ඇත්තේ එහි සාමය රැකීමටය. රජයට එහි ජනතාවගේ ආරක්ෂාව සැපයීමට නොහැකි වී ඇති නිසාය. මිහිතලය මත ඇති අනාරක්‍ෂිත, භයංකාර මේ රටට ඛේදනීය තත්ත්වය උදාවී ඇත්තේ මෙහිද පවතින දේශපාලන බල අරගල නිසාය. “රිලීෆ්” වෙබ් මාධ්‍ය ජාලය 2018 ඔක්තෝබර් 18 දා වාර්තා කර තිබුණේ 2011 දී මේ දේශය නිදහස ලබා ගත්තත් නිදහස් සටනට උරදුන් පිරිස් බලය ලබාගෙන රට සූරා කන බවයි. රට කන හොරු රැළ මෙම රටේ පාලකයින් විසින් සොරකම් කරන ලද රාජ්‍ය දේපොළවල වටිනාකම ඩොලර් බිලියන 4 ඉක්මවා ඇත. කිසිදු කාර්යයක් පවරා නොතිබූ කිසිදු ඉදිකිරීම් කොන්ත්‍රාත් කටයුතුවල නිරත නොවූ පුද්ගලික ව්‍යාපාර 290කට කෝටි ප්‍රකෝටි ගණනින් රාජ්‍ය මුදල් රජය ගෙවූ බව හෙළිවිය. එමෙන්ම විවිධ ව්‍යාපෘතිවල නිරත වූ කොම්පැනි 151කට වැඩිපුර මුදල් ගෙවා ඇති බව ද හෙළිවිය.
මෙම කරුණු අනාවරණය කළේ ලෝක බැංකුවේ ගණකාධිකාරිවරුන් විසිනි. මේ අතර රජයේ ලියාපදිංචි කර නැති හොර ව්‍යාපාර 81කට රාජ්‍ය මුදල් ගෙවා ඇති බව යථෝක්ත ගණකාධිකාරිවරුන් විසින් සොයාගෙන ඇත. මෙහි මහ බැංකුව සිදුකළ වංචාවන් ද අනාවරණය විය. ඩොලර් බිලියන 1.7ක අති විශාල මුදලක් යොදවා ඉදිකර ඇත්තේ කිලෝමීටර 25ක මාර්ගයක් පමණි.
මුදල් ඇමැතිවරයා සොරකම් කර ඇති මුදල ඩොලර් මිලියන 600කි. ලෝක බැංකුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ලෝක ආහාර සංවිධානය, ලෝක සෞඛ්‍ය සංවිධානය ආදී ජාත්‍යන්තර සංවිධානවලින් සැපයූ ඩොලර් බිලියන 8කට වැඩි මුදලක් දේශපාලකයින් විසින් ගසා කෑ අයුරු ද මාධ්‍ය හෙළි කළේය. රට ආරාජික වූයේ මේ වංචා සහ දූෂණ නිසාය. එහෙත් සොරකම් කළ පාලකයින්ට එරෙහිව මේ රටේ ද නීතිය ක්‍රියාත්මක වන්නේ නැත.
(ඉරිදා ලංකාදීප)
Lanka Newsweek © 2024