(රංජිත් ගුණවර්ධන)
රාජ්‍ය අංශයේ බැංකු ඇතුළු සියලූම රාජ්‍ය ආයතනයන් තුළ සිදුවී ඇති වංචා, දූෂණ, නාස්තීන් හා අවිධිමත් ගනුදෙනු පිළිබඳව විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලැබු විමර්ශනයකින් අනතුරුව සකස් කරන ලද නවතම වාර්තාව මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට තිබේ. එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් විගණකාධිපතිවරයා බලාපොරොත්තු වන්නේ සමස්ත රාජ්‍ය සේවයේ මූල්‍ය යහපාලනය හා සිදු වී ඇති අවිධිමත් කටයුතු ඉදිරියේදී සිදු නොවීම සඳහා පාර්ලිමේන්තුවේ අවධානය යොමු කරවීම ය. එහෙත් විගණකාධිපතිවරයා විසින් පසුගිය කාලය පුරාම වාර්ෂිකව එවැනි වාර්තා ඉදිරිපත් කොට ඇතත් පාර්ලිමේන්තුව කිසිදු අවස්ථාවක අදාළ වාර්තා පිළිබඳව කිසිදු අවධානයක් යොමු කොට නොමැති බව පෙනෙන්නේ නැවත නැවතත් එවැනි අවිධිමත් සිදුවීම පෙරටත් වඩා සිදුවන බව නිරීක්‍ෂණය වන නිසා ය. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ස්ථාපිත කිරීමෙන් අනතුරුව පිහිටුවන ලද ස්වාධීන විගණන කොමිසම මඟින් රාජ්‍ය අංශයේ බැංකු හා රාජ්‍ය ආයතනයන් පිළිබඳව කරන ලද නිරීක්ෂණයකින් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති නවතම වාර්තාවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මුදල් අමාත්‍යවරයාව සිටි සමයේ දී රාජ්‍ය අංශයේ බැංකු තුළ සිදුවී ඇති අවිධිමත් හා අයථා ක්‍රියාවන් සම්බන්ධයෙන් සකස් කරන ලද මෙම ලිපිය පළ කරන්නේ ජනතාවගේ විශේෂ අවධානය ඒ සඳහා යොමු කරවීමට ය. ලංකා බැංකුව බේරා නොගත් රන් භාණ්ඩ උණු කිරීම 2010.01.15 දිනැති අංක 46/2010 දරන උකස් අත්තිකාරම පිළිබඳ කාර්යාලීය චක්‍රලේඛයට අනුව වෙන්දේසියට ඉදිරිපත් කිරීමෙන් පසු අලෙවි නොවී ඉතිරි වන බේරා නොගත් රන් භාණ්ඩ, අතැති රන් භාණ්ඩ (Gold in Hand) ගිණුමට මාරු කළ යුතු බවට උපදෙස් ලබා දී තිබේ. අදාළ උපදෙස් මත රුපියල් මිලියන 1,996.84 ක් වටිනා රන් භාණ්ඩවල උකස් වටිනාකම 2014.11.30 වන විට අතැති රන් භාණ්ඩ ගිණුමට මාරු කොට තිබුණි. එසේ අදාළ ගිණුමට මාරු කළ රන් භාණ්ඩවලින් රුපියල් මිලියන 570.38ක් වටිනා රන් කිලෝග්‍රෑම් 112.62ක් උණු කර තිබූ අතර උණු කළ පසු රන්වල බර ප්‍රමාණය කිලෝග්‍රෑම් 11.68ක් හා රුපියල් මිලියන 451.98ක් වී තිබුණි. ඒ අනුව උණු කිරීමෙන් පසු අදාළ රන්වල බර ප්‍රමාණය ග්‍රෑම් 940කින් හා වටිනාකම රුපියල් මිලියන 118.40 කින් අඩුවී තිබුණි. 2015.12.30 දින ලංකා බැංකු ප්‍රධාන කාර්යාලයේ රන් භාණ්ඩ සුරක්ෂිතාගාරයේ දී විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නිලධාරින් කරන ලද භෞතික පරීක්ෂාවක දී උණු කළ රන් ග්‍රෑම් 37.19 ක අඩුවීමක් පෙන්නුම් කොට තිබූ අතර ඒ සම්බන්ධයෙන් ලංකා බැංකුවේ සභාපතිවරයාගෙන් කරන ලද විමසීමක දී ඔහුගේ පිළිතුර වී තිබුණේ උණු කරන ලද රත්රන් බාර්වල රන් බර තොග පොත්වල සඳහන් කරන ලද්දේ සේවා සපයන්නා විසින් භාවිතා කරන ලද බර කිරන යන්ත්‍රවල පෙන්නුම් කරන ලද සංඛ්‍යා බව ය. විගණන නිලධාරීන් විසින් සිදුකරන ලද භෞතික පරීක්‍ෂාව සිදු කොට ඇත්තේ ලංකා බැංකුවේ පාරිභෝගික කළමනාකරණ දෙපාර්තමේන්තුවේ රන් සුරැකුම් ණය සේවා ඒකකය විසින් මිලදී ගෙන තිබූ බර කිරීමේ යන්ත්‍රය උපයෝගි කරගනිමිනි. එම භෞතික පරීක්ෂාවේ දී සේවා සපයන්නාගේ බර කිරීමේ යන්ත්‍රය උපයෝගි කරගැනීමෙන් ලැබුණ බරට වඩා ග්‍රෑම් 37.19ක් අඩු වී තිබීම අයථා ක්‍රියාවක් විය හැකි බවට විගණනයේදී නිරීක්‍ෂණය වී තිබේ. ලංකා බැංකුවේ ලාභය ලෙස මහජන මුදල් අදාළ නොවන පරිදි ලබාගැනීම. ඇ.ඩො. 5000ක් හෝ ඊට වැඩියෙන් මිලදී ගන්නා ගනුදෙනුකරුවන්ට ලංකා බැංකුව විශේෂ අනුපාතිකයන් ලබාදේ. ඒ අදාළ ගනුදෙනුකරු ඉල්ලූම් කරන අවස්ථාවේ දී වෙළෙඳපොළේ පවතින ඇ.ඩො. හා රුපියල් විනිමය අනුපාතිකයන්ට අනුව බැංකුව විශේෂ රේටයන් තීරණය කිරීමෙන් අනතුරුව ඒ සඳහා විකුණුම් අනුපාතිකයට ශත 10 සිට ශත 25 දක්වා මුදලක් එකතු කිරීමෙනි. එහෙත් විගණන නිරීක්‍ෂණයේදී විශේෂ අනුපාතිකයන් ඉල්ලා සිටින ලද හොඳම ගනුදෙනුකරුවන්ගෙන් උපයා ගත හැකිව තිබු ලාබය ඉක්මවා ගිය සාධාරණීයකරණය කළ නොහැකි රුපියල් මිලියන 268.12 ක ලාබයක් ලංකා බැංකුව උපයාගෙන තිබුණු බව හෙළි වී තිබේ. ඉහත කරුණු අනුව බැංකුවේ ව්‍යාපාර කටයුතු සඳහා සියයට 40 ආසන්න ප්‍රමාණයකින් දායකත්වය දරන ප්‍රධාන පෙළේ ගනුදෙනුකරුවෙකු හා ලංකා බැංකුවේ අයිතිකරු වශයෙන් ශ්‍රී ලංකා රජයට ඩොලර් මිලියන ගණනක් වන ගනුදෙනු සඳහා හොඳම අනුපාතිකයකු ලැබිය යුතු බව පෙන්වා දෙන විගණකාධිපති දෙපාර්තමේන්තුව ඉහත ගනුදෙනුව තුළින් බැංකුවේ ලාභය ලෙස මහජන මුදල් අදාළ නොවන පරිදි ලබාගැනිම පිළිබඳව රජය දැඩි සැලකිල්ලක් යොමු කළ යුතු බව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශේෂ වාර්තාවේ සඳහන්ව ඇත. මහජන බැංකුව දේශීය ආදායම් පනත උල්ලංඝනය කිරීම විශ්‍රාම භාර අරමුදල සඳහා නිකුත් කරන ලද ණයකර සඳහා 2009 වසරේ සිට 2014 වර්ෂ දක්වා ගෙවන ලද පොලී මත රුපියල් මිලියන 686.25ක බදු මුදලක් මහජන බැංකුව විසින් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට නොගෙවා පැහැර හැර තිබුණි. 2015 වසරේදී ද මහජන බැංකුව ඉහත ණයකර මත පොලී ගෙවීමේදී දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු රු. මිලියන 198.75ක් රඳවා ගනිමින් අදාළ බදු මුදලින් සියයට 10ක් අඩු කිරීමෙන් තොරව ගෙවීමෙන් මහජන බැංකුව දේශීය ආදායම් පනතේ විධි විධානයන් උල්ලංඝණය කොට තිබූ බව විගණන නිරීක්‍ෂණවලදී හෙළි වී තිබේ. මහජන බැංකු ශාලා ඉදිකිරීම් කටයුතු අයථා ලෙස නුසුදුසු කොන්ත්‍රාත්කරුවන්ට පිරිනැමීම. රුපියල් මිලියන 314.63ක් වැය කොට ඉදිකරන ලද මහජන බැංකු ශාලා 10ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය සඳහා තෝරාගෙන තිබූ කොන්ත්‍රාත්කරු කිසිදු වෘත්තීය නිපුනත්වයකින් තොර ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කිසිදු පළපුරුද්දක් නොවූ අයෙකු බව හෙළි වී තිබූ අතර අදාළ කොන්ත්‍රාත්කරුට එම ව්‍යාපෘතිය ලබා දී තිබුණේ කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව බව ද නිරීක්‍ෂණය වී තිබේ. මහජන බැංකු තංගල්ල කාර්යාල පරිශ්‍රය ඉදිකිරීම. අදාළ ශාඛා කාර්යාල පරිශ්‍රය ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 180.44ක් වැය කොට මිලදී ගෙන තිබූ ඉඩම පිළිබඳව රජයේ තක්සේරුකරු විසින් මාස 6කින් පසු කරන ලද තක්සේරුවේ දී එම ඉඩමේ වටිනාකම රුපියල් මිලියන 110.44ක් බව හෙළි වී ඇති අතර, රජයේ තක්සේරුකරුගේ තක්සේරුවකින් තොරව රුපියල් මිලියන70ක් වැඩියෙන් වැය කිරීමට සම්බන්ධ වූ නිලධාරීන් පිළිබඳව පුළුල් පරීක්ෂණයක් සිදුකරන ලෙස විගණකාධිපතිවරයාගේ විශේෂ වාර්තාවෙන් පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ. ජාතික ඉතිරි කිරීමේ බැංකුව ATM යන්ත්‍රයෙන් ව්‍යාජ ලෙස මුදල් ආපසු ගැනීම් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ව්‍යාජ ලෙස මුදල් ආපසු ගැනීම් 2015.12.31 වන දිනට රුපියල් මිලියන 94.35 ක්වු අතර එය 2014 වර්ෂය හා සැසඳීමේදී රුපියල් මිලියන 67.82ක වැඩිවීමක් ලෙස හෙළි වී තිබේ. එම මුදලින් රුපියල් මිලියන 42.985ක් ඉතිරි කිරීමේ බැංකුවේ ්ඔඵ යන්ත්‍ර මඟින් ව්‍යාජ ලෙස මුදල් ආපසු ගැනීම් බව ද විගණන නිරීක්‍ෂණවල දී අනාවරණය වී ඇත. මුල්‍ය ප්‍රකාශනවල අක්‍රීය තැන්පතු 1971 අංක 30 දරණ ජාතික ඉතිරි කිරීමේ බැංකු පනතේ 47 වන වගන්තියකට අදාළව වර්ෂ 10කට වැඩි කාලයක් අක්‍රීයව පවත්නා තැන්පතු අක්‍රීය තැන්පතු ලෙස සැලකිය යුතු අතර අදාළ තැන්පතු හිමිකම් නොපෑ තැන්පතු සංචිත ගිණුමට මාරු කළ යුතු ය. එහෙත් අදාළ සංචිත ගිණුමට මාරු නොකරන ලද රුපියල් මිලියන 1435.72 ක මුදලක් 2015.12.31 වන විටත් පවත්වාගෙන ගොස් තිබූ බව හෙළි වී තිබේ. ඊට අමතරව මහා භාණ්ඩාගාරයෙන් ජාතික ඉතිරි කිරීමේ බැංකුවට ලැබිය යුතු රුපියල් මිලියන 715.991ක මුදලකින් රුපියල් මිලියන 442.264ක මුදලක් නිරවුල් කිරිමකින් තොරව වර්ෂ 5කට ආසන්න කාලයක් හිඟ හිටව පැවතුණ බව ද අනාවරණය වී ඇත. ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ හා අන්තර් බැංකු ශාඛා අතර රුපියල් මිලියන 2542.14ක මුදලක් නොසැදුණු ශේෂයක් ලෙස දීර්ඝකාලීනව පැවත එමින් තිබූ බව ද විගණන නිරීක්‍ෂණවල දී හෙළි වී තිබේ. ඉඩම්වල නීත්‍යානුකූල හිමිකම් ලබා නොගැනීම. ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් ගොඩනැඟිලි ඉදිකිරීම සඳහා අනුරාධපුරය, ඇල්පිටිය, ගල්නෑව, කතරගම, කැකිරාව, කිරිඳිවැල, මොණරාගල සහ රත්නපුර ප්‍රදේශවලින් රුපියල් මිලියන 83.56 මුදලක් වැය කරමින් මිල දී ගෙන තිබූ ඉඩම් 8ක නීත්‍යානුකූල අයිතිය බැංකුව වෙත වසර 5 කට ආසන්න කාලයක් පවරාගෙන නොතිබූ බව ද තහවුරු වී තිබේ. කළමනාකරණය විසින් ඉදිරිපත් කරන ලද නාමලේඛන යොදා ගනිමින් ඉතිරි කිරීමේ බැංකුවේ පත්වීම් ලබාදීම ජාතික ඉතිරි කිරීමේ බැංකුවට තනතුරු බඳවා ගැනීමේදී 2005 වසරට පෙර අනුගමනය කරනලද තරග විභාග පවත්වා සම්මුඛ පරීක්ෂණයකින් අනතුරුව පත්වීම් ලබා දීමේ ක්‍රමය වෙනුවට 2005 වර්ෂයෙන් අනතුරුව පත්වීම් ලබා දී ඇත්තේ කළමනාකරණය විසින් සම්මුඛ පරීක්‍ෂණ මණ්ඩලයට ඉදිරිපත් කරන ලද නාමලේඛන යොදා ගනිමින් බව විගණන නිරීක්‍ෂණයේදී තහවුරු කරගෙන තිබේ. ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ බඳවා ගැනීම් පටිපාටියට අනුව සුදුසු අයදුම්කරුවන් වයස අවුරුදු 28ට අඩු විය යුතු වුවද 2005න් පසුව බැංකුවට බඳවා ගෙන තිබුණේ අවුරුදු 25 අඩු අයදුම්කරුවන් වූ අතර ඔවුන් බඳවා ගැනීමේදී විවෘත දැන්වීම් ක්‍රමය හා තරගකාරි විභාග අහෝසි කොට දේශපාලන අවශ්‍යතාවන් මත බැංකු පත්වීම් ලබාදීමේ ක්‍රමයක් ආරම්භ කොට තිබුණු බව විගණකාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද විශේෂ වාර්තාවේ සඳහන් කර තිබුණි. රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව ගිණුම් ගැළපීම් නොකර නොසසඳා පාලන ගිණුමට මාරු කිරීම රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ 2013.07.01 දින සිට 2015.12.31 දක්වා බැංකු ගිණුම්වලට අදාළ ගිණුම්වල ගැළපීම් කිරීමෙන් තොරව රුපියල් මිලියන 72.29ක මුදලක් නොසැලකිලිමත් ලෙස නොසැසදු පාලන ගිණුමට මාරු කොට තිබූ බව විගණනයේ දී හෙළි වී තිබූ අතර මෙම ක්‍රමය බැංකු විසින් අනුගමනය නොකළ යුතු අයථා ක්‍රියාවක් බව අවධාරණය කොට තිබුණි. සම්බන්ධිත පාර්ශව මුල්‍ය ගනුදෙනු ප්‍රකාශනවල හෙළි නොකිරීම රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ ප්‍රධාන කළමනාකරණ නිලධාරීන් ඔවුන්ගේ සමීප පවුල්වල සාමාජිකයන් ගේ මැදිහත් වීම් මත සිදු කෙරුණු රුපියල් මිලියන 52.66ක් ගනුදෙනු සිදු කර තිබුණ ද ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති අංක 24 යටතේ සම්බන්ධිත පාර්ශව මුල්‍ය ගනුදෙනු ප්‍රකාශනවල හෙළිදරව් කළ යුතු වූවත් එසේ හෙළිදරව් නොකිරීමෙන් එම බැංකුවේ ප්‍රධාන කළමනාකරණ නිලධාරීන් අවිධිමත් හා අයථා ක්‍රියාවක් සිදුකොට තිබූ බව අදාළ විශේෂ වාර්තාවේ සඳහන් කොට ඇත. නිවාස සංවර්ධන මුල්‍ය සංස්ථා (HDFC) බැංකුව සේවක අර්ථසාධක අරමුදලට අයත් රුපියල් මිලියන 10.77ක මුදල වසර 1 1/2ක අධික කාලයක් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් අයකර ගැනීම සඳහා හැකියාව තිබියදී, එම ණය අයකර ගැනීම සඳහා 2015.12.31 දින වන විටත් සතුටුදායක ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබුණි. HDFC බැංකුවේ අධ්‍යක්ෂකවරයෙක් ශ්‍රේණිගත නොවූ සමාගමක අධ්‍යක්ෂකවරයෙක් ලෙස කටයුතු කිරීම. ඉහත බැංකු විසින් ශ්‍රේණිගත නොවූ පුද්ගලික ආයෝජිත සමාගමකින් 11% ක වාර්ෂික පොලී අනුපාතය මත රුපියල් මිලියන 100 ක්වූ ත්‍රයිමාසික වාණිජපත්‍ර මිල දී ගෙන තිබූ බව විගණන නිරීක්‍ෂණයේදී හෙළි වී තිබු අතර අදාළ පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂකවරයෙකු ලෙස HDFC බැංකුවේ අධ්‍යක්ෂකවරයෙකු ද කටයුතු කරන බව නිරීක්‍ෂණය කරගෙන තිබුණි. සීමිත තැන්පත්කරුවන් ප්‍රමාණයක් මත බැංකුව යැපීමේ ද්‍රවශීලතා අවදානම 2015.12.31 වන දිනට HDFC බැංකුවේ සමස්ත ගනුදෙනු ස්ථාවර තැන්පතුවලින් 41% කට අධික ප්‍රමාණයක් තැන්පත් කරුවන් 11 දෙනෙකුට අයත්ව තිබුණු බව නිරීක්‍ෂණය වී ඇති අතර එවැනි සීමිත තැනපත්කරුවන් ප්‍රමාණයක් මත වැඩියෙන් යැපීම ඉතා ඉහළ ද්‍රවශීලතා අවදානමකට හේතුවක් බව විගණන නිලධාරීන් හඳුනාගෙන තිබුණි. නිලධාරීන් 20 දෙනෙකු අවධානය යොමු කිරීමකින් තොරව උසස් කිරීම HDFC බැංකුවේ පවතින සේවක සංඛ්‍යාව පිළිබඳව අවධානය යොමු කිරීමකින් තොරව 2015.01.01 දින සිට එහි කණිෂ්ඨ නිලධාරීන් 20 දෙනෙකු ජේෂ්ඨ කළමනාකරුවන් හා ඊට ඉහළ තනතුරුවලට උසස් කර තිබූ බව අදාළ වාර්තාවෙන් පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ. ප්‍රාදේශීය සංවර්ධන බැංකුව මිහින්තලය බැංකු ශාලාව නවීකරණය කිරීම ප්‍රාදේශීය සංවර්ධන බැංකුව මඟින් මිහින්තලය බැංකු ශාලාව නවීකරණය කිරීම සඳහා ප්‍රසම්පාදන පරිපාටියෙන් බැහැරව කටයුතු කර තිබූ අතර වැඩ නිම කිරීමේ සහතිකයක් ලබා ගැනීමෙන් තොරව කොන්ත්‍රාත්කරුට රුපියල් මිලියන 4.45ක මුළු මුදලම ගෙවා තිබුණු බව විගණන නිලධාරීන් තහවුරු කරගෙන තිබුණි. අවශ්‍ය