දිට්වා සුළි කුණාටුව සහ ඉන් පසුව ඇති වූ ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ අරමුණින් ලෝක බැංකුවේ ශ්‍රී ලාංකේය නියෝජිත පිරිසක් සමඟ සුවිශේෂි හමුවක් අද කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙම හමුව සඳහා ලෝක බැංකුවේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා දේශීය කළමනාකරු වන Gevorg Sargsyan සහ ලෝක බැංකුවේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් නිලධාරී අසේල දිසානායක මහතා එක් විය.
මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පවතින ආපදා තත්ත්වයේ වර්තමාන බලපෑම සම්බන්ධයෙන් ලෝක බැංකු නියෝජිතයන් දැනුවත් කළ අතර එහි දී මේ වන විට මිනිස් ජීවිත හා දේපල මෙන්ම යටිතල පහසුකම් ද විශාල වශයෙන් විනාශ වී ඇති ආකාරය පෙන්වා දුන්නේය. ඒ අනුව එම යටිතල පහසුකම් නැවත ප්‍රතිශ්ඨාපනය කර ජන ජීවිත යථා තත්ත්වයට පත් කර ගැනීමටත් විනාශ වී ගිය දේපල සහ ව්‍යාපාර නැවත නගා සිටුවා ජනතාව නැවත සවිබල ගැන්වීමටත් ආධාර උපකාර සිදු කරන ලෙස ලෝක බැංකු නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටියේය.
පසුගිය කාලයේ පැවැති ආර්ථික බංකොලොත්භාවයෙන් බැට කෑ ජනතාවට, ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට සහ ව්‍යවසායකයන්ට මෙම ආපදා තත්ත්වය නිසා නැවත වරක් විශාල බලපෑමක් සිදුව ඇති බැවින් ඔවුන් නැවත නඟා සිටුවිය යුතු බැවින් ඒ වෙනුවෙන් සහාය ලබා දෙන ලෙසත් විපක්ෂ නායකවරයා මෙහි දී ඉල්ලා සිටියේය.
Lanka Newsweek © 2025