සමාජ සවිබල ගැන්වීම ගැන නිවැරදි දත්ත සහ දර්ශක ගැන අවබෝධයක් නොමැතිව රජය ඒ ගැන කතා කරන්නේ කෙසේද කියා ගැටලුවක් ඇති බවත් ජනාධිපතිවරයා පවා භාවිත කරන්නේ ලෝක බැංකු වාර්තා වුවත් ඇත්ත වශයෙන්ම සිදු විය යුත්තේ ගෘහයක ආදායම්-වියදම් සමීක්ෂණයක් සිදු කරමින් ආහාර සහ ආහාර නොවන වියදම් ගණනය කර ඒ හරහා දරිද්‍රතා රේඛාව සකස් කර ගෙන එම දරිද්‍රතා රේඛාව ඇතුළත ඊට පහළින් සිටින්නේ කවුද කියා අවබෝධ කර ගෙන සමාජය සවිබල ගැන්වීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී සෙනසුරාදා (08) අවධාරණය කළේය.
ජනාධිපතිවරයාගේ අයවැය කතාවේ 8 වැනි පිටුවට අනුව දරිද්‍රතා අනුපාතය 25.9%ක් යැයි පවසන බවත් 2024 ප්‍රගති වාර්තාව අනුව 2025 සිට 2029 දක්වා වසර 5ක කාලයේ දී බහුමාන දරිද්‍රතාවට මුහුණ දී ඇති පවුල් මිලියන 2ක් සවිබල ගන්වන බව සදහන් බවත් පවුල් මිලියන 2ක් සවිබල ගැන්විම අගය කළ යුත්තක් වුවත් එම සංඛ්‍යාව රටේ මුළු දුප්පත්කම නොවන බවත් 2023 ලෝක බැංකු වාර්තා අනුව ලක්ෂ 56ක් දරිද්‍රතාවෙන් පෙළෙන බවත් මෙසේ නිවැරදි සංඛ්‍යා ලේඛන පවා නොදැන දුප්පත්කම තුරන් කළ නොහැකි බවත් සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය.
අස්වැසුම දීමනාව පමණක් ලබා දීමෙන් දුප්පත්කම තුරන් කළ නොහැකි බවත් ඒ සදහා ඉතිරි කිරීම, ආයෝජනය, නිෂ්පාදනය අපනයනය සහ පාරිභෝජනය සිදු විය යුතු බවත් දැනට මෙහි ඇත්තේ මුදල් ලබා දී පාරිභෝජනය කිරීම පමණක් බවත් ඒ ආකාරයෙන් දුගී දුප්පත්කම තුරන් කළ නොහැකි බවත් රජයට දුගී දුප්පත්කම තුරන් කරන වැඩ පිළිවෙළක් නොමැති බවත් ජනසවිය සහ සමෘද්ධි වැඩසටහන්වලින් ලබා ගත හැකි උගත් පාඩම් ලබා ගෙන විධිමත් ලෙස දුප්පත්කම තුරන් කිරීමේ වැඩ පිළිවෙළකට යොමු වන ලෙස ජනපතිවරයා ප්‍රධාන ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
රටේ දුප්පත්කම ගැන දත්ත හෝ හරියාකාර සංඛ්‍යා ලේඛන නොමැතිව අස්වැසුම ලබා දී ඇති බවත් මේ නිසා සමහර ලැබිය යුතු අයට අස්වැසුම නොලැබී ගොස් පොහොසත් අයට අස්වැසුම ලැබීම සිදුව තිබෙන බවත් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා අයවැය කතාව සිදු කළේ දුගී දුප්පත්කම තුරන් කිරීමේ දත්ත නොදැන බවට වගකීමෙන් ප්‍රකාශ කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ලර්න් ඒෂීයා සංගණනය අනුව රටේ දුප්පතුන් ලක්ෂ 30 සිට ලක්ෂ 70 දක්වා සිටින අතර ඒ අනුව දුප්පතුන් ලක්ෂ 40කින් වැඩිව ඇති බව පැහැදිළි වන බවත් මෙවැනි පරස්පර දත්ත එක්ක අයවැයක් නිර්මාණය කළ නොහැකි බවත් ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවා මේ දත්ත නොදන්නා බවත් සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
රටේ පළාත් මට්ටමින් දළ දේශීය නිෂ්පාදනයට දක්වන දායකත්වය ගැන ආණ්ඩුව හරිහැටි නොදන්නා බවත් බස්නාහිර පළාත විශාල දායකත්වයක් ලබා දුන්නත් සෙසු පළාත් ලබා දෙන්නේ සීමාසහිත දායකත්වයක් බවත් එබැවින් පළාතට සීමා නොවී ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ මට්ටමින් දළ දේශීය නිෂ්පාදනයට දක්වන දායකත්වය ගැන සෙවිය යුතු බවත් හැකියාවක් ඇත්නම් ග්‍රාම නිලධාරී මට්ටමින් ද මෙම ගණනය කිරීම් සිදු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
අද වන විට උපාධිධාරීන් 40,000කට රැකියා ලබා දෙනවා කියා පොරොන්දු වුවත් මේ වන තුරුත් ඒ අයට රැකියා ලබා නොදීම නිසා ඒ 40,000 ද දුප්පත්කමේ ගොඩට වැටෙන බවත් ඒ අය සිකුරාදා (07) පොල්දූව හන්දියේ විරෝධතා පවා පැවැත්වූ බවත් මේ උපාධිධාරීන්ට රැකියා ලබා දෙන්නේ කවදාද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් ඒ සදහා විසදුම් අවශ්‍ය බවත් සමගි ජන බලවේගය රජයේ සිටියා නම් මොවුන්ට ද විසදුම් ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ධීවර ප්‍රජාවට ලබා දෙන බවට පොරොන්දු වූ ඉන්ධන සහනාධාර කෝ කියා ප්‍රශ්න කරන බවත් බදු පිට බදු ගසා ඒ බදුවලින් මහා භාණ්ඩාගාරය කොමිස් ගසනවා යැයි ද, ඊට තිත තැබුවාම ඉන්දන මිල අඩු කිරීමක් කරා යා හැකි බවට එදා පැවසූ බවත් එහෙත් අද ඒ සියල්ල කඩ වුණු පොරොන්දු වී ඇති බවත් ඉන්ධන සහනාධාරය ලබා දෙන විට එවා ලැබිය යුතු කොට්ඨාසයන්ට ලබා දිය යුතු බවත් ඉන්දන සහනාධාර දෙන ලෙස ආණ්ඩුවේ මන්ත්‍රීවරු විපක්ෂයේ සිටින විට උද්ඝෝෂණය කළ නමුත් අද ඒ සහනාධාර නොලැබෙන බවත් හෙතෙම කියා සිටියේය.
ගොවි සහ ධීවර විශ්‍රාම වැටුප් ක්‍රමයත් අද අඩාල වී ඇති බවත් අලුත් රක්ෂණ ක්‍රමයක් හදුන්වා දෙනවා කිව්වත් එවැන්නක් සිදු නොවූ බවත් එම නිසා නිවැරදි වැඩ පිළිවෙලක් ඇති කරන්නේ නම් විපක්ෂය ද සහයෝගය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.
වෙරළ තීරයේ සිට නාවුක සැතපුම් 200ක් රටට අයිති බවත් ජාත්‍යන්තර නීතිය හරහා එම අයිතිය ලැබී ඇති බවත් එම නිසා නීල ආර්ථිකය ගොඩනැගීමේ ජාතික වැඩ පිළිවෙළක් අවශ්‍ය බවත් එහි දී තිරසර සංවර්ධනයක් කරා යා යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
Lanka Newsweek © 2025