Thursday 4th of December 2025

English Tamil
Advertiesment


ශ්‍රී ලාංකික දිනය පොදු ජාතික යථාර්තයක් බවට පත්කරන්න


2025-12-01 1243

 

(ආචාර්ය ජෙහාන් පෙරේරා)    



සෑම ප්‍රජාවක්ම එකට එක්කිරීම සඳහා ජාතික වේදිකාවක් ලෙස දෙසැම්බර් 12-14 දිනවල කොළඹදී ශ්‍රී ලංකා දින සැමරුම පැවැත්වීමට රජය සැලසුම් කරමින් සිටී. අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද මෙම උත්සවයේ අරමුණ වන්නේ එකමුතුකම ප්‍රවර්ධනය කිරීමයි. ශ්‍රී ලංකා දිනය සඳහා වන සූදානම පිළිබඳව දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ දැනුවත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෑතකදී ඔවුන් සමග සාකච්ඡා කිරීම ඵලදායී පියවරකි. මෙවැනි මැදිහත්වීම් විශ්වාසය ශක්තිමත් කරන අතර, සාමූහික හිමිකාරිත්වය පිළිබඳ හැඟීම පුළුල් කරයි.

මෙම උත්සවය පිටුපස ඇති දැක්ම වනුයේ දේශපාලන, ආගමික හෝ සංස්කෘතික අනන්‍යතාව නොසලකා සියලුම පුරවැසියන්ට සමාන බව දැනෙන, ගෞරවයට පාත්‍ර විය හැකි අවකාශයක් නිර්මාණය කිරීමයි. රටේ පූර්ණ විවිධත්වය පිළිබිඹු වන පරිදි විරුද්ධ පක්ෂ සහ සිවිල් සමාජ සංවිධාන ද ඊට ඇතුළත් කිරීම ඉතා වැදගත් බව ජාතික සාම මණ්ඩලය විශ්වාස කරයි.

ගැටුම්වල දුෂ්කරම කාලවලදී පවා විශේෂයෙන් සිවිල් සමාජ සංවිධාන සංහිඳියාව සහ ප්‍රජා සහභාගීත්වය සඳහා සහාය වී ඇත. ශ්‍රී ලංකා දිනය ප්‍රවර්ධනය කිරීමට උත්සාහ කරන වටිනාකම් ඔවුන් දිගු කලක් ආරක්ෂා කර ඇත. ඔවුන්ගේ අත්දැකීම්, බිම් මට්ටමේ කටයුතු කිරීම සහ ප්‍රජාවන් අතර සම්බන්ධතා ගොඩනැගීමේ දිගු වාර්තාව, මෙවැනි ජාතික මුලපිරීම්වල සාර්ථකත්වයට දායක වීමට ඔවුන් වැදගත් ස්ථානයක තබයි.

1325 වැනි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනාවේ 25 වැනි සංවත්සරය සනිටුහන් කරමින් යුද්ධයෙන් පීඩාවට පත් කාන්තාවන්ගේ සංගමය සහ නිදහස් හා සාධාරණ මැතිවරණ සඳහා වූ ජනතා ක්‍රියාමාර්ගය සමඟ මෑතකදී පැවති උත්සවයකදී විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා අදහස් දක්වමින්, ජාතික අභියෝගවලට මුහුණදීමේදී සිවිල් සමාජයට මිත්‍රයෙකු විය හැකි බව පිළිගත්තේය. දුර සිට සංවාද කිරීම වෙනුවට, ඔහු එක්ව වැඩ කිරීමට සංඥා කළ අතර, දුර එමගින් සහයෝගීතාව කරා ගමන් කිරීමේ හැකියාව යෝජනා කළේය.

මෙම ධනාත්මක වෙනස තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකා දිනය අවස්ථාවක් ලබාදෙන බව අපි විශ්වාස කරමු. උත්සවයේ අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහා, සැලසුම් කිරීමේ ක්‍රියාවලිය එය සැමරීමට උත්සාහ කරන මූලධර්ම පිළිබිඹු කළ යුතුය. එබැවින්, සූදානම ඉදිරියට යන විට, සිවිල් සමාජ සංවිධාන ව්‍යුහගත ආකාරයකින් ඊට සම්බන්ධ කරගන්නා ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිමු. සහයෝගී ප්‍රවේශයක් මගින් සංහිඳියාව රජයේ ඉලක්කයක් පමණක් නොව එය සියල්ලන් නියෝජනය වන ජාතික උත්සාහයක් බව පෙන්නුම් කරනු ඇත.

Advertiesment