Sunday 24th of May 2026

English Tamil
Advertiesment


දූ දරුවන්ගේ අයිතිවාසිකම් රටේ මූලික අයිතිවාසිකම් ලෙස සංශෝධනය විය යුතුයි


2026-05-24 1287

 

දූ දරුවන්ගේ අධ්‍යාපනය සේම, පෝෂණය සහ ආරක්ෂාව පිළිබඳවත් වගකීම් සහගත වෙමු

 

- විපක්ෂ නායක අවධාරණය කරයි -

 

අද වන විට ආර්ථික, සමාජීය ගැටලු රැසකට ජන සමාජය මුහුණ දෙන බවත්, ජනතාවට පවුල් ඒකකය තුළ තම අවශ්‍යතා පවා සපුරා ගැනීමට නොහැකිව ඇති බවත්, එහෙත් දෙමාපියන් සෑම විටම දූදරුවන්ට මුල්තැන දීමේ වගකීම එළෙසම පවත්වා ගෙන යා යුතු බවත්, දූ දරුවන්ට ලැබෙන නිසි පෝෂණය, සෞඛ්‍ය සම්පන්න භාවය, අධ්‍යාපනය, සමාජ ආරක්ෂාව පිළිබඳ දෙමාපියන් වැඩි වශයෙන් අවධානය යොමු කළ යුතු බවත්, ඒ අනුව ළමා අයිතීන් රටේ මූලික අයිතියක් විය යුතු බවත්, එම දරුවන්ගේ අයිතීන් රට තුළ තහවුරු කළ යුතු බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ, කුලියාපිටිය නගරයේ පෙරපාසල් 11ක දූදරුවන් 550 දෙනකු සඳහා පාසල් බෑග් බෙදා දීම සඳහා කුලියාපිටිය නගර සභා ශාලාවේදී පැවැති උත්සවයක් අමතමිනි.

 
දරුවන්ගේ ආරක්ෂාව රැකවරණය තහවුරු කිරීම අපේ වගකීමක්

 

දේශයේ අනාගතය වන දූදරුවන් සම්බන්ධයෙන් විශාල වගකීමක් දෙමාපියන්ට ඇති බවත් මොවුන් රැකබලා ගැනීම, නිසි රැකවරණය ලබා දීම, ශක්තිය ආරක්ෂාව ලබාදීම‌ දෙමාපියන්ගේ වගකීමක් බවත් දියණියක් සිටින පියකු ලෙස තමාත් දරුවන්ගේ වැදගත්කම සහ දෙමාපියකු ලෙස එම වගකීම හොඳින් දන්නා බවත්, මේ දරුවන්ට ලබා දිය යුතු නිසි කරුණාව දයාව රැකවරණය ආදරය ආරක්ෂාව ලබාදෙන්නට සෑම අවස්ථාවකම කටයුතු කළ යුතු බවත් මෙහිදී විපක්ෂ නායකවරයා පැවසීය.

 
දරුවන්ගේ පෝෂණය ඉතා වැදගත්

 

දූදරුවන්ගේ අධ්‍යාපනය හා සෞඛ්‍ය ශක්තිමත් කිරීමට කළ හැකි උපරිම දායකත්වය ලබාදීමට කටයුතු කරන බවත්, පාසල් දරුවන්ට නිල ඇඳුම හා දිවා ආහාරය ලබා දුන්නේ රණසිංහ ප්‍රේමදාස මහතා බවත්, මේ අවස්ථාවේදී හෝ අවම වශයෙන් පෙරපාසල් දූදරුවන් සියලු දෙනාටම නිසි පෝෂණ වැඩසටහනක් ක්‍රියාත්මක විය යුතු බවත්, එය අප සියලු දෙනාගේම වගකීමක් බැවින් පෙර පාසල් මට්ටමින් දෙමාපියන් එක්වී හෝ නිසි ක්‍රමවේදයකට අනුව දරුන්ගේ පෝෂණය ඉහළ නැංවීමට කටයුතු කරන ලෙස තමන් ඉල්ලීමක් කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළා. පෙර පාසල් දූදරුවන්ට දිවා ආහාරය ලබාදීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් ලෙස සකස් විය යුතු බවත් සජිත් ප්‍රේමදාස මහතා දෙමාපියන් හමුවේ පෙන්වා දුන්නා.

 
මුල් ළමා විය අධ්‍යාපනය මීට වඩා ප්‍රමිතිකරණය විය යුතුයි

 

දරුවන්ගේ සෞඛ්‍ය, අධ්‍යාපනය සේම පෝෂණය හා ආරක්ෂාව ලබාදීමට අප කැපවිය යුතු බවත්, ළමා වෛද්‍ය විශේෂඥවරුන් බොහෝවිට සඳහන් කරන කරුණක් වන්නේ ඉපදුන දා සිට වසර 5 දක්වා වූ කාලය තුළ දූදරුවන්ගේ මොළයේ වර්ධනය 90%ක ඉලක්කය කරා යන බවත් අප රටේ මේ මොහොත වන විට 17,800කට වඩා පෙරපාසල් ඇති බවත් 21,500කට වඩා ගුරුවරුන් එහි සේවය කරන බවත්, 

28,0000කට අධික දරුවන් පිරිසක් ඒ හරහා පෙරපාසල්වල අධ්‍යාපනය ලබන බවත් ළමා වෛද්‍ය විශේෂඥවරුන් ප්‍රකාශ කර ආකාරයට දරුවාගේ මොළය වර්ධනය වන මේ කාලයේ තුළ මෙරට ක්‍රියාත්මක වන්නේ අවිධිමත් මුල් ළමා විය සංවර්ධන වැඩසටහනක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

 
අන්තර්ජාතික ප්‍රමිතියට මුල් ළමා විය සංවර්ධනය විය යුතුයි

 

මෙය පළාතෙන් පළාතට වෙනස් බවත් පළාත් මට්ටමින් නිකුත් කරන ප්‍රඥප්තීන් හරහා විවිධ විෂය නිර්දේශ ක්‍රියාත්මක වන නිසා මීට වඩා ක්‍රමවත් සහ විධිමත් අධ්‍යාපනයක් මුල් ළමාවියේ සිටම ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ යුතු බවත්, ලෝක ප්‍රමිතිය දෙස බලන විට K to 12 යන සංකල්පය අනුව එනම් මුල් ළමා වියේ සිට 12 වසර දක්වා දරුවන්ගේ අධ්‍යාපන ක්‍රමය විධිමත් ව සහ ශක්තිමත් විය යුතු බව, එය එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා පිළිගෙන ඇති බවත්, මේ දරුවන් තවත් වසරකින් හෝ දෙකකින් පාසල් අධ්‍යාපනයට යොමුවන බවත්, ඒ නිසාම මේ දරුවන් වෙනුවෙන් තව, තවත් කැපවීම දෙමාපියන්ගේ යුතුකම බවත් සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළා.

Advertiesment