මේ අහන්න..! ඇත්තෙන්ම ඔබට හැකි නම් මඳක් මට ඇහුම්කන් දෙන්න, මට හැකි වේවි ඔබට යමක් පවසන්න. එන්න සබඳ නැඹුරු වෙන්න මා දෙසට. මං උඹේ කණට කොඳුරන්නම්..!. ඔබත් මමත් අප දෙදෙන අතර පමණක් ඔබ ඒ කතාව රඳව ගන්න. අපි අත්දැකීම නිහඬව විඳිමු. මට ඔබ විශ්වාසයි. ඇත්තටම උඹටත් මේ ලෝකයේ මහා මුසල කමක්-පාළු හුදෙකලාවක් දැනෙන බව මං දන්නවා. මහා තනිකමක් සේම හදවත පිච්චී ගෙන විදුලියක්-අකුණු සැරක් සේ ක්ෂණිකව මොළයටම වදින වේදනාත්මක තනිකමක් උඹට දැනෙනවා ඇති.
උඹ දන්නවා අපට කිසිවක් ගැන ස්ථිරවම යමක් ප්‍රකාශ කරන්න නොහැකි බව. ලෝකයෙහි ඇත්තේ අවිනිශ්චිතාර්ථ පමණක් බව. අසීමාන්තිකව පවතින මේ උදාසීනත්වය-මූසල කාලකන්නිකම කැමැත්තෙන් හෝ අකමැත්තෙන් තොරව උඹත් තොල ගාන්නට ඇබ්බැහි වූවකු බව මං දන්නවා. ඊට හේතුව උඹේත් මගේත් පාලනයකින් තොරව දෝරේ ගලන සිතුවිලි සුනාමියයි. එසේනම් සිතන්න, මා ඔබමයි කියා. ඔබේ ම අවිඥාණය යැයි කියා.
එදින බ්‍රහස්පතින්දාවකි. වේලාව රාත්‍රී 8.00 පමණ විය. අවට ප්‍රදේශය ළඳු කැලෑවලින් ගහන හෙයින් එම ප්‍රදේශය ගිල ගෙන රාත්‍රී අන්ධකාරය පැතිර තිබිණි. ඇයගේ සිතෙහි මා කෙරෙහි වූ ආදරය-ආශාව-ගෞරවය ගැන ඈ කියූ සැටියෙන් සමාධිගතව සිටී මට මහ මූදේ හඬත්-රැහැයියන්ගේ හඬත් ඈතකින් සේ ඇසුණ නොඇසුණා මට මතකය. ඒ හඬ මාගේ දෙසවන්හි නිශ්ශබ්දතාව බිඳ හෙළීමට අපොහොසත් විය. මම එපමණටම සමාධිගතව උන්නෙමි.
අපි එකිනෙකා ඇඟෙහි දැවටෙමින්, දෑතින් දෙබඳ කිටි කිටියේ බැඳ තදින් වැළඳ, තුරුළුව සෙමින් සෙමින් ළයාන්විතව පියවර නැගුවෙමු. අප සමඟ ආ මිත්‍රයා ද අපට ඉඩ දී අපට ඉදිරියෙන් යමින් ඔහුගේ ද පාළු-හුදකලා-වේදනාත්මක ලෝකය විෂ කටු තුඩින් ඇන ඉකි ගස්වයි. බොහෝ වේලාවක් ඒ සිතුවිලි වින්දනය කිරීමෙන් ඔහු ද මත් බවින් පෙළෙන්නට විය.
සිය ආදරවන්තිය දමිළ කෙල්ලක් වීම බලවත් පාප කර්මයක් යැයි ඔහුට බොහෝ විට සිතෙන්නට ඇත. ඒ මන්ද ඔහු මා සමග කියා සිටී පරිදි ඔහුගේ දෙමාපියන් සක්කිලි ගැහැණියක් සමඟ එක වහලක් යට ජීවත් වීමට අකමැතිය. දිවා රෑ මංසන්ධිවල-පදික වේදිකාවල එළවළු-පළතුරු වෙළඳාම් කරන සිය දෙමාපියන් නුවණ මලින් නොව මුව වසා නොබිණීමෙන් ඔවුන්ගේ ස්වර්ගය දීමට ඔහු නිහතමානී වී ඇත. ඔහු මා සමග කියූ පරිදි ඔහු බෙහෙවින්ම වෙහෙසට පත්ව සිටියේ මෙවැනි ආදර සම්බන්ධයක් ඇති කර ගත්තේ මන්දැයි යන ප්‍රශ්නයට මගතොටේත්-අහල පහලත් එක එකාට පිළිතුරු දෙන්න සිදු වීමෙනි. එදින මහත් වෙහෙසකාරී නොසන්සුන් බවකින් ඔහු මා සොයා ඇවිත් සිටියේ ඒ රාත්‍රිය අප නිවසේ වසා සතුටු සාමීචියේ යෙදී පසුදා උදෑසනම සියල්ල කාලයට භාර දී දුර බැහැරක වෙසෙන සිය සොහොයුරාගේ නිවසට වී ටික දිනක් ගත කිරීමේ අටියෙනි.
ඇය බොහෝ දේ පවසන්නී ය. මා ද ඇයගේ කතා සරිත් සාගරයේ ඉතා අවධානයෙන් සේම බොහෝ ආශාවෙන් අඩවන්ව ගිලී ගොස් ය. ඈ හද පිරි සතුටින් ඉපිලෙන සිතින් මා අභ්‍යන්තරයටම පිවිසෙන්නී මා ද ඇයගේ ලෝකයේ දිය වී ගොස්ය. මෙවැනි බොහෝ අවස්ථාවල අප සිරුරු-සිතුවිලි සහ හදවත් විනිවිද එකිනෙක හරහා ගොස් එකම භාවයක් නොවන්නේ මන්දැයි නොයෙක් අවස්ථාවල අපි කල්පනා කළෙමු. එසේම කල්පනා කරන්නට ඇත.
බොහෝ ප්‍රමාද වී තිබුණි. අප එකිනෙකාට නොපෙනුණේ හාත්පස ඝන අඳුර නිසාය. ගෙදරින් අසන හරස් ප්‍රශ්න- දෙමාපියන්ගේ සහෝදර සහෝදරියන්ගේ එරවිලි-රවිලි-ගෙරවිලි මට මොහොතක දු සිහි නොවිණි. ගැස්සිලි-පිප්පිලි-එරවිලි-ඇනුම්පද සේම සමහර විට එදින රාත්‍රී වේල පවා අහිමි වන වග ඇයට ද සිහි නොවුණු සෙයකි. මොහොතකට මගේ සිත නතර වුණි. මම සිතුවෙමි. "නිලා, කොහොමද දැන් අපේ පිටිපස්සෙන් කෝච්චියක් ආවොත්" නමුත් මා ඒ සිතුවිල්ල වචනයට නොපෙරළන්නට වග බලා ගත්තේ ඇයගේ කතාවට බාධාවක් වන හෙයිනි.
ඇත්තටම එවැන්නක් සිද්ධ වුණොත්..? එහෙම නම් අප වගේ පෙම්වතුන්ට ඊට වැඩි දඬුවමක් තියෙයිද..? එසේ වී නම්,
"මූ අපිව රවට්ට රවට්ටා ඕවා තමයි කරලා තියෙන්නේ. මූට මගුල් විසේ ගහලා, පණ්ඩිතකම නම් තියෙනවා මහා ලොකුවට. කොච්චර කැතද මං අහන්නේ. මිනිස්සුන්ට කොහොමද අපි මුහුණ දෙන්නේ."
"ඊට වැඩිය හපන්නේ මේ කෙල්ලෝ. මං අහන්නේ රෑ පානේ කෙල්ලෝ ඇවිදිනවද කොල්ලොත් එක්ක ඔය විදිහට. නැහැදිච්ච කෙල්ලෝ." "අනේ අපිත් ගෑනු ළමයි හැදුවා, ඇස් දෙකේ තියා ගෙන අනේ හැදුවේ. ඔහොම තමයි අනේ දෙමව්පියෝ. ඒකට අපි තමයි මේ"
"මාර සීන් එක ඕයි. අරූ කෙල්ලත් එක්ක කෝච්චියට හැප්පිලා ලු නේ. මම නම් කියන්නේ මචං නියම පනිෂ්මන්ට් එක. ලව් කරන්න තැන් නැද්ද බං. අපිත් ලව් කරනවා.යකෝ ඉතිං අපිවත් හැප්පෙන්න එපැයි. අනික කෝච්චියක් එනකං මුං දෙන්නා නිදිය ගෙන ද බං හිටියේ." "මම නං කියන්නේ මචං ඕකේ මොකක් හරි වෙනම දෙපාර්තමේන්තුවක් තියෙනවා. නැත්තං ඉතින් තුන්දෙනාටම කෝච්චියේ සද්දේ ඇහුන් නෑ කියන්නේ. මාර විහිළුවක් නේ ඕයි."
අහෝ..! ඒ වගේ දෙයක් සතුරෙකුට වත් සිද්ධ වෙන්න නරකයි. අපි සෙමින් සෙමින් තොඳොල් වෙමින් පියවර එසවීමු. ක්‍රම ක්‍රමයෙන් මහා පාළුවක්-මූසල කමක් සමඟ විශාල අවිනිශ්චිත බවක් දැනුණි. මං මුලා වූ ස්වභාවයත්-අනාරක්ෂිත හැඟීමත් අප බෙහෙවින් පෙළන්නට විය.
මේ මහා විශාලවූ-අනන්ත වූ ද-අප්‍රමාණ වූ ද භයංකර අහස් කුස යට ඝන අඳුරේ අපි තිදෙන පමණක් දුම්රිය මාර්ගයේ ගමන් කරමු. ඉතාම ඉතා ඈතින් පළඟැටියන් රැසකගේ රැස් ලෙස අතු පතරින් දිස් වූ විදුලි බල්බ ආලෝක, මේ සියලු හැඟීම් වැඩි කරන්නට විය. අප අභ්යන්තරයන්හී මේ හැඟීම් වැඩි වැඩ-නැගි නැගී-මෙලවි මෙලවී සීමාව ඉක්මවා යමින් තිබිණ. ඉඳින් තවත් නම් යා නොහැකිය. පියවරක් හෝ ඉදිරියට නොතබාම අපි දෙදෙන හැරී පිටුපස බැලීමු.
ඒ අපේ දෙනෙත් නම් නොවන්නේය. විශ්වාස කළ මැනැවි, සැබැවින්ම ඒ අපේ දෙනෙත් නම් නොවන්නේය. අපට අදාළ දසුනක් ද නොවන්නේය. මුළු ලෝකයම පෙරළී ගෙන අප පිටුපසින් එනවාක් සේ දැනිණ. අහසටත්-පොළොවටත්-වටපිටාවටත්-මේ සියල්ලටමත් මහා විශාල වැරදීමක් යැයි මම සිතුවෙමි. මෙසේ සිදු වන්නට නොහැකි බවත්, මේ සිද්ධ යන දේ මහා විශාල වැරදීමක් බවත් මම මුළු ලෝකයටම-විශ්වයටම පැවසුවෙමි.
ඈ මා හැර නොගියාය. අප දෙදෙනම ඉදිරිය බැලීමු. එවිටත් මා ඉදිරියේ ගමන් කරනවා මම දුටිමි. මම මාගේ මිත්‍රයා අසලින් ඔහු සමග ඉතා නිදහස්ව ගමන් කළා මම දුටිමි. මා ත්‍රස්ත විය. ඉදිරියෙහි ඉතා නිදහස්ව ගමන් කරන මගෙන්ම මම ඇසුවේ මේ සිදු වන්නේ කුමක්ද-ඒ කෙලෙස ද කියාය. ඔහු මා අභ්‍යන්තරයේ සිට මාගේ සමාධියෙන් මුසපත්ව බොහෝ දුර ගොස් සිටී සෙයකි. මා එක් තැනකය. එමෙන්ම මා මට බොහෝ ඉදිරියෙන් තවත් තැනක ය. ඔහු පිටුපස නොබැලුවේය. දිගටම හුදෙකලාව නික්ම ගියේය.
මේ සිදු වෙමින් පවතින්නේ කුමන යථාර්තයක්ද..? ඒ කවුද..? කෙසේද..? කෙසේ හෝ මා ඔහුගෙන් එසේ ඇසුවේ ඇයි..? නිසි සංජානනයක් ඔහුත් මාත් අතර සිදු නොවුණි. ඈ මාගේ මිතුරාට ද කෑ ගැසීමට තරම් මානුෂික වූවාය. නමුත් ඔහු පියවි සිහියට නාවේය. මා ඇය ඇද දැමීමි. දුම්රිය සුළං වේගයෙන් මා ගසා වීසි කර ගෙන අප මිත්‍රයා යට කර ගෙන ඉදිරියටම ඉතා ඈතින් ඈතට ඇදුණි. මා උඩින් වීසි වී ඈ වැටී හුන් ළඳු කැලයේ ඇය ළගටම වැටුණි. මේ සියල්ල නෙතු පිල්ලම් දෙකකින් සිදු විය. කාලය ඉතා දීර්ඝ ද ක්ෂණික ද විය. කාලය ඇතුළත තව දුරටත් කාලයම විය.
දීර්ඝ හෝ ක්ෂණික නොවීය. ඒ දෙකම විය. ඒ කාලයම විය. දීර්ඝ හෝ ක්ෂණික අර්ථයන් එහි නොවීය. එම කාලය එක ලෙස අසීමාන්තිකව පැවතුණි. අපේ ඇස් පියවී තිබුණද-විවර වී තිබුණද යන්න අපි නොදනිමු. නමුත් අපේ ඇස් අත්වින්දේ සාමාන්‍ය අඳුරක් නොව. නමුත් අප දකින-අප අත්විඳින අඳුරේම සම්මිශ්‍රණයක් එහි විය.
එමෙන්ම අප දකින, අප අත්විඳින අසාමාන්‍ය අඳුර ද එසේම එහි සම්මිශ්‍රණය වී තිබිණ. අඳුර සහ ආලෝකය දෙකක් නොව එකක් ලෙස පැවතුණි. අඳුර නම් ආලෝකය විය. ආලෝකය නම් අඳුරම විය. ඒ දෙකම එකක් විය. අඳුර සහ ආලෝකයේ විසංවාදී අර්ථයන් එහි ශූන්‍ය වී තිබුණි. එහි වූයේ "අඳුරු-ආලෝකයකි". නමුත් විෂය ලෝකයේ ආශ්රයෙන් ඒ තත්ත්වය අසාමාන්‍ය අඳුරක්ම පමණි.
අප දෙදෙනා අඳුරේ අතපත ගා බඩ ගා ඇවිත් දෑත් තදින් අල්ලා ගතිමු. තව දුරටත් මා ජීවත් නොවන්නේ යැයි ඇය පැවසුවාය. මාද අන්දමන්ද වී සිටීමි. අපි වේදනාවෙන් මොර දීමු. දුක් වීමු. හැඬීමු. බිය වීමු. එමෙන්ම කලබල වීමු. ඒ සියල්ල නිරන්තර සිදු වෙමින් යන අතරතුර එක් මොහොතක එක්සිත්ව අප දෙදෙනා අප ශරීරයන් දෙස බලා සිටියෙමු. අපි ඔහේ මැරී වැටී සිටි අයුරු අපි දුටිමු. ව්‍යවහාර වශයෙන් එම කාලය ඉතා දීර්ඝය.
නමුත් එම මොහොතේ ඒ ඉතා දීර්ඝ කාලය අපට නිර්මාණය වූයේ අපේ හැඬීම්-වැළපීම්-මොරදීම්-භිය වීම් සහ කලකිරීම් අඛණ්ඩව සිදු වෙමින් පවතින මොහොතේදීම ය. අක්‍රීය මළ ශරීර දෙස බලා අපි නිසොල්මන්-ඒකාකාරී-විහිදුණු ස්වභාවයක ඉතාමත් ඉතා දීර්ඝ කාලයක් ගත කළෙමු. මුළු අවකාශයේම පැතිරී සිටීමු. අපි විශ්වයේ සතර කෙළවර ව්‍යාප්තව එක වර එකම මොහොතක සියල්ල දැකීමු. වින්දනය කළෙමු. අපි අසීමාන්තිකව-අප්‍රමාණව සිටියෙමු. මට මහත් වූ තෘප්තියක්- අස්වැසිල්ලක් දැනුණි. සුළඟ සේ ගසා ගෙන යයි. වළාකුළු සේ පා වෙයි. ජලය සේ ගලා ගෙන යයි. නිදහස්ය. නිවහල් ය. එමෙන්ම අපේ හැඬීම්-දෙඩීම්-ආකූල ව්යාකූලකම් ද අනෙක් පසින් නිරන්තර සිදු වෙයි.
නමුත් ඒ අතරම මෙසේ ද සිදු වෙයි. දෙකම එකම මොහොතක එකම කාල අංශු මාත්‍ර අංශු කැබැල්ලක සිදු වෙයි. එනම් අපි එකම මොහොතක සියුම් කාල අංශුවක විෂය ලෝකයෙහි ව්‍යවහාර කාලයෙහි ගත කළ අතර අවකාශයෙහි ව්‍යවහාර අර්ථයෙන් ඉතාම ඉතා දීර්ඝ කාලයක ගත කළෙමු. එම ගත කළ කාලය ඊට සාපේක්ෂව දීර්ඝ හෝ ක්ෂණික කාලයක් නොවීය. එම කාලය එක ලෙස අසීමාන්තිකව අවකාශය හා එක්ව ව්‍යාප්තිමය ස්වභාවයක පැවතුණි. මෙසේ එකම කාලයෙහි අර්ථ දෙකක මංමුලාව විසීමු. එක් මොහොතක අවකාශයේ අනුභූතීන්ගේ තෘප්තිය විඳීමු. එම තෘප්තිය ආයාසයෙන් සිත සිත විදීමක් නොව නිරායාසයෙන් සිතුවිල්ලෙන් තොරව පිරුණු ස්වභාවයකින් සිදු වන්නකි. තවත් මොහොතක සැබෑ අනතුරින් ත්‍රස්ත වීමු. අන්දමන්ද වීමු. මේ දෙකම ද දෙකක් ලෙස නොව එකක් ලෙස සිදු වූවකි. මේ දෙකම එකක් විය. එක් මොහොතක විය.
මේ අතර එක්තරා මොහොතක අපි මිතුරාගේ මතකයෙන් තිගැස්සීමු. ඔහුට කුමක් වී ද..? මළා ද..? ජීවතුන් අතරද..? ඔහු ගැන සොයා බැලිය යුතු නොවේද..? වගකීම සහ යුතුකම විසින් මෙහෙයවන ලද මානසික කර්ම විපාකයන්ගේ ප්‍රතිඵලයක් ලෙස අප ඒ අනිර්වචනීය ලෝකයෙන් මිදී නැවතත් ව්‍යවහාර ලෝකයේ සබුද්ධික වීමු.
නිශ්චලව වූ යමක් ක්‍රියාකිරීමෙන් තව දුරටත් එම නිශ්චලතාවයේ විසිය නොහැකිව යමකට ඇතුළු වූ සෙයකි. තව දුරටත් මේ ගැන භාෂාවකින් කතා කිරීම ව්‍යාජයක් යැයි හැඟීමි. අපි උදව් ඉල්ලා කෑ ගැසීමු. මිනිසුන් දෙදෙනකු දුව ආවද ඔවුහු අපට යම් උපකාරයක් නොකළහ. ඔවුහු ද තැති ගෙන ඇති සෙයකි. අපි දෙදෙනා ඉතා අමාරුවෙන් බඩ ගාමින් නැගිට දෙදෙනාට දෙදෙනා වාරු වී අප මිතුරා සෙවීමු. ඈ ඔහු අමතා කෑ ගසන්නී මා ද එසේම කෑ ගසයි. අහෝ...! අනතුරුව අපි දුටිමු. සිත් සසල කර වන ලෙස ඔහුරේල් පීලි අතර මුනින්තලාව වැටී යුත් අයුරු. අපි ඉතා ආයාසයෙන් වෙර දරා ඔහු ද නැගිට්ටු වෙමු. ඔහු මැරී උන් වගක් නො සිතන්න. විශ්වයේ මහත් ආශ්චර්යයකින් ඔහුද තවමත් ජීවතුන් අතරය. මේ අතර මේ අනතුර දෙස බලා සිටි මිනිසුන් දෙදෙනාද ඔවුන්ගේ භය පහව ගිය කල, මදක් ඉදිරියෙන් නවතා තැබූ කෝච්චියට අපව ගොඩ කිරීමට උදව් කළෝය. ඔවුන් අපව දුම්රියෙන් රැගෙන ගොස් රෝහල් ගත කළෝය.
රෝහලේ මහත් කාල ගෝට්ටියකි. අපි විවිධාකාරයේ ප්‍රශ්න කිරීම්වලට ලක් වීමු. අපි වේදනාවෙන් මොර දීමු. භයෙන් ත්‍රස්තව ව්‍යාකූලව කෑ ගැසූ වෙමු. ඔවුන් දිගටම ප්‍රශ්න කරයි. ලිපි ලේඛන සම්පාදනය වෙයි. අපගේ පිළිතුරු වෛද්‍යවරයාගේ නොසතුටට හේතු වූවායැයි හඟීමි. ඔවුහු අසතුටෙන් කෑ ගැසීය."අපිට කාවත් බලෙන් නවත්ත ගන්න ඕන නැහැ. ඕගොල්ලො කියන්නෙ බොරු. මේ රෑ ඕගොල්ලො කොහෙද රේල් පාරේ ගියේ. අපිට ඕ ගොල්ලන්ව බලෙන් හොඳ කරන්න ඕන නැහැ. ඔයා කොහෙද මේ රෑ පිරිමි ළමයි දෙන්නෙක් එක්ක රේල් පාරේ ගියේ. මේගොල්ලෝ මේ කොහෙද හොර ගමනක් ගිහිල්ලා. අපි ඕව දන්නවා ඔන්න ඔය වාට්ටුවට ඇතුල් කරන්න."
ඈ මහත් අසරණව ලැජ්ජාවෙන් බිම බලා ගත්තී ඇගේ දෙනෙතින් කඳුලු රූරා වැටුණාය. මොවුන් බලාපොරොත්තු වන ඇත්ත කුමක්ද..? ඔවුහු අප එතරම් මායිම් නොකළෝය. අප රෝහලේ ඇඳන් මත ඔහේ වැටුණි. සහයට වදනක්-වේදනාවට ස්පර්ශයක් නොලැබීමු. මගේ තුනටියෙන් උඩ පහල වෙන් වී ඇති බවක් මට දැනුනි. මම කෑ ගැසීමි. හැඬීමි.
"මොකද කෑ ගහන්නෙ. රිදෙනවා තමයි. ඕව කර ගන්න කොට රිදෙන්නේ නැහැ නේ. ටික ටික ඇත්ත එළි වෙන කොට ඔයිට වැඩිය රිදෙයි. මෙන්න මේ බෙහෙත් ටික බොන්න." සාත්තු සේවකයාගේ වදන් මා වේදනාවෙත්බ-භියේත් පරිපාපකත්වයට ගෙන යන ලදී. අහෝ..! අපි නොමළේ මන්ද..? ජීවත්වීමට තරම් අපි ලෝකයාට කළ වරද කුමක්ද..? මේ තරම් අනාදරයක් ඉවසිය හැකිද..? එක පැත්තකින් දුක් වන්නේ ඇයි..? මේ සිදු වීම මාගේ අපේක්ෂාවක් නොවේද..? නමුත් ඔවුන් අසන-බලාපොරොත්තුවන ඇත්ත කුමක්ද..?
ඒ වන විටත් මාගේ මිතුරාට යහපත් සිහියක් නොවුණි. ඔහුගේ ඔලුව දරුණු ලෙස තුවාල වී තිබිණ. ඔහු මනෝවිකාර දොඩවයි. ඔහු මාළඟට ඇවිත් කුමක් සිදු වූයේ දැයි මගෙන් ප්‍රශ්න අසයි. ඔහුගේ තත්ත්වය තේරුම් ගත් මා බොරුවක් කියා ඔහු අස්වසන්නට උත්සාහ කළෙමි. නමුත් සාත්තු සේවකයෙක් කියූ පරිදි අපි කෝච්චියට හැප්පුනේ දැයි ඔහු මගෙන් අසයි. හැකිතාක් මම ඔහුව අස්වැසූවෙමි. මේ සියල්ල මා තනිව විඳදරා ගතිමි. ඈ මගේ දෙනෙත් මානයේ නොවේ. ඇයට කුමක් වී ද..?ඇයට අසාධ්‍ය ද..? මේ ගැන මට ආරංචි මාත්‍රයක් නොදෙන්නේ ඇයි..? ඈ මගෙන් බොහෝ දුර වෙනත් වාට්ටුවක සිටින්නීය.
මම එන්න එන්නම භයින් ත්‍රස්ත වීමි. හෙට උදෑසන කුමක් සිදු වේද..? මා සහෝදරයන්ට, දෙමාපියන්ට, සමාජයට මුහුණ දෙන්නේ කෙසේද..? ඔවුන් මට මොනවා කියයිද..? මොනව කරයිද..? විෂෙන් විෂ නැසීමකි. දැඩි බිය නිසා මට වේදනාවක් නොදැනිණි. එම නිසාම බිය එන්න එන්නම වැඩි විය. විටෙක හෙට දවස මේ තරම් අඳුරු නොවෙතියි මම සිතුවෙමි. මොහොතකින් එම සිතුවිල්ල පරයා මීටත් වඩා හෙට දවස අඳුරු-අමානුෂිකවේ යැයි මට සිතුණි. මෙසේ සිතුවිල්ලෙන් සිතුවිල්ල දරුණු අවිනිශ්චිත තත්ත්වයක මාගේ ඉරණම දෝලනය වන්නට විය. දරුණු වෙහෙසක්-අමානුෂික බයක් මට දැනින. මෙවන් අවිනිශ්චිත කෲර ආගාධයකට ඇද වැටීමට තරම් මිනිසා අසරණද..?
මේ අහන්න සබඳ, ඉදින් ඔබ කිසි විටකත් මේ සිද්ධිය තේරුම් ගැනීමට උත්සාහ නොකරන්න. විඳින්න. විඳීම පමණක් කරන්න. හද සැලෙන තෙක් විඳින්න. මානුෂිකව-ආදරයෙන් විඳින්න. සිතන්න එපා. හැබැයි ක්‍රියා කරන්න. බුද්ධිමත්ව ආදරයෙන් ක්‍රියා කරන්න. තේරුම් ගැනීමත්, සිතීමත් කළ හොත් ඔබටත් මා සේම අක්‍රියව ලිවීම පමණක් කළ හැක.
Lanka Newsweek © 2025