Friday 21st of March 2025

English Tamil
Advertiesment


හම්බන්තොට අහසට රොකට් යාත්‍රා..?


2025-03-10 1278

 

 ඉන්දු-ජපාන හවුලෙන් නව යුගයක ආරම්භයක්..!

 

හම්බන්තොට දිස්ත්‍රික්කයේ අභ්‍යවකාශ තාක්ෂණයේ නව යුගයක් උදා කරමින්, ඩොලර් මිලියන 1.7ක දැවැන්ත ආයෝජනයක් යටතේ රොකට් ගුවන්ගත කිරීමේ පථයක් (Aerospace Pad) ඉදිකිරීමට ඉන්දියාව සහ ජපානය එක්ව සූදානම් වන බවට ප්‍රබල වාර්තා පළ වේ. මෙම ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට නව ජවයක් එක් කරමින්, තරුණ තරුණියන් 4,000කට වැඩි පිරිසකට නව රැකියා අවස්ථා උදා වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ජපාන රජයට අනුබද්ධ 'ඇස්ට්‍රො ලැබේ' අභ්‍යවකාශ රොකට් දියත් කිරීමේ ආයතනය මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන අතර, සුදුසුකම් හා හැකියාවන් සොයා බැලීම සඳහා ජපන් නියෝජිත පිරිසක් දැනටමත් ශ්‍රී ලංකාවට පැමිණ ඇත. ඉන්දියාවද හම්බන්තොට තුළ සමාන ව්‍යාපෘති සඳහා උනන්දුවක් දක්වන බව වාර්තා වේ.

හම්බන්තොට, කිරින්ද සහ යාල ප්‍රදේශවල පිහිටීම සහ භූගෝලීය ලක්ෂණ මෙම ව්‍යාපෘතිය සඳහා වඩාත් සුදුසු බව විශේෂඥයන්ගේ මතයයි. අඩු ගුරුත්වාකර්ෂණය සහ මුහුදට ආසන්න පිහිටීම රොකට් ගුවන්ගත කිරීම සඳහා අතිශයින් වැදගත් වේ. මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ සහ හම්බන්තොට වරාය මෙම ව්‍යාපෘතියේ සැපයුම් හා ප්‍රවාහන කටයුතු සඳහා ප්‍රධාන මධ්‍යස්ථාන ලෙස ක්‍රියාත්මක වනු ඇත.

මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වය මගින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඩොලර් බිලියන ගණනක ආදායමක් හිමිවනු ඇතැයි ගණන් බලා ඇත. මෙය රටේ තාක්ෂණික දියුණුවට සහ ජාත්‍යන්තර ආයෝජන ආකර්ෂණය කර ගැනීමට මහඟු අවස්ථාවක් වනු ඇත.

මෙම ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලංකාව අභ්‍යවකාශ තාක්ෂණ ක්ෂේත්‍රයේ නව සන්ධිස්ථානයකට පිවිසෙනු ඇතැයි විශ්වාස කෙරේ. තරුණ පරපුරට නව දැනුම හා තාක්ෂණය ලබා ගැනීමටත්, ජාත්‍යන්තර මට්ටමේ වෘත්තීන් සඳහා අවස්ථාවන් උදා කර ගැනීමටත් මෙය මහඟු අවස්ථාවක් වනු ඇත.

 

(තෙයස ලහිරු - බුත්තල) 

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment