Wednesday 12th of May 2021

English Tamil
Advertiesment


මහින්දව ගේන-ස්වාමිගේ ගේම..!


2019-07-02 4855

ශ්‍රී දේවි ගැන ස්වාමි කියන කතා..! 

මඟුල් දෙකක එකවර නැටීම..!

(උපුල් ජෝෂප් ප්‍රනාන්දු)

මේ දවස්වල මාධ්‍යන්හි කතාබහට ලක්වන ජනප්‍රිය චරිතය සුබ්‍රමනියම් ස්වාමිය. මාධ්‍ය කියන්නේ සුබ්‍රමනියම් ස්වාමි මහින්දව ඉන්දියාවට රැගෙන ගොස් මහින්දව යළි  බලයට ගේන්න ප්ලෑනක් ගහන බවය.මාධ්‍ය පෙන්වන්නේ ස්වාමි මෝදිගේ අගසව්වකු  ලෙසය. හැබැයි මේ ස්වාමි ලංකාවට ඇවිත් ඔහුගේ පක්ෂයේ රැස්වීමකට මහින්දට ආරාධනා කරන අතරතුර ලංකාවේ රැකවරණ පතා සිටින මාලදිවයිනේ හිටපු ජනාධිපති නෂීඩ් හමුවිය.නෂීඩ් හමුවීමෙන් පසු ඔහු ට්වීටර් එකේ අපුරු ප්‍රකාශනයක් පළ  කළේය. 

එනම් මාලදිවයිනේ ඊළග ජනාධිපතිවරණයේ  ඡන්ද මංකොල්ලයක් කරන්න වත්මන් මාලන්දිවයින ජනාධිපති සුදානම් වන බවත්, ඊට එරෙහිව ඉන්දියාව මාලදිවයින ආක්‍රමණය කල යුතු බවත්ය. ලංකාවේ සිට ස්වාමි පල කළ   මේ ට්විටර් පණිවිඩයෙන් මාලදිවයින ආණ්ඩුව කලබල විය.

වහාම එරට සිටි ඉන්දීය මහ කොමසාරිස් ගෙන්වා මාලදිවයින ආණ්ඩුව ස්වාමිගේ මේ ප්‍රකාශය ගැන විරෝධය පළ කළේය.  ඉන්දියාව වහාම ස්වාමි සහ ඉන්දීය ආණ්ඩුව අතර සම්බන්දතාවක් නැතැයි  කිවේය. ඉන්දීය විදේශ  අමාත්‍යංශ ප්‍රකාශක රවිස් කුමාර් කිවේ ස්වාමි ඉන්දීය ආණ්ඩුව නියෝජනය නොකරන බවය. ඔහු කරන  ප්‍රකාශ  ඔහුගේ පෞද්ගලික ප්‍රකාශ යැයි ඔහු ලෝකයටම ඇහෙන්න කිවේය.

මේ මහින්දව බලයට ගේන්න ඉන්දියාවේ ප්ලෑන් ගහනවා කියන ස්වාමි ගැන ඉන්දියාවේ මෝදිගේ ආණ්ඩුව කියන කතාවය. මේ සුබ්‍රමනියම් ස්වාමි පසුගියදා ඩුබායිහි මියගිය ප්‍රකට බොලිවුඩ් නිළි  ශ්‍රී දේවි ගැන අරුම පුදුම කතාවක් කිවේය. ඔහු කිවේ ශ්‍රී දේවිගේ මරණය සැක සහිත බවත්, එය ඝාතනයක් බවත්ය. එතනින් නොනැවතී ඔහු කිවේ ඩුබායිහි සැගවී සිටින ඉන්දියාවේ පාතාල ගෝඩ් ෆාදර් වූ ඉබ්‍රාහිම් ඩාවුඩ් බොලිවුඩ් නිලියන් සමග අනියම් සබඳතා පවත්වන බවත්, ශ්‍රී දේවි ඝාතනය  පිටුපස ඔහු සිටිය හැකි බවත්ය. ඔහුගේ මෙම ප්‍රකාශය ශ්‍රී දේවිගේ මරණය නිසා දුක්වන ඉන්දියානුවන් කෝපයට පත්කිරීමට සමත් විය. ශ්‍රී දේවිගේ මරණය ගැන ඔහු පළ කල ට්විටර් පණිවුඩයට විරෝධය පළ කරමින් ඉන්දියානුවන් ඔහුව හැදින්වුයේ මානසික ලෙඩෙක් ලෙසය. මිය ගිය අයටවත් සැනසීමේ ඉන්න නොදෙන මරණ වලිනුත් කතා ගොතා ජනප්‍රිය වෙන්න බලන අමනුෂ්‍යයෙක් ලෙසය. ඔහුව සමහරු හැදින්වුයේ ඉන්දියාවේ කුමන්ත්‍රණ න්‍යායාචාර්යවරයා නොහොත් චරිත ඝාතකයා ලෙසය.

" ඉන්දියානුවන් පිස්සෙක් ලෙස හදුන්වන ස්වාමි කොහොමද මහින්දව බලයට ගේන්න ඉන්දියාවේ ප්ලෑන් ගහන්නේ "

මෙරට මාධ්‍ය නොදන්න ඇත්ත ඒකය . මාලදිවයිනේ නෂීඩ් හෝ ලංකාවේ රාජපක්ෂලා වැනි බලයෙන් පහවූ දකුණු ආසියානු නායකයන් අල්ලා ගෙන ඉන්දියාවේ මාධ්‍යන්හි අවධානය දිනා ගන්න දගලන ස්වාමිට ඉන්දියාවේ කළ  හැකි කෙන්ගෙඩියක් නැත. මහින්ද බලයේ සිටින විටත් ඔහු මහින්දගේ හොදම මිතුරෙක් විය. මහින්ද හිතුවේ ස්වාමි ඉන්දියාව හැන්ඩ්ල් කරයි කියාය. එත් මැතිවරණය පරාජය වීමෙන් පසු මහින්ද කිවේ ඉන්දීය "රෝ" ඔත්තු සේවය තමාව බලයෙන් පහ කරන්න කුමන්ත්‍රණ කළා කියාය. ඒ කියන්නේ ඉන්දියාව මහින්දට හානියක් වෙන්න දෙන්නේ නැතයි ස්වාමි මහින්දව අන්දවා ඇත. දැන් ස්වාමි මහින්දව ඉන්දියාවට අරගෙන යන්නෙත් මම ඉන්දියාව ෂේප් කරලා දෙන්නම් කියා විය යුතුය. මහින්දව බලයට ගේන්න ප්ලෑන් ගහන්න පෙර ඔහු මහින්දට යලි මෙරට ජනාධිපති විය නොහැකි බවවත් දන්නේ නැත. ඔහු මහින්දව හදුන්වා දුන්නේ ඊළඟ ජනාධිපති ලෙසය. එත් මහින්ද, ස්වාමි එක්ක ඉන්දියාවට ගොස් කියන්නේ තමාට ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණයක් තරග කල නොහැකි බවත්, වෙනත් අපේක්ෂකයෙකු ඒ සඳහා නම් කරන බවත්ය. ස්වාමිගේ ප්ලෑනේ තරම එයින්ම පැහැදිලිය.

ඉන්දියාවට මහින්ද බලයට ගේන්න  ප්ලෑන් ගහන්න රුදාවක් නැත. එත් ඉන්දියාව මහින්දගේ ඉන්දීය වන්දනාවට කැමතිය. ඉන්දියාව තමන්ව බලයෙන් පහ කළාය කියන මහින්ද යළි  බලයට එන්න ඉන්දියාවේ උදවු පතනවාට ඉන්දියාව කැමතිය. ඒ කියන්නේ ඉන්දියාවේ උදව් නැතිව මහින්දට බලයට එන්න බැරි බව මහින්දම පිළිගෙන ඇති බව ඉන්දියාව ලංකාවේ සිටින ඉන්දීය විරෝධී මහින්දවාදීන්ට පෙන්වයි. මහින්ද ඉන්දියාවේ වන්දනාවේ යනවිට මහින්දවාදී ඉන්දීය විරෝධීන්ගේ කටේ පස්ය. මහින්ද මෝදිව හමුවෙන්න වේලාවක් ඉල්ලුවිට ඉන්දියාව පැනල දෙන්නේ ඒ කපටිකමටය.

මේ වනවිට කතානායක කරු ජයසුරිය ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයන් ඉන්නේ ඉන්දියාවේය. ලංකාවේ ජනාධිපතිලා හදන, ආණ්ඩු හදන, ආණ්ඩු කඩන සම්බන්ධන් , රාහුෆ්, හකීම් මේ ඔක්කොම කරු එක්ක ඉන්දියාවේය. මහින්දත්, ජි.එල්.සහ නාමල් එක්ක ඉන්දියාවේය. රනිල් තව සතියකින් ඉන්දියාවට යෑමට නියමිතය. නේපාලයේ බිම්ස්ටෙක් සමුළුවේදී මෝදී , මෛත්‍රීපාල හමු විය. මේ වනවිට නේපාලය සහ මාලදිවයින ඉන්දීය ග්‍රහණයෙන් මිදෙමින් චීනයට ලං වෙමින් තිබේ. ඉන්දියාවට විශ්වාසය  තැබිය හැකි දකුණු  ආසියාවේ එකම ආණ්ඩුව ලංකාවේ ආණ්ඩුවය. එත් ඒ ආණ්ඩුව පෙරලන්න මහින්දට ඇති ජන බලයත් ඉන්දියාව අවතක්සේරු කරන්නේ නැත. ඉන්දියාව බලාගෙන ඉන්නේ  මහින්ද ජනාධිපතිවරණයට දමන අපේක්ෂකයා කවුද කියාය. ඔහු ඉන්දීය හිතවාදියෙකු වෙනවාට ඉන්දියාව කැමැතිය. මෝදී මහින්දට ලොකු පිළිගැනීමක් දුන්නේ කපන්න බැරි අත සිඹින්නා  වගේය.

මෛත්‍රී-රනිල් ආණ්ඩුව කෙලින පිස්සුවලින් මහින්දට බලයට එන්න පාර කැපෙන බව මෝදී දනී. මහින්දගේ ඉන්දීය වන්දනාව ගැන ඉන්දියාවේ ප්‍රකට පුවත්පතක අපුරු විග්‍රහයක් පළ විය. පහත දැක්වෙන්නේ එහි අවසාන පරිඡේදයය.

"ජර්මනියේ ප්‍රස්තාව පිරුළකට අනුව එක් අයකුට විවාහ මංගල්‍ය දෙකක එකවර නටන්න බැරිය. හැබැයි ලංකාවේ කතානායක කරු ජයසුරියගේ නියෝජිත කණ්ඩායමත් ලංකාවේ ජනප්‍රිය නායක මහින්දවත් එකවර පිළිගැනීමෙන් ඉන්දියාව මංගල්‍ය දෙකක එක වර නටන වැඩේ පටන්ගෙන තිබේ.."

-ගුරුදා විග්‍රහය-

Advertiesment