ප්‍රමිතීන්ට අනුව අදාළ කාර්යය නිම කළ බවට ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ කිසිදු නිලධාරියෙකු සොයා බැලීමක් ද සිදු කොට නොතිබූ අතර අදාළ ගොඩනැඟිල්ල කිසිදු ප්‍රයෝජනයකට ගත නොහැකි තත්ත්වයකට පත් වී තිබීම නිසා අදාළ කොන්ත්‍රාත්තුව හේතුවෙන් බැංකුවට දැරීමට සිදුවන අලාබය මෙතෙක් ඇස්තමේන්තු කොට නොතිබුණි. උකස් අත්තිකාරම් නිරවුල් නොකිරීම ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ 2010/10 දරන කාර්යාල චක්‍රලේඛයට අදාළව උකස් තබන ලද සෑම රන් භාණ්ඩයක්ම උකස් තබන ලද දිනයේ සිට වසරක කාලයක් ඇතුළත බේරාගත යුතු අතර, අදාළ උකස් භාණ්ඩය බේරා නොගත හොත් පෙර දැනුම් දීමකින් පසු ප්‍රසිද්ධ වෙන්දේසියක් මඟින් අලෙවි කළ යුතු ය. අදාළ උපදෙස් බැංකු කාර්ය මණ්ඩලයට බලපාන නමුත් 2012-2014 වර්ෂය දක්වා කාලය තුළ එම බැංකුවේ බණ්ඩාරවෙල ශාලාවේ කාර්ය මණ්ඩලයේ 04 දෙනෙකු නිකුත් කරන ලද රුපියල් 2,529,750 ක උකස් අත්තිකාරම් නිරවුල් නොකර තිබූ බව විගණන නිරීක්‍ෂණයේ දී හෙළි වී ඇත. ලංකා පුත්‍ර සංවර්ධන බැංකුව වෙන්නප්පුව ශාඛාව ණය මුදාහැරීම. ලංකා පුත්‍ර සංවර්ධන බැංකුවේ වෙන්නප්පුව ශාඛාව විසින් 2015 වර්ෂය තුළ රැස්කරන ලද සමස්ත තැන්පතු සහ මුදාහරින ලද මුළු ණය සලකා බැලීමේ දී සමස්ත තැන්පත්වලින් 83% ක් හා මුළු ණය මුදල්වලින් 23% ක් 2015 දෙසැම්බර් මාසය තුළ සිදුකිරීම අසාමාන්‍ය තත්ත්වයක් බව නිරීක්‍ෂණය වී ඇති අතර, එහිදී ඉහත සඳහන් ගනුදෙනු සඳහා සත්‍ය භෞතික මුදල් චලනයක් සිදු නොවී ශාඛාවේ කාර්යය සාධනය වැඩිකර පෙන්වීම සඳහා නව තැත්පතු හා අත්තිකාරම් මවා පෑමක් සිදුකර තිබුණු බව අදාළ වාර්තාවේ සඳහන් කර ඇත. ව්‍යාජ අත්සන් යොදා ගනුදෙනු කරුවන්ගේ ඉතිරි කිරීම් තැන්පතුවලින් මුදල් ලබාගැනීම වෙන්නප්පුව ශාඛාව පිළිබඳ විගණන නිලධාරීන් සිදුකරන ලද විමර්ශනයක දී ඉතිරි කිරීම් තැන්පතුවල ගනුදෙනු කරුවන්ගේ ව්‍යාජ අත්සන් යොදා මුදල් ලබාගෙන තිබූ බව තහවුරු වී ඇත. තෝරාගත් සාම්පලයකට අනුව එසේ ව්‍යාජ ලෙස ඉතිරි කිරීම් ගිණුම් තැන්පත් කරුවන්ගේ ව්‍යාජ අත්සන් යොදා ගනිමින් ලබාගෙන ඇති මුදල රු.738138 ක් විය. බැංකු සභාපතිවරයා නීති විරෝධිව කළමනාකරණ කමිටුවල සාමාජිකයෙකු ලෙස කටයුතු කිරිම බලපත්‍රලාභී විශේෂිත බැංකු සඳහා යහපාලනයට අදාළ 2007 අංක 12 දරන බැංකු පනතේ විධිවිධානයන්ට අනුව ලංකා පුත්‍ර සංවර්ධන බැංකුවේ සභාපතිවරයා විසින් ප්‍රධාන කළමනාකරණ කමිටුවල නිලධාරීන් සෘජු අධික්‍ෂණයක හෝ කිසිදු ආකාරයක විධායක මට්ටමේ කාර්යයක නිතර නොවිය යුතු ය. එහෙත් බැංකු සභාපතිවරයා බැංකු කළමනාකරණ කමිටු කිහිපයකම සාමාජිකයෙකු ලෙස කටයුතු කිරිම තුළින් විධායක කාර්යයන් හි බැංකු සභාපතිවරයා නීති විරෝධි ලෙස මැදිහත් වී තිබූ බව ද විගණන නිරීක්‍ෂණවල දී හෙළි වී තිබුණි. ශ්‍රී ලංකා මහ බැංකුව බේරුම් කිරීමේ ක්‍රියාවලියට පෙනී සිටි විදේශීය නීතිවේදීන්ට අරමුණුවලට පටහැනිව ගෙවීම් සිදුකිරීම. ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ අවිධිමත් හෙජින් ගිවිසුමට අදාළව 2010 සිට 2014 වසර දක්වා කාලය තුළ බේරුම් කිරීමේ ක්‍රියාවලිය සඳහා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් නීතිපතිවරයාගේ උපදෙස් මත පෙනී සිටි විදේශීය නීතිවේදීන්ට මහ බැංකුව විසින් රුපියල් මිලියන 378.68 ක මුදලක් ගෙවා තිබුණි. ඊට අමතරව ශ්‍රී ලංකා මහ බැංකුව අවලංගු කිරීමේ කටයුතු සඳහා වන පරිපාලන වියදම් ලෙස ආයෝජන ආරවුල් නිරවුල් කිරීම සඳහා වන ජාත්‍යන්තර මධ්‍යස්ථානයට අදාළ වර්ෂයන්හිදී රුපියල් මිලියන 25.62ක් ගෙවා තිබූ බව විගණන නිරික්‍ෂණවල දී හෙළි වී තිබේ. 2015 වර්ෂය සඳහා විදේශීය නීතිඥ ගාස්තුවලට අදාළව ගිණුම්වල ප්‍රතිපාදනයක් සිදු කිරීමට රුපියල් මිලියන 13.08ක් ගෙවීමට ද ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කර තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව ආපසු ලබා ගැනීමේ පදනමකින් තොරව බැංකුවේ කාර්යභාරයන් සඳහා කිසිදු සම්බන්ධතාවයක් නොමැතිව අදාළ කාර්යයන් සඳහා ගෙවා තිබු රුපියල් මිලියන 417.38 ක මුදල බැංකුවේ අරමුණුවලට පටහැනි ගෙවීම් ලෙස විගණන නිලධාරීන් තහවුරු කර තිබුණි. ජාත්‍යන්තර උපදේශක සභාව සඳහා උපදේශක සේවා වියදම් උතුරු හා නැගෙනහිර පළාත්වල අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද කොමිසමට උපදෙස් ලබාදීම සඳහා හිටපු ජනාධිපතිවරයා විසින් 2014.07.15 දින අංක.1871/18 දරන අති විශේෂ ගැසට් නිවේදනය මඟින් පත් කරන ලද ජාත්‍යන්තර විශේෂඥයන් තිදෙනාට ශ්‍රී ලංකා මහ බැංකුව කිසිදු ගිවිසුමකින් තොරව රුපියල් මිලියන 256.5ක මුදලක් ගෙවා ඇති බව විගණන නිරීක්‍ෂණවල දී හෙළි වී තිබේ. අදාළ මුදල ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගෙවා ඇත්තේ අදාළ ජාත්‍යන්තර විශේෂඥයන් තිදෙනාගේ උපදේශක ගාස්තු, නවාතැන් ගාස්තු හා වෙනත් වියදම් සඳහා බව ද එම නිරීක්‍ෂණවල දී හෙළි වී ඇත. අදාළ රුපියල් මිලියන 256.5ක මුදල ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගෙවා ඇත්තේ ආපසු අය කරගැනීමේ පදනමකින් නොවන බව ද එම නිරීක්ෂණයේ දී හෙළි වී ඇති අතර එම මුදල් ගෙවීම ශ්‍රී ලංකා මහ බැංකුවේ අරමුණුවලට පටහැනි බව ද දැනුම් දී තිබේ.
Lanka Newsweek © 2024