Thursday 4th of December 2025

English Tamil
Advertiesment


ජාතික විපතින් රට ගොඩගැනීම සඳහා සියලු දෙනා එකට එක් විය යුතුයි 


2025-12-03 1272

 

-කරු ජයසූරිය අවධාරණය කරයි-

 

මුහුණ දී ඇති ජාතික විපතින් රට ගොඩගැනීම සඳහා සෑම පාර්ශ්වයක්ම එකට එක් විය යුතු යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ නායක සහ ශ්‍රී ලංකාභීමාන්‍ය කරු ජයසූරිය මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර සිටින අතර එම නිවේදනය මෙසේය.

මෑත යුගයේ රට මුහුණ දුන් දරුණුතම විනාශයට පසුගිය සතියේ ශ්‍රී ලංකාව ගොදුරු විය. අද වන විට ගංවතුර හා නාය යෑම තර්ජන  යම්තාක් දුරකට පහව යමින් තිබුණ ද එහි ඵල විපාක තවත් බොහෝ කාලයකට බලපෑම් එල්ල කරනු ඇත. මෙම තත්ත්වය හමුවේ රටක් ලෙස අප මුහුණ දිය යුත්තේ සාමුහික අධිශ්ඨානයකිනි. එහිදී සියලු ජන කොටස් ජාතික ආගමික හෝ දේශපාලන භේදයකින් තොරව එක් විය යුතුව තිබේ. එසේ නොවුනහොත්  එහි ඵළවිපාක ඊළග පරපුරට ද  දැරීමට සිදු වනු ඇත.

සිදු වූ ජීවිත හා දේපල විනාශය මෙන්ම බොහෝ දෙනකුගේ ජීවනෝපායට ද මෙයින් විශාල හානි සිදුවිය. ගොවි, ධීවර ,කම්කරු, වෘත්තික, ව්‍යාපාරික ආදී සෑම ක්ෂේත්‍රයකටම මෙහි ආදීනව බලපානු ඇත. මෙයින් මිදීම සඳහා දීර්ඝ කාලීනව එකඟත්වයෙන් යුතුව සැලැස්මක් සැකසිය යුතුව තිබේ.

එහිදී ඉතාමත්ම හදිසි කටයුත්තක් විය යුත්තේ පීඩාවට පත් ජනතාවට හැකිතාක් දුරට ආහාරවලින් පෝෂිත කිරීමත්, මෙවැනි වසංගතයකට පසු ඇතිවන රෝග පීඩාදියෙන් ජනතාව මුදාගැනීමත් ය.

රටේ පිහිටි බොහෝ ළිං අපවිත්‍ර වී ඇති හෙයින් පිරිසිදු ජලය ලබා ගැනීම සඳහා ළිං පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් වහා ක්‍රියාත්මක  කිරීමට බලධාරීන්ගේ අවධානය යොමු වනු ඇතැයි අප අපේක්ෂා කරන්නෙමු. එසේ නොවුනහොත් බෝවන රෝග ඇතිවීමට ඉඩ ඇත. මෙහිදී ස්වේච්ඡා සංවිධානවලට විශාල කාර්යභාරයක් ඉටු කළ හැකිය. එහිදී  ශ්‍රී ලංකාව ස්වාධීන මිත්‍ර රටක් වශයෙන් මීට ඉහත බොහෝ අවස්ථාවල අන්තර්ජාතික ප්‍රජාවගේ සහාය ලබාගෙන ඇත.  කීර්තිමත් විදේශ සේවයක් ඇති අප රටට මෙහිදී තම සම්බන්ධතා  උපයෝගී කර ගත හැක.

ජනතාවගේ ජීවන තත්ත්වය පවතින්නේ එම රටේ ධන උත්පාදනය අනුවය. (Wealth Generation) එහෙයින් ජන ජීවිතයට බලපාන හා රටේ ජාතික ධනය උපයා ගැනීමේදීත් කිසිම ආකාරයකින් බාධා ඇති කිරීම රටට හානිකර බව කරුණාවෙන් පෙන්වාදීමට කැමැත්තෙමු.

මෙහිදි රටක් වශයෙන් අප අවධානය යොමු කල යුතුව ඇති තවත් එක් වැදගත් කරුණක් තිබේ. එනම් දේශගුණික විපර්යාස පිළිබඳව සිදු කර ඇති විද්‍යාත්මක පුරෝකතනයන්ට අනුව ආසියානු කලාපයේ රටවලට ඇති වන බලපෑම සැළකිල්ලට ගනිමින් ලෝකයේ බලවත් රටවල් ද දායක කරගනිමින් පරිසරය රැකගැනීමට මැදිහත්වීම උදෙසා ආසියානු රටවල පෙළගැස්ම ඉතා වැදගත් විය හැකි අතර එහි දි ශ්‍රී ලංකාවට පුරෝගාමි කාර්යභාරයක් සිදු කල හැකි ය. 

ලෝකයේ වැඩියෙන්ම නිවාඩු ඇති අඩුවෙන්ම වැඩ කරන රටක් වශයෙන් ලංකාව හඳුන්වා දී ඇති පරිසරයක වැඩවර්ජන, අකුරට වැඩ ආදි ක්‍රියාදාමයන් ජනතාවට කෙරෙන අසාධාරණයක් ලෙස අපි දකිමු. කොරියාව, ජර්මනිය, ජපානය ආදී රටවල ජනතාව අද උසස් ජීවන තත්ත්වයකින් ජීවත් වන්නේ ඔවුන්ගේ පෙර පරම්පරාව අතීතයේ කළ කැපකිරීම් නිසා ය. මෙම අර්බුදකාරී අවස්ථාවේ මෙවැනි හැඟීම්  සියළුම පාර්ශ්වයන් තුළ ජනිත වේවායි  අප ප්‍රාර්ථනා කරන්නෙමු.
 

Advertiesment