කාලයක් පුරාවට ලෝක ක්‍රිකට් ක්‍රීඩාවම තමන්ගේ අණසකට නතුකරගෙන සිටි කොදෙව්වන්න්ගේ ක්‍රිකට් මළගමේ මිනී පෙට්ටියේ අවසන් ඇණයත් අද ඕස්ට්‍රේලියානුවන් විසින් ගසන්නේ ඔවුන්ගේ ක්‍රිකට් තවත් වැටෙන්න අඩියක් තිබෙනවාද යන පැනය ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට යොමු කරමින්.
සර් ගැරී සෝබර්ස් ගේ පටන් ක්ලයිව් ලොයිඩ්, ඇන්ඩි රොබර්ට්ස්, මැල්කම් මාෂල්, සර් විවියන් රිචඩ්ස්ගේ සිට බ්‍රයන් ලාරා, ශිව්නරීන් චන්ද්‍රපෝල්, ක්‍රිස් ගේල්, ඩැරන් සැමී දක්වා සිය ගණනක් වූ කොදෙව් දැවැන්තයන්ගෙන් පසු දැන් ඔවුන් ලෝක ක්‍රිකට් පිටියේ අන්තයටම වැටී තිබෙනවා.
ක්‍රිකට් ක්‍රීඩා කරන්නට තරුණයන් යොමු නොවීමේ ගැටලුවේ සිට ක්‍රිකට් පාලක මණ්ඩලය සමගින් ක්‍රීඩකයන් ගැටුම් නිර්මාණය කර ගැනීම දක්වාම දුරදිග ගිය කොදෙව්වන්ගේ බිඳ වැටීම අවස්ථා කිහිපයකදීම උච්චතම අවස්ථාව දක්වා ළඟා වුණා.
2023 ක්‍රිකට් ලෝක කුසලානයට ඔවුන් සුදුසුකම් ලබා නොගැනීම, පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලි වලදී ප්‍රධාන වටයට සුදුසුකම් ලබා නොගැනීම කියන්නේ කොදෙව් ක්‍රිකට් ඉරණමේ ප්‍රධාන බිඳ වැටීමේ සාධක විදිහට නම් කරන්න පුළුවන්.
ඕස්ට්‍රේලියාව සමග පැවති ටෙස්ට් තරග 3 සහ පන්දුවාර 20 තරග 5 ම එක්ක කොදෙව්වන් 8-0 ක සමස්ථ තරගාවලි පරාජයක් ලැබුවා. මේ පරාජය නම් කොදෙව්වන්ට සෑහෙන අමිහිරි අත්දැකීමක් වෙන්නේ තමන්ගේම මවුබිමේ ලබපු පරාජයක් නිසා.
අතීත කොදෙව් ක්‍රීඩාවේ හිටපු දැවැන්ත චරිත, ආක්‍රමණශීලී ගතිය හැම එකක්ම දැන් වල පල්ලට ගමන් කරනවා. ඉස්සර වගේ දැන් ඔවුන්ගේ තරග නරඹන්න ප්‍රේක්ෂකයන් පැමිණීම පවා නැති වෙලා ගිහින්.
කොදෙව් ක්‍රිකට් වලට අත්වෙන මීළඟ ඉරණම තමයි ඔවුන්ගෙන් බිහිවන සෑම දැවැන්ත ක්‍රිකට් ක්‍රීඩකයෙක්ම ෆ්‍රැන්චයිස් තරග සඳහා යොමු වීම. මේ සිද්ධිය ආකාර ගණනාවකට ඔවුන්ගේ ක්‍රිකට් බිඳ වැටීමට බලපාලා තියෙනවා.
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සිදු කරන අඩු ගෙවීමත්, ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට වඩා නිදහස වැඩි වීමත් කියන කාරණා උඩ කොදෙව්වන් ෆ්‍රැන්චයිස් ක්‍රිකට් වලට ඇදෙන්නේ සීනි වලට ඇදෙන කූඹි රෑනක් වගේ. මෑත කාලීනව ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ක්‍රීඩා කිරීමේ වුවමනාව මතම සමු ගත්ත නිකලස් පූරාන් කියන්නේ මේකට හොඳම උදාහරණයක්.
බටහිර ඉන්දීය කොදෙව් දූපත් වැසියන් කියන්නේ කොහොමත් විනෝදයට බර මිනිස්සු ඉන්න දූපත් සමූහයක්. මේ විනෝදයට බර සෙට් එකක් එකම අරමුණක තියාගන්න නම් හොඳ නායකත්වයකුත් ඔවුන්ට අවශ්‍ය වෙනවා. අවාසනාවකට එහෙම නායකත්වයකුත් දැන් ඔවුන්ට නෑ.
කොදෙව් ක්‍රිකට් ක්‍රීඩාව මෙතනින් එහාට ගොඩ ගන්න ඔවුන්ට කිසිම උනන්දුවක් වුවමනාවක් තියෙන වගකුත් පේන්නේ නෑ. කාලයක් ලෝකෙම හොල්ලන් හිටපු කොදෙව්වන් අද නිකන්ම නිකන් ක්‍රිකට් කණ්ඩායමක් බවට පත් වෙලා.
දැනටත් අතීතයේ ඇහුණ කැලිප්සෝ සංගීතය කොදෙව් ක්‍රිකට් තරග වලදී ඇහෙන්නේ හරිම අඩුවෙන්. ඉස්සරහට මේ සංගීතය ඇහෙන්නෙම නැති වුණත් පුදුම වෙන්න දෙයක් නෑ.
Lanka Newsweek © 2026