Friday 21st of March 2025

English Tamil
Advertiesment


ලිංගික අපරාධයක වින්දිත වෛද්‍යවරියගේ අනන්‍යතාව ආරක්ෂා කරන අතර ඇය වෙනුවෙන් යුක්තිය ඉටු කිරීම සඳහා කැපවෙමු - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය


2025-03-12 1300

රටම කම්පා කරමින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ සිදුවූ කණගාටුදායක සිදුවීම පිළිබඳව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පෙන්වා දෙන්නේ මෙම සිදුවීම සම්බන්දව පුවත් වාර්තා කිරීමේදී සෑම අයෙකුම ඉතාම වගකීමෙන් යුතුව කටයුතු කල යුතු බවයි. 

එනම් සෑම විටම අතවරයට ලක්වූ වෛද්‍ය වරියගේ අනන්‍යතාවය ආරක්ෂා කිරීමටත්, එම පුවත් නිසා එම වෛද්‍ය වරිය තව දුරටත් කම්පාවට සහ අපහසුතාවයට පත්වීමක් සිදු නොවන ආකාරයට කටයුතු කිරීමටත් වග බලා ගත යුතු බවයි. එම සම්පුර්ණ මාධ්‍ය නිවේදනය පහත දැක්වේ.

 

ලිංගික අපරාධයක වින්දිත වෛද්‍යවරියගේ අනන්‍යතාව ආරක්ෂා කරන අතර ඇය වෙනුවෙන් යුක්තිය ඉටු කිරීම සඳහා කැපවෙමු. - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය.

 

සේවයේ නිරතව සිටියදී පිළිකුල් සහගත ලිංගික අපරාධයකට ගොදුරු වූ වෛද්‍යවරියගේ අනන්‍යතාව ආරක්ෂා කරමින් පුවත් වාර්තා කිරීමට සියලු මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය කටයුතු කරනු ඇතැයි විශ්වාස කරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සියළු සමාජ මාධ්‍ය හා වෙබ් අන්තර්ගත සම්පාදකයින්ගෙන්ද ඉල්ලා සිටින්නේ අදාළ සිදුවීම වාර්තා කිරීමේදී වින්දිතයාගේ අනන්‍යතාව සුරක්ෂිත කිරීමට පියවර ගන්නා ලෙසයි. දණ්ඩ නීති සංග්‍රහයේ 365: ඇ වගන්තිය ප්‍රකාරව ලිංගික අපරාධවල ගොදුරු බවට පත්වන ළමුන් හා කාන්තාවන්ගේ අනන්‍යතාව හෙළිකිරීම අපරාධ චෝදනා ගොනු කොට දෙවසරක සිරදඬුවම් පැමිණවිය හැකි වරදකි.

මෙවැනි ඛේදනීය සිදුවීම් වාර්තාකිරීමේදී වින්දිතයා සහ සමීපතමයන් තවදුරටත් අපහසුතාවට මෙන්ම කම්පනයට ලක්වීමෙන් වළක්වා ගැනීම සඳහා ජනමාධ්‍ය ආචාරධර්ම දැඩිව පිළිපදිමින් සමාජ වගකීමෙන් යුක්තව ක්‍රියාකිරීම සෑම අන්දමකම ජනමාධ්‍ය සතු විය යුතු උල්ලංඝනය කළ නොහැකි ධර්මතාවකි.

උසස් ජනමාධ්‍ය සංස්කෘතියක් නිර්මාණය කිරීම සඳහා අප නිරතවෙමින් සිටින අනවරත අරගලය සැබෑ කරගැනීම සඳහා මෙවැනි අවස්ථාවල ජනමාධ්‍ය යහපත් භාවිතයද තීරණාත්මක වන අතර අදාළ වින්දිතයාට යුක්තිය ඉටුකිරීම සඳහා මැදිහත්වීමද ජනමාධ්‍ය සතු කාර්යයකි.

අදාළ සිදුවීමට වගකිව යුත්තන් වහා අත්අඩංගුවට ගෙන නීතිය ඉදිරියට පැමිණවීමද හුදු කාන්තා දින සංදර්ශනවලින් එහා ගොස් සමස්ත ස්ත්‍රීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ගත හැකි පියවරක් ලෙස බලධාරීන්ට පෙන්වා දෙමු. 

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment