Sunday 9th of November 2025

English Tamil
Advertiesment


මරණය 


2025-10-13 1283

 

(සුජිත් මංගල ද සිල්වා)

 

ව්‍යාකූලත්වය සහ දුක්ඛ දෝමනස්සයන් විසින් ජීවිතය පුරාම මඩනා ලද සිත් ඇති මා මරණාසන්නව ඇඳෙහි වැතිර සිටියේ තවත් සුළු මොහොතකින් මා සිප වැළඳ ගැනීමට ගිජු ලෙස බලා සිටින මාරයාගේ පැමිණීම බලාපොරොත්තුවෙනි. මට මහත් සතුටක්-ආශ්වාදයක් දැනිණ. මරණය වැළඳ ගැනීමට දැඩි ලොබක් මා මස්තකයෙහි විය. 

මම සිතුවෙමි. මාගේ මරණයෙන් පසු බොහෝ අය බොහෝ දේ තේරුම් ගනිති. ඒ අනුව ජීවත් වෙති. මාගේ ප්‍රියයන්ට දැඩි කම්පනයක් ඇති වේවි. ඒ කම්පනයෙන් ඔවුන් ජීවිතයෙන් අවදි වේවි. නිවැරදි මග යාවි. ඒ සිතුවිලි මට මහත් සතුටකි. මම නැවත නැවතත් මරණය වෙත ළං වුණෙමි. මරණය දැඩිව සිප වැළඳ ගතිමි. වින්දෙමි. 

මරණාසන්නව ඇඳෙහි වැතිර සිටි මම මගේ මරණයෙන් පසු අනුක්‍රමයෙන් සිදු වන සිද්ධි දාමය දෙස මදක් විමසිල්ලෙන් බලා සිටියෙමි. එවිට මහ අඳුරු මූසල වේදනා බරිත හැඟීමක් මගේ යටි පතුලේ සිට හිස් මුදුන දක්වා ඇට මිදුළු සිඳ ගෙන විදුලි-අකුණු සැර සේ නැගී යන්නට විය. 

මට මහත් වූ ශෝකයක් දැනිණ. එමෙන්ම මහ නිදහසක්-සතුටක් දැනිණ. මරණීය වේදනාවේ වූ එම සතුට මම දිගින් දිගටම වින්දනය කළෙමි. ඒ වින්දනය මට මහත් වූ ආශ්වාදයක් ගෙන දුනි. මා ළැඟුම් ගෙන සිටී කාමරයේ තිබුණු මූසල අඩ අඳුරු ආලෝකය-වේයන් විසින් විත් විදින ලද කබල් ඇඳ-ඒ අසල වූ යකාගේ කම්මල බඳු වූ පිළිවෙළක් නැති පොත් රාක්කය සහ ලියන මේසය-නිශ්ශබ්දතාව සේම නිවසේ වූ දිරාපත් එල්ලා වැටෙන ලෑලි ඒ මොහොතේ මා දුටුවේ මා සිත මා ඉදිරියට පැමිණියාක් විලසය. කඳුළින් බොඳවූ අඩවන් දෙනෙතින් මා දුටු එම දර්ශන මාගේ වේදනා බරිත හුදකලා හිස් බව මනා කොට සරසන්නට විය.

කෙසේ නමුත් ක්ෂණිකව ඇති වූ මානසික විපර්යාසයකින් මා හද කැලඹෙන්නට විය. මා ගතෙහි වූ නහරවල් ක්ෂණිකව විස්තාරණය වී උණුසුම් ලේ දහරාවක් සර්වාංගය පුරා ගලා යාමත් සමග මා තිගැස්සිණ. මගේ ළය ප්‍රදේශයෙන් ගිනියම් වූ යකඩ ගුලියක් වැන්නක් මාගේ උදරය කරා ගමන් කරන්නාක් සේ මට දැනිණ. 

"ඔව්, ඒක ඇත්ත" මම මදක් කල්පනා කළෙමි. ඇය මෙවන් තත්ත්වයකට පත් වුණි නම්..! කෙසේ නම් මම ඒ දුක උහුලන්නද..? රාත්‍රියට නින්දවත්-කුස ගින්නට බත් පතවත් පිපාසයට වතුරවත් මට අනවශ්‍ය වේවි. තුන්යාමේ මා කල්පනා කරයි. දුක්වෙයි. කම්පා වෙයි. හඬා වැළපෙයි. ඇය බේරා ගැනීමට ඇප කැප වෙයි. වෙහෙසෙයි. මහන්සි වෙයි. හිස ගිනි ගත්තෙකු සේ ඒ මේ අත දුහයි. එනම් මට ජීවිතයක් නැති හා සමාන වෙයි. කෙසේ නම් මම ජීවත් වන්න ද..? එවන් දුක්ක-වේදනාවක් උහුලන්නද..? ඇය මරණාසන්නව අවසන් හුස්ම අදින ආකාරය මම කෙසේ නම් දෙනෙතින් දකිම් ද..?

මගේ සිත වේගයෙන් සලිත වන්නට විය. මගේ සිත අන්ධකාරයක අතරමං වූ බවක් මට දැනිණ. වැලි පුපුරන කාන්තාරයක අතරමං වූවකු සත් දිනක් සා පිපාසා ඉවසා ගෙන එම කාන්තාර මධ්‍යයෙහි වැතිර සිටින විට දැනෙන මානසික-ශාරීරික සරතැස මා මනසට දැනුණේ අකුණු ගසන්නා සේය. ව්‍යාකූලත්වයට ගොදුරුව-වේදනාවෙන් මිරිකී තවත් සුළු මොහොතකින් මගේ නොවන ජරා-මරණ-ව්‍යාදි ආදියට ලක් වන මගේ යැයි කියන මේ ශරීරය තවත් ක්ෂණයකින් හැර යාමට සිටී මම ඉතා අමාරුවෙන් බැරි බැරි ගාතේ අබ්බගාතව ගෙවී ගිය මාගේ ආධ්‍යාත්මයෙන් මා ඉතා අපහසුවෙන් ඇය වී ඇයගේ දෙනෙතින් මාගේ මරණාසන්න බව සේම මාගේ මරණයත් සමග ඇය මුහුණ පාන තත්ත්වය දෙස මද වේලාවක් ඉතා අපහසුවෙන් සහ විමසිල්ලෙන් බලා සිටියෙමි. 

අහෝ..! මොන තරම් දුකක්ද..? අපගේ හදවත් එකින් එක ගැටෙන්නට විය. රුධිරය එකින් එක මිශ්‍ර වී එකම රුධිර සංසරණ පද්ධතියක් හරහා ගමන් කරන්නට විය. මහත් පුදුමයකි. ඇයට දැනෙන දුක-වේදනාව මා මස්තකයට වැදී මාගේ නහර-ඇට-ඇට මිදුලු සිඳ ඉතා සියුම් ලෙස ගමන් කරමින් එම පාශයෙන් මා වෙළිණ. තව දුරටත් ඇය, ඇය නොවීය. මා, මා ද නොවීය. ඇත්තේ එකම දෙනෙතකි. එකම අධ්‍යාත්මයකි. ඇයගේ දුක් බර-ස්නේහ බර-උණුසුම් රුධිරයෙන් මා ජීවනය ලැබුවා සේය. 

මට යම් පමණ ජීවයක් දැනිණ. මාගේ දෙනෙත්වල වූ අඩවන් බර ගතිය මඳක් සැහැල්ලු විය. මඳින් මද විවර වූ මා දෙනෙතට එවිට දිස් වූයේ යකාගේ කම්මල බඳු වූ අවුල් වී ගිය ලියන මේසය මත තවමත් සීතල වෙමින් පැවති කිරි වීදුරුව ය. මා මදක් කල්පනා කරන්නට විය. ඇයට මෙවන් වූ කටුක අප්‍රසන්න වේදනාකාරී අත්දැකීමක් උදා කිරීමට හැකිද..? නැත. මට කිසිසේත් එවැන්නක් කළ නොහැක. 

මම මේ වන විට පෙර වූවා සේ නොව, සියුම්වූ ද,සංකීර්ණවූ ද, අන්ත දෙකක සිර වී සිටිමි. ඒ සියයට අනූ නවයක්ම මරණාසන්නව සිටින මා පෙම්බැඳි ඒ මරණයේ තෘප්තිය ය. අනෙක සියයට එකක ජීවත් වීමට තිබෙන ඉඩකඩ සහ ඇයගේ සතුටය. නැත හොත් ඇයගේ සතුට ද මාගේ සතුට ද යන අන්ත දෙකෙහි මම සිරකරුවෙකු වී ය. මාගේ චිත්ත සන්තානයෙහි ඔවුනොවුන් එකිනෙකා පොර බදින්නට විය. මාගේ ශරීරය නම් අබලි-දුබලි වී පිරිහී-ක්ෂය වී ගිය යුධ පිටිය මේ සිතුවිලි සංග්‍රාමයට ඒ වන විටත් ඔරොත්තු නොදෙන ස්වභාවයක් මට දැනිණ. මේ සිතුවිලි ද්වය එකිනෙක පරයා යුද්ධ කරමින් ඈතින්-ඈත  දිනුම් කණුවක් වෙත ආලෝකයේ වේගය ද පරයා දිවීය. 

විටක මා ඉතාමත් වේගයෙන් මාගේ සතුට නොහොත් මරණය කරා අජානීය වේගයෙන් පිම්මේ දුහන්නේය. තවත් විටෙක ඇයගේ සතුට නොහොත් සියයට එකක් වූ මාගේ ජීවිත ආශාව නම් සිතුවිල්ල මාගේ මරණයට පෙම් බැඳි සිතුවිල්ල අභිභවා ලුහු බැඳ පෙරටම දුවන්නේය. නැවතත් ඒ සිතුවිල්ල අභිභවා අනෙක පෙරටුව දුවන්නේය. මේ සිතුවිලි ද්වය මාගේ ශරීරය නම් අබලි-දුබලි වී පිරිහී-ක්ෂය වී ගිය යුධ පිටිය තව තවත් වනසමින් දුවන හඬ "ඩක්-ඩක්" ගාමින් මහත් ඝෝෂාකාරී ලෙස මා ශ්‍රවණයට වැටෙන්නේය. හද ගැස්ම වේගවත්ය. කම්හලක වැඩ ඇරඹුණා සේයා. මා කෙසේ ක්‍රියා කළ යුතුදැයි මම නොදනිමි. 

මා අවංකවම සහ ඇත්තටම ආදරය කළා නම් ඇයට මෙවැනි දුකක් දිය නොහැක. එහෙයින් මා මාගේ සතුට වන මරණයට පෙම් බැඳි සිතුවිල්ල මර්දනය කර ඇයගේ සතුට නැතහොත් මාගේ ජීවිත ආශාව වර්ධනය කිරීමට උත්සාහ කළෙමි. මම ඊට මහත් සේ  උනන්දු වුණෙමි. ආදරය යන්න එවැනි පරිත්‍යාගයක් වන නිසා මම ඊට මහත් සතුටෙන් ඇපකැප වූයෙමි. මගේ හදවත සතුටෙන් ඉපිලෙන්නට විය. ඒ සතුට ඉතා උණුසුම්ව මාගේ නෙතු අගින් ගලා යන ආකාරය මට දැනුණි. 

මම ඉතා අවංකව මගේ සතුට කැප කර ඇයගේ සතුට වන මගේ ජීවනය වෙත මානසිකව ළඟා වුව ද "මම-මගේ" යන සිතුවිල්ල, හැඟීම හෝ යමෙකු මාගේ සතුට වූ මරණයට පෙම් බඳිමින් වැළඳ ගත් අයුරු මම ඉතා සියුම් ලෙස දිටිමි. ඔහු කවුරුද..? මම නොදනිමි. නමුත් ඔහු මා සමග දිගටම සිටියේය. ඔහු පැරදවීමට මම මහත් උත්සාහයක් ගත්තෙමි. මම ආදරය-පරිත්‍යාගය-පරාර්ථය ගැන දිගින් දිගටම සිහිපත් කළෙමි. නැවත නැවත මම ඇයගේ සතුටේ මාවතට පිවිසුනෙමි. නමුත් මා අභ්‍යන්තරයේ සිටී ඔහු නැවත නැවතත් මගේ සතුට වන මරණයේ සැපය සිප ගන්නට විය. මම නැවත නැවත ඔහු පරාජය කළෙමි. ඇයගේ සතුට වෙනුවෙන් ඔහුට ඉඩ නොදීමට මම දැඩිව සිතා ගතිමි. මා එම කල්පනා ලෝකයෙන් මිදී එළියට ගොස් මුත්‍රා පහ කර සීතල වෙමින් තිබූ කිරි වීදුරුව බී නැවත ඇඳට පැමිණ නිදා ගත්තෙමි. නමුත් ඇය අද මා හැර ගොස් බොහෝ කල්ය.

 

Advertiesment