Monday 10th of May 2021

English Tamil
Advertiesment


දින්නා කල් වැඩි නැද්ද මහින්ද..?


2019-07-02 4060

මහින්ද එනවා කියන්නේ අර්බුදය වහගන්නද..?

රත්නපුර ජයග්‍රහණය මැතිනි වරද්දා ගත් හැටි..!

(උපුල් ජෝෂප් ප්‍රනාන්දු)

1988 පළාත් සභා  ඡන්දය  වර්ජනය කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රමුඛ ප්‍රධාන වීපක්‍ෂය වූ මවුබිම සුරුකීමේ පෙරමුණ තීරණය කළ විට එවකට ජනධිපති ජේ.ආර්.ට රට යන අත දැන ගන්න වුවමනා විය. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ තරඟ  බිමට ගෙන්වා ගන්නත්, එකල රටේ  ටී පනස් හයෙන් නොනිල  පාලනයක් ගෙන ගිය ජනතා විමුක්ති පෙරමුණ ක්‍රියා කරන ආකාරය දැන ගන්නත් අතුරු මැතිවරණ කිහිපයක් පවත්වන්න තීරණය කළේය.මෙයින් ජේ. ආර් තෙවැනි ඇසින් බලා සිටියේ රත්නපුර අතුරු මැතිවරණ දිහාය.රත්නපුර රට යන අත කියන දිස්ත්‍රික්කය ලෙස ප්‍රකටය.ජනතා විමුක්ති පෙරමුණු භිෂණය උතුරා ගියේත් රත්නපුරෙහිය.

රත්නපුර අතුරු මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරඟ කළේ බණ්ඩාරනායක පවුල් හවුලට නෑකම් කී එල්ලාවල පවුලේ නන්ද එල්ලාවලය. නන්ද එල්ලාවල චන්ඩියෙකි. ජනතා විමුක්ති පෙරමුණ සමගත් සමීප සම්බන්ධතා පැවැත්වූ අයෙකි.1988 ජනාධිපති මැතිවරණයට තවකල් තිබියෙදී ජේ .ආර්. සිතුවේ මේ අතුරු මැතිවරණ ප්‍රතිඵලයෙන් ජනතාවගේ නාඩි අල්ලා බලන්නටය.

ජේ. ආර්. ගේ ආණ්ඩුව රාජ්‍ය බලය, මැරබලය යොදවා මුළු වෙර වීරියෙන් ඡන්දය දිනන්න සල්ලි වීසි කළත් රත්නපුර ජය ගන්න ජේ. ආර්. ට නොහැකි විය. නන්ද එල්ලාවල රත්නපුරය දින්නේය. එවකට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ නායිකා බණ්ඩාරනායක මැතිනිය ඇතුළු විපක්ෂයට මෙය පෙනුනේ 1988 ජනාධිපතිවරණ ජයග්‍රහණයේ පළමු වෙඩිමුරය ලෙසය. රත්නපුර ජයග්‍රහණයෙන් පක්ෂයම උදම් විය.

රත්නපුර ජයග්‍රහණයෙන් පසු මැතිනිය හිතුවේ ජනාධිපතිවරණය  දිනන එක මහ ලොකු කජ්ජක් නොවේ කියාය. රත්නපුර ජයග්‍රහණය පිටුපස ජනතා විමුක්ති පෙරමුණ ලොකු කාර්යභාරයක් ඉටු කළේය. ජනතා විමුක්ති පෙරමුණ නන්ද  එල්ලාවලට සහය දුන්නේ නන්ද එල්ලාවල ජනතා විමුක්ති පෙරමුණ සමග අවබෝධයෙන් වැඩ කළ නිසාය.

ජනතා විමුක්ති පෙරමුණ සිතුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කාලයකට පසු ජයග්‍රහණයක් අත් පත් කර දුන්නේ තමන් කියාය.  1988 ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දිනන්න  ඕනෑ නම් තමන් සමග සාකච්ඡාවට එන ලෙස ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ ශිෂ්‍ය සංවිධාන හරහා ජනතා විමුක්ති පෙරමුණ   ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පණිවිඩ එවිය.

1988 ජනාධිපතිවරණයට නිර්පාක්ෂික පොදු අපේක්ෂකයෙක් වුවමනා බවත්,පාර්ලිමේන්තුව විසිරුවා හැර භාරකාර ආණ්ඩුවක් යටතේ ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවත් ජේ.ආර්. ගේ ආණ්ඩුවට කොන්දේසියක් ඉදිරිපත්කොට එය ඉටු නොකරන්නේ නම් ජනාධිපතිවරණය වර්ජනය කළයුතු බවත් ජනතා විමුක්ති පෙරමුණ කිවේය.

මැතිනිය පොදු අපේක්ෂක කොන්දේසියට විරුද්ධ විය. පොදු ලකුණක් සහ පොදු සන්ධානයකින් මැතිවරණයකට ඉදිරිපත් වීමට කැමති විය. සාකච්ඡා කඩා ගෙන වැටිණි. මැතිනියට සාකච්ඡා ඉදිරියට ගෙන යෑමට උවමනා බවක් පෙනුනේ නැත. පොදු ලකුණක් යටතේ තරඟ කරන බවට ඇයට ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයේ අනෙක් පක්ෂ වූ  රුක්මන්ගේ පක්ෂයට, දිනේෂ්ට, අෂ්රොෆ්ලාට පොරොන්දු වුවත් ඇය අන්තිම මොහොතේ අත ලකුණින් එන්න තීරණය  කළාය.

ජනාධිපතිවරණය දිනා පවත්වන මහ මැතිවරණයේදී  අෂ්රොෆ්ගේ මුස්ලිම් කොංග්‍රසයට පොරොන්දු වූ ආසන දීමටත් අය අකමැති විය. ඇය හිතුවේ තනිවම දිනන්නටය. එත් ඇය හිතන්නැති විදිහට පරාජය විය. එයට හේතුව රත්නපුර අතුරු මැතිවරණය ඇය වැරදි ලෙස කියවීමය.

විජේතුංගගේ ආණ්ඩුව කාලයේදීත්, 1993 පළාත් සභා ඡන්දයේදීත්  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මේ වින්නහියම සිදු වෙන්න ගියේය. 1993 බස්නාහිර පළාත් සභා ඡන්දයෙන් චන්ද්‍රිකා දින්නේ ජනාධිපතිවරණයට සහ මහ මැතිවරණයට වසරකටත් වඩා වැඩි කලයක් තිබියදීය. චන්ද්‍රිකාගේ ජයග්‍රහණයෙන් උදම් වූ ශ්‍රී  ලංකා නිදහස් පක්ෂය තුළ කල්ලි කණ්ඩායම් පැටවූ ගහන්න විය. චන්ද්‍රිකා මහ ඇමතිනිය ලෙස පළාත් සභාවේ ලොකු වෙනසක් පෙන්නුවේද නැත.ජයග්‍රහණය එන්න එන්නම එකතැන පල් වෙන්න විය.

විජේතුංග ආණ්ඩුව දකුණු පළාත් සභාවේ ප්‍රැන්සිස්කු උස්සා නටපු නාඩගමත් මහ මැතිවරණයට සහ ජනාධිපතිවරණයට පෙර දකුණු පළාත් සභා ඡන්දය  කැඳවා එය ගල උඩ සටහනක් බවට පත් කිරීමත් නිසා විපක්ෂය යළි එකට එක්වී 93 පළාත් සභා ඡන්දයෙන් එක තැන පල් වුණු  ජයග්‍රහණය අලුත් කර ගත්තේය. නැත්නම් ජනාධිපතිවරණයේ හෝ මහ මැතිවරණයේ  ප්‍රතිඵල  මෙයිට වඩා වෙනස් විය හැකිව තිබිණි.

අද මහින්දටත් වැළදිලා තියෙන්නේ 1988 රත්නපුර අතුරු මැතිවරණයෙන් පසු මැතිනියට වැළඳුනු ලෙඩේය. ජයග්‍රහණය පරෙස්සම් කර තබා ගත නොහැකි වීමේ ලෙඩේ ය. පසුගිය පළාත් පාලන ඡන්දය මහින්ද දිනා දැන් මාස 06ක් පසු වෙලාය.ඡන්දය දින්න විගස මහින්දගේ ඒකාබද්ධ විපක්ෂයේ නායකයෝ පාර්ලිමේන්තුව ඇතුළේ ඡන්දයක් දිනන්න බැරි බව දැන දැනම වැරදියට ගණන් හදා එක එකාගේ ලණු කා රනිල්ව ශක්තිමත් කරන විශ්වාස භංගයක් ගෙන ආහ.

ඉන්පසු ජනාධිපති අපේක්ෂකත්වයට  තරඟයක් පටන් ගත්හ. ගෝඨාභය ජනාධිපති අපේක්ෂකත්වයට හොදයි කියා පිරිසක් කිහ. බැසිල් හොදයි  යැයි තව පිරිසක් කීහ. චමල් හොදයි යැයි තවත් පිරිසක් කීහ. වෙල්ගම සහ අලුත්ගමගේද ජනාධිපති අපේක්ෂක වාදයක පැටලුණි. සමහරු ගෝඨාට ගහන්න පටන් ගත්හ. සමහරු බැසිල්ට ගහන්න පටන් ගත්හ.

ඉන්පසු ජනාධිපති අපේක්ෂක කතා මහින්ද තහනම් කළේය. ඉන්පසු විපක්ෂ නායක ධූරය ඉල්ලන්න  සටනක් දියත් විය. ඒ සටනින්ද පරාජය විය. පසුව ජන බල සේනාවක් කොළඹට ගෙන්වන්න දින යොදා ගත්තේය. දිනය කල් ගියේය. කොළඹට ආපු ඝෝෂාවක් නැත. එය අසාර්ථක ජන බලයක් විය. දැන් මහින්දට ජනාධිපතිවරණයට තරඟ කරන්න පුළුවන් යැයි අලුත් තර්කයක් ගෙනෙන්නේය.

මේ තර්කයේම මුල සිට හිටියා නම් ගෝඨාගේ ප්‍රශ්නයත් එන්නේ නැත. මහින්දවාදීන් අතර කල්ලි කණ්ඩායම් හැදෙන්නෙත් නැත. කලින් මහ මැතිවරණයක් ගෙන මහින්දව අගමැති කරන කතාවක්ද තිබුණේ නැත. තිබුණේ ගෝඨා ජනාධිපති කරන කතාවක්ය. හිටි හැටියේ මහින්ද ජනාධිපති කරන්න පුළුවන් කියා කීමෙන් පෙනෙන්නේ ජනාධිපති අපේක්ෂකත්වයට ඒකාබද්ධ විපක්ෂය තුළත්, පවුල තුළත් ලොකු  ගැටුමක්  තිබෙන බවය.

හිටිහැටියේ මහින්දට අපේක්ෂකයා වෙන්න පුළුවන් යැයි කල්පනා වුනේ මේ ගැටුම වහන්න බව ඕනෑ මෝඩයෙකුට තේරෙන්නේය. මේ පළාත් පාලන ඡන්දයෙන් ජයග්‍රහණය පරෙස්සම් කර ගන්න බැරිව ජයග්‍රහණය දේශපාලන වශයෙන් කළමනාකරණය කර ගන්න බැරිව හට ගත් අර්බුදයකි. ආණ්ඩුව මේ අර්බුදය තව පැහෙන්න, මෝරන්න කල් දිය යුතුය.

මහින්ද ඔහුගේ ලේකම් උදිත ලොකු බණ්ඩාරට “මේ යකා” කියල බැන්නේ මහින්දට මේ දවස්වල යක්කු පේන නිසාද දන්නේ නැත. දකින දකින අත පෙනෙන්නේ  පුංචි ඡන්දයේ ජයග්‍රහණය තනි අතට ගන්න දගලන යක්කුය. පවුල තුළත් එහෙමය. ඉතිං කියන්න තියෙන්නේ “මහින්ද  දින්නා කල් වැඩියි”. කියා නේද?

       -ගුරුද විග්‍රහය- 

 

 

Advertiesment