Monday 14th of October 2024

English Tamil
Advertiesment


රන්ජා “SAITM”යයි- Dr නවරියන්ට අඳියි


2019-07-02 14338

 

 

(සුජිත් මංගල  ද සිල්වා)

හාස්‍ය,ත්‍රාසය,භීතිය සහ කුතුහලය සපිරි රන්ජන් රාමනායකගේ අලුත්ම චිත්‍රපටය වන “ඩොක්ටර් නවරියන්”දෙසැම්බර් මුල් සතියේ සිට රට පුරා සිනමාහල්වල ප්‍රදර්ශනය කිරීමට සියලු කටයුතු යොදා තිබේ.

රන්ජන් රාමනායක ප්‍රධාන චරිතයට පණ පොවන “ඩොක්ටර් නවරියන්”චිත්‍රපටයේ විශේෂ මාධ්‍ය දර්ශනය කොළඹ “තරංගනී”ශාලාවේදී හෙට (28) සවස 4.00 ට පැවැත්වේ.

ජනප්‍රිය සහ ප්‍රවීණ සිනමා නළු රන්ජන් රාමනායක මහතාගේ අධ්‍යක්ෂණයෙන් සහ නිෂ්පාදනයෙන් යුතු “ඩොක්ටර් නවරියන්”චිත්‍රපටයේ කතා සාරාංශය මෙසේය.  

නිර්වාන් සේනානායක (රන්ජන් රාමනායක) ගම්බද වැදගත් පවුලක එකම පුතා වෙයි. ඔහුගේ දෙමාපියන්ගේ (රෙක්ස් කොඩිප්පිලි සහ ශ්‍රියානි අමරසේන) එකම අපේක්ෂාව තම පුතු වෛද්‍යවරයකු වීමේ සිහිනය සැබෑකර ගැනීමයි. දෙමාපියන්ගේ අදහස ඉටු කරලීම සඳහා නිර්වාන් සේනානායක  තම ගම් පෙදෙස අතහැර කොළඹ වෙත සංක්‍රමණය වේ.

එහිදී ඔහුට  දැනෙනුයේ විවිධ දූෂණ සහ  අපරාධවලින් පිරි සමාජ ක්‍රමයක් කොළඹ ස්ථාපිතවී ඇති බවයි. නිර්වාන් සේනානායක  වෛද්‍යවරයෙකුවීම පසෙක තබා සිය හිතමිතුරන් පිරිසක් ද සමගින් මෙම සමාජ අසාධාරණයන්ට විරුද්ධව විවිධ අරගල කිරීමට පෙළඹෙයි. එනමුත් දෙමව්පිය අපේක්ෂාව ඉටු කොට නොදීම පිලිබඳවද ඔහු තුල බලවත් වූ සිත් තැවුලක් ද වෙයි. එනමුත් නිර්වාන් සේනානායක  කොළඹ සමාජය තුල Dr නවරියන් යන අන්වර්ථ නමින් පෙනී සිටිමින් විවිධ ක්‍රියාකාරකම් සමාජය හමුවේ සිදුකරයි.

සැබැවින්ම ඔහුගේ රෝගීන් බවට පත් වනුයේ අසාධාරණයට ලක්වූ ජනතාවයි. ඒ සඳහා විවිධ උපක්‍රම ඔහු විසින් භාවිත කරමින් සියල්ලන්හට සහනය ළඟා කර දීමට ක්‍රියා කරයි. මෙහිදී Dr. නවරියන් හට සැබෑ ලෙසම වෛද්‍යවරයෙකකුවීමේ අවශ්‍යතාවයක්ද සිතට පැනනගී. ඒ සිය දෙමාපියන්ට සහ  සමාජයේ අනෙක් කොටස්වල ට තෘප්තියක් වගේම  සමාජ සාධාරණත්වයක් ඇති කරලීම උදෙසායි.

එනිසා ඔහු පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකට විවිධ උපක්‍රම භාවිතා කරමින්  ඇතුලුවෙයි. එහි ප්‍රධාන වෛද්‍ය නිධාරියා හෙවත් Dean වික්‍රමසිංහ  (ශ්‍රීමාල් වෙඩිසිංහ) වෙතින් Dr නවරියන්ව අභියෝගයට ලක්වෙයි. ඒ අතරේ   Dr නවරියන් මෙම “ Dean”ගේ එකම දුව වෙත ආදරයෙන් බැඳෙයි.

සැබැවින්ම Deanගේ  දියණියද වෛද්‍ය වරියක් වන අතර Dr නවරියන් හා ඔවුනොවුන් කුඩා කල සිටම දැන හඳුනන බවක් ප්‍රේක්ෂක අපට සිනමා පටය තුලදී පෙන්වයි. එනමුත් කුඩා කල සිට තම ගමේ අසල්වාසීන් ලෙස ජීවත් වූ මොවුන් පසු කලක දුරස් වී ඇත, ඒ Dean සහ ඔහුගේ  දියණිය කුඩා කලම ගමෙන් කොළඹට පැමිණීම හේතුවෙනි.

මෙම චිත්‍රපටය පුරාවටම Dr නවරියන්, Dean වික්‍රමසිංහ හා Dr භාග්‍යා අතර සිදුවන විවිධ හැල හැප්පීම් ඔස්සේ චිත්‍රපටය විකාශනය වෙයි. Dean වික්‍රමසිංහ විසින් Dr නවරියන් බොරු දොස්තර කෙනෙක් බවත්,සමාජය රවටමින් සිටින බවත් කියා පාමින් ගැටුම් ඇති කර ගනියි. ඒ අතර Dr භාග්‍යා, Dr නවරියන් සමග ආදරයෙන් වෙලෙයි. Dr නවරියන් සමාජයේ පීඩීත පිරිස වෙනුවෙන් මිනිසුන්ගේ සිත් සුවපත් කරන්නෙකු ලෙස දැවැන්ත මෙහෙවරක යෙදෙයි.

විශේෂයෙන්ම Dr නවරියන් විසින් Dean වික්‍රමසිංහගේ හා වෛද්‍යවරුන්ගේ නොතකා හැරීමට ලක්වන රෝගීන් බොහෝ ප්‍රමාණයක් බෙහෙත්වලින් තොරව මානසික සුවය ඔවුන්වෙත ලඟාකර දෙමින් නිරෝගී අයවලුන් බවට පත්කරයි.

චිත්‍රපටය විසින් මිනිස් සමාජයට එමගින් විශාල පණිවිඩයක් නිකුත් කරයි. පුරා පැය දෙකක  කාල සීමාවක් තුල Dr නවරියන් චිත්‍රපටය විවිධ චරිත ඔස්සේ හාස්‍ය හා ඊටම නොදෙවෙනි වීර ක්‍රියා මතින් ප්‍රේක්ෂකයා වෙත අපූර්වතම කතා  පුවතක් එලි දක්වයි.

 අවසානයේ Dr නවරියන්ගේ කොළඹ ජීවිතයේ සැබෑ තත්වය දෙමාපියන් විසින් දැනගනු ලබන අතර ඔවුන්ගේ ආදරය Dr නවරියන් වෙත යොමුවේ. Dr නවරියන් Dr භාග්‍යා සහ  Dean වික්‍රමසිංහ යන  එකිනෙකා අතර තිබූ ගැටුමද සතුටුදායක තත්වයකින් අවසන් වේ.

රන්ජන් රාමනායක ෆිල්ම්ස් සහ ෆ්ලෑෂ් එන්ටර්ටේන්මන්ට් ඉදිරිපත් කිරීමක් වන රන්ජන් රාමනායකගේ අධ්‍යක්ෂණයෙන්  යුතු “ඩොක්ටර් නවරියන්”චිත්‍රපටයට රන්ජන් රාමනායක ,රුවන්ති රත්නායක, රෙක්ස් කොඩිප්පිලි ,ශ්‍රියානි අමරසේන,සරත් චන්ද්‍රසිරි, ශ්‍රීමාල් වෙඩිසිංහ ,විමල් කුමාර ද කොස්තා ,සදුන් විජේසිරි, නිල්මිනී කොට්ටේගේ,රොනී ලීච් ,සරත් කොතලාවල සහ  අකිලසද කැලුම් ඇතුළු නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙති.

ලාල් ප්‍රියදේවගේ සහ ශෝභාන්ගි පූර්ණිමාගේ තිර රචනයෙන් සහ දෙබස්වලින් යුතු “ඩොක්ටර් නවරියන්”චිත්‍රපටයට කලා අධ්‍යක්ෂණයෙන් ඒ බී සුමින්ද සිල්වා ද සංගීත අධ්‍යක්ෂණයෙන් දිනේෂ් සුභසිංහ ද කැමරාකරණයෙන් ගාමිණී මොරගොල්ලාගම ද සංස්කරණයෙන් ඒෂාන් මොටාගෙදර ද අංග රචනයෙන් රෝලන්ඩ් රොඩ්නි වැන්ටුවේස්ට් ද   ගායනයෙන් උරේෂා රවිහාරි,හෙක්ටර් ඩයස් සහ රන්ජන් රාමනායක ද ඇතුළු ශිල්පීන් සහ ශිල්පිනියන් රැසක් දායක වී සිටිති.

  [embed]https://www.facebook.com/ranjan.ramanayake.94/videos/171125226808400/[/embed]

Advertiesment