Thursday 20th of March 2025

English Tamil
Advertiesment


බළපිටිය විවිධ සේවා සමූපකාර සමිතිය සදහා මහ සභා නියෝජිතයින් පත්කර ගැනීම වෙනුවෙන් නාම යෝජනා..!


2025-03-10 1292

බළපිටිය විවිධ සේවා සමූපකාර සමිතිය සදහා මහ සභා නියෝජිතයින් 100 ක් පත්කර ගැනීම වෙනුවෙන් 396 දෙනෙකු අද (09) නාම යෝජනා බාර දුන්නේය. අද පෙ.ව 9.00 සිට 10.00 දක්වා නාම යෝජනා බාර ගත් අතර පෙ.ව 10.00 සිට 11.00 දක්වා විරෝධතා කාලය පැවැත්විණි.

සමූපකාර ප්‍රාදේශික 24 ක් වෙනුවෙන් පිහිටවනු ලබන කාරක සභා 24 ක් සදහා පත්වන කාරක සභිකයින් 216 ක් අතරින් 100 ක් මෙසේ මහ සභා නියෝජිතයින් ලෙස පත්කර ගනී. එක් සමූපකාරයක කාරක සභාව සදහා සභිකයින් 09 දෙනෙක් තෝරා පත්කර ගන්නා අතර එම මහ සභා නියෝජිතයින් 100 න් 07 ක් අධ්‍යක්ෂ මණ්ඩලය සදහා පත්කර ගනී. එයින් දෙදෙනෙක් සභාපති හා උප සභාපති ලෙස පත්කර ගනු ලබන අතර සමූපකාරය පාලනය කරන්නේ මෙසේ පත්වන සභාපති, උප සභාපති හා අධ්‍යක්ෂ මණ්ඩලයයි.

මෙම කාරක සභා 24 සදහා මාලිමාව, පොදු විපක්ෂය හා ස්වාධීන වශයෙන් කණ්ඩායම් 44 ක් ඉදිරිපත්ව සිටී. මාලිමාවේ කණ්ඩායම සමග වංචාවට හා දූෂණයට එරෙහි ස්වාධීන පිරිස්ද, පොදු විපක්ෂයේ කණ්ඩායමට එක්සත් ජාතික පක්ෂය සමගි ජන බලවේගය පොදුජන එක්සත් පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජනය කරන කණ්ඩායමද, දිගු කාලීනව සමූපකාර කේෂ්ත්‍රයේ රැදී සිටින පිරිස් ස්වාධීනවද මෙම තරගයට ඉදිරිපත්ව ඇත. මෙයින් මාලිමාවේ හා වංචාවට එරෙහි පිරිස් සහ ස්වාධීන යම් පිරිසක් ඇතුලත් කණ්ඩායම් සමූපකාරයේ බලය ලබා ගැනීම වෙනුවෙන්ද පොදු විපක්ෂයේ සහ ස්වාධීන යම් පිරිසක් වත්මන් සභාපතිවරයා නැවත පත්කර ගැනීම වෙනුවෙන්ද මෙම සමූපකාර මැතිවරණ සටනට ඉදිරිපත්ව තිබේ.

හීනටිය/මහළදූව, වැලිතර (මුස්ලිම්), අහුන්ගල්ල, අම්පේ, වැල්ලබඩ, බ්‍රාක්මණවත්ත, ගල්මන්ගොඩ, වැලිතර (මධ්‍යම), කන්දේගොඩ, පරගහතොට, වතුගෙදර (උතුර) යන සමූපකාර ප්‍රාදේශික 11 ක් වෙනුවෙන් මාලිමාව සමග දූෂණ විරෝධි පිරිස් සහ පොදු විපක්ෂය නියෝජනය කරමින් කණ්ඩායම් 22 ක් ඉදිරිපත්ව තිබේ. රන්දොඹේ, මාදූව, කුරුදුවත්ත, වතුගෙදර (මධ්‍යම), පැලෑගස් පළාත හා පතිරාජපෙදෙස සමූපකාර ප්‍රාදේශික 06 සදහා මාලිමාව සමග දූෂණ විරෝධි පිරිස් සහ ස්වාධීන කණ්ඩායම වශයෙන් කණ්ඩායම් 12 ක්, බළපිටිය (උතුර) සහ බේරතුඩුව සමූපකාර ප්‍රාදේශික 02 සදහා ස්වාධීන හා පොදු විපක්ෂය නියෝජනය කරමින් කණ්ඩායම් 04 ක් ඉදිරිපත්ව ඇත. මහකරාව ප්‍රාදේශිකය සදහා මාලිමාව සමග දූෂණ විරෝධි පිරිස් සහ ලංකා සම සමාජ පක්ෂය ලෙස කණ්ඩායම් 02 ක් ඉදිරිපත්ව තිබේ.

මෙම සමූපකාර ප්‍රාදේශික 24 අතරින් ගල්වෙහෙර, නාපේ, කොස්ගොඩ හා කටුවිල ප්‍රාදේශික සදහා ඉදිරිපත්ව ඇත්තේ එක් කණ්ඩායමක් බැගින් පමණි. එයින් ගල්වෙහෙර, නාපේ හා කොස්ගොඩ ප්‍රාදේශික වෙනුවෙන් මාලිමාව සමග දූෂණ විරෝධි පිරිස් වලින් සමන්විත කණ්ඩායම්ද කටුවිල සමූපකාර ප්‍රාදේශිකය සදහා ස්වාධීන කණ්ඩායමක්ද නිතරගයෙන් තේරී පත්ව තිබේ. කටුවිල සමූපකාරය සදහා නිතරගයෙන් තේරී පත් වූ කණ්ඩායම සහ මාදූව සමූපකාරය සදහා ස්වාධීනව ඉදිරිපත්ව සිටින කණ්ඩායම බළපිටිය සමූපකාරයේ වර්තමාන පාලනයට පක්ෂව සිට මේ වන විට ඊට එරෙහිව කටයුතු කරන කණ්ඩායමක් බවද දැන ගන්නට තිබේ.

කණ්ඩායම් 02 බැගින් ඉදිරිපත්ව සිටින සමූපකාර ප්‍රාදේශික 20 වෙනුවෙන් වූ ඡන්ද විමසීම 2025 මාර්තු 16 වන ඉරිදා දින පැවැත්වීමට නියමිතය. මේ සදහා ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇත්තේ ඒ ඒ සමූපකාර සමිති වල සාමාජිකයින් පමණි.

බළපිටිය විවිධ සේවා සමූපකාර සමිතිය සදහා නියෝජිතයින් පත්කර ගැනීමට නියමිත මෙම මැතිවරණයේදි ජාතික ජන බලවේගයට සමූපකාරයේ බලය හිමි විම වැලැක්වීමේ අරමුණින් බළපිටියේ සියළු විපක්ෂ දේශපාලන කණ්ඩායම් වල සහභාගිත්වයෙන් වූ සාකච්ඡාවක් බළපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සමන් ද සිල්වා මහතාගේ නිවසේදී 2025 පෙබරවාරි 22 දින පවත්වා තිබේ. ඊට සහභාගී වූ පොදු විපක්ෂයේ නියෝජිතයින් රැසක් අද (09) නාම යෝජනා ලබා දෙන අවස්ථාවේදී දක්නට නොසිටි බවත් දැන ගන්නට තිබේ. බළපිටිය සමූපකාරයේ වත්මන් සභාපතිවරයා නැවත පත්කර ගැනීම සදහා මෙම පිරිස් එකතු වූ බවත් ඔවුන් මේ වන විට එම අදහස අත්හැර දමා තිබේද? යන සැකය ඔවුන් පෙනෙන්නට නොමැති වීමෙන් තහවුරු වන බවත් මාලිමාවේ සහ දූෂණයට එරෙහි කණ්ඩායම් වල පිරිස් ප්‍රකාශ කරයි.

 

(ජයකාන්ත ලියනගේ  -  බළපිටිය)

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment