පවතින බරපතල තත්වය සැලකිල්ලට ගනිමින් එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය යන පක්ෂ 2ම 1ට එකතු කර එහි පක්ෂ නායකත්වය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ලබා දෙන ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් එක්සත් ජාතික පක්ෂයෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් ඉරිදා (31) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර ඇතුළු පිරිසක් සඳහන් කළේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එහි උපදේශක හෝ අනුශාසකවරයා වශයෙන් කටයුතු කරමින් මග පෙන්විය යුතු බවයි.
එමෙන්ම එක්සත් ජාතික පක්ෂය හැරයමින් සමගි ජන බලවේගය සමඟ එක්වූ මන්ත්‍රීවරුන්ට එක්සත් ජාතික පක්ෂය මගින් පැනවූ එහි පක්ෂ සාමාජිකත්ව තහනම ඉවත් කර ගැනීමටද පක්ෂය කටයුතු කර ඇති බව එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයෙකු "LANKANEWSWEEK" සමගින් අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.
මේ අතර ලබන 6 වනදා පැවැත්වෙන එජාප පක්ෂ සම්මේලනයට සමගි ජන බලවේගයද එක්වීමට නියමිත බව විශ්වාසනීය අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග වලින් "LANKANEWSWEEK" වෙත තොරතුරු ලැබී ඇති අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇතුළු විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ වලටද මෙම සමුළුව සඳහා ආරාධනා කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව විපක්ෂයේ සියලු පක්ෂ නායකයන්ට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පෞද්ගලිකවම අමතා මෙම සමුළුව සඳහා ආරාධනා කිරීමට නියමිත බවද වාර්තා වන අතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එදින විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමටද නියමිත බවද මේ වන විටත් දේශපාලන ආරංචි මාර්ග තහවුරු කර තිබේ.
Lanka Newsweek © 2